සංජනා සහ උමයංගනා අර්ධ ශතකය ලබා ගනී

U 19 Girls Sri Lanka Youth League T20 Tournament 2025

29
T20 Tournament 2025

සංජනා කාවින්දි සහ උමයංගනා පීරිස් ගේ අර්ධ ශතකවලින් හැඩ වුණ, ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්සයි Youth League ක්‍රිකට් තරගාවලියේ තවත් තරග ද්විත්වයක් අද (27) මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වුණා.

එහි දී Galle කණ්ඩායම නියෝජනය කරන සංජනා කාවින්දි අද ලබා ගන්නේ මෙම තරගාවලියේ පිට පිට වාර්තා කරන ලද 2 වැනි අර්ධ ශතකයයි.

Dambulla U 19 Girls සහ Colombo U 19 Girls  අතර තරගය

කාසියේ වාසිය දිනා ගත් Dambulla ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත් අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 8ක් දැවී ලකුණු 102ක් ලබා ගත්තා. එම ඉනිම වෙනුවෙන් නෙත්මි උපේක්ෂා පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 32ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය බවට පත් වෙනවා.

ඊට අමතර ව නායිකා දිනායා ගමගෙදර පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 23ක් ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී Yevadi Veneessa ලකුණු 8කට කඩුලු 2ක් ද සහ යෙසලි ජිතාරා ලකුණු 17කට කඩුලු 2ක් ද දවා ගත් අතර දිනිති නාගසිංහ කඩුල්ලක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Colombo ක්‍රීඩිකාවෝ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 103ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණ කරන්නේ තවත් පන්දු 17ක් ද ඉතිරි කර ගනිමිනුයි.

එම ඉනිම වෙනුවෙන් උමයංගනා පීරිස් පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 52ක් ලබා ගත්තා. ඇය ශෂිනි පෙරේරා (8) සමඟ 1 වැනි කඩුල්ලට පන්දු 38ක දී ලකුණු 37ක් ද සහ ලිහංසා දිල්මි ද සිල්වා සමඟ එක් වෙමින් 3 වැනි කඩුල්ලට පන්දු 45කට කඩුලු ලකුණු 49ක් ද එක් කළා.

ලිහංසා දිල්මි ද සිල්වා තරගය ජයග්‍රහණයෙන් කෙළවර වන විට පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 27ක් ලබා සිටියා.

පන්දු යැවීමේ දී දනුලි තෙන්නකෝන් ලකුණු 17කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව චලනි කවීෂා සහ දනොද්‍යා සෙව්මිණි කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Dambulla U 19 Girls – කඩුලු 8ක් දැවී 102 (20.0) නෙත්මි උපේක්ෂා 32, දිනායා ගමගෙදර 23, යෙසලි ජිතාරා 2/17, Yevadi Veneessa 2/08
  • Colombo U 19 Girls – කඩුලු 5ක් දැවී 103 (17.1) උමයංගනා පීරිස් 52,ලහංසා දුල්මි ද සිල්වා නොදැවී 27, දනුලි තෙන්නකෝන් 2/17

Colombo U 19 Girls කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

Kandy U 19 Girls සහ Galle U 19 Girls  අතර තරගය

කාසියේ වාසිය දිනා ගත් Kandy කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Galle ක්‍රීඩිකාවෝ කඩුලු 5ක් දැවී ලකුණු 139ක් ලබා ගන්නා ලද අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි Kandy ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වන්නේ කඩුල්ලක් පමණක් දැවී ලකුණු 110ක් පමණයි. ඒ අනුව තරගයේ ලකුණු 29ක ජයග්‍රහණයක් ලබා ගැනීමට Galle ක්‍රීඩිකාවෝ සමත් වුනා.

Galle කණ්ඩායම වෙනුවෙන් පෙර තරගයේ දී ද අර්ධ ශතයක් වාර්තා කළ සංජනා කාවින්දි මෙම තරගයේ දී එම කඩඉම පසු කළා. ඇය පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 58ක් ලබා ගත්තා.

එමෙන් ම ඇය පළමු කඩුල්ල වෙනුවෙන් සෙත්මි නෙහාරා සමඟ එක් වෙමින් පන්දු 59ක දී ලකුණු 75ක් ලබා ගත්තා. එහි දී සෙත්මි නෙහාරා පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 25ක් ලබා ගත්තා.

ඊට අමතර ව ඇය 2 වැනි කඩුල්ල වෙනුවෙන් නෙතඟි ඉසුරාංජලී සමඟ එක් වෙමින් පන්දු 43ක දී ලකුණු 41ක් ද එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ සංජනා කාවින්දි ගේ දැවී යෑමත් සමඟිනුයි.

නෙතඟි ඉසුරාංජලී පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 34ක් ලබා ගැනීමට ද සමත් වෙනවා.

කඩුලු දවා ගැනීමේ දී මිතාලි අයෝද්‍යා ලකුණු 31කට කඩුලු 2ක් දවා ගන්නා ලද අතර ඊට අමතර ව අසේනි තලගුණේ සහ චමෝධි මෙන්ඩිස් කඩුල්ල බැගින් දවා ගන්නවා.

පිළිතුරු Kandy ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 20ක දී දැවී ගිය ද 2 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 99ක දී නොදැවුණ ලකුණු 90ක සබඳතාවක් ගොඩ නැගීමට විමෝක්ෂා බාලසූරිය සහ චංචලා බෝලවත්ත සමත් වුණා.

ඉනිම අවසන් වෙද්දී විමෝක්ෂා බාලසූරිය පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 44ක් ද සහ චංචලා බෝලවත්ත පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණ 48ක් ද ලබා සිටියා.

දැවී ගිය එක ම කඩුල්ලේ හිමිකාරීත්වය දිනිති ප්‍රතිභාෂිණී සතු වුනා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Galle U 19 Girls – කඩුලු 5ක් දැවී 139 (20.0) සංජනා කාවින්දි 58, සෙත්මි නෙහාරා 25, නෙතගි ඉසුරාංජලී 34, මිතාලි අයෝද්‍යා 2/31
  • Kandy U 19 Girls – කඩුල්ලක් දැවී 110 (20.0) චංචලා බෝලවත්ත නොදැවී 48, විමෝක්ෂා බාලසූරිය නොදැවී 44

Galle U 19 Girls කණ්ඩායමට ලකුණු 29ක ජයක්.

මෙම තරගාවලියේ තවත් තරග ද්විත්වයක් මේ මස 28 වැනිදා මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විමට නියමිතයි.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<