අරෝෂ් සිතුමිණ ශතකලාභී ලැයිස්තුව ආරම්භ කරයි

U 17 Sri Lanka Youth League 2025

3
U 17 Sri Lanka Youth League Tournament 2025

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 17න් පහළ Sri Lanka Youth League එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග ද්විත්වයක් අද (23) අවසන් වූ අතර එහි දී තරගාවලියේ පළමු ශතකය වාර්තා කිරීමට Galle කණ්ඩායමේ නායක අරෝෂ් සිතුමිණ සමත් වෙනවා.

Colombo South U 17s කණ්ඩායම සහ Kandy U 17s කණ්ඩායම අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Colombo South කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Kandy ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 197ක් ලබා ගත්තා. එම ඉලක්කය සපුරා ගැනීමට සඳහා පිටියට පිවිසි Colombo South ක්‍රීඩකයෝ ඉනිම අවසන් වීමට තවත් පන්දු 3ක් සහ කඩුල්ලක් පමණක් ඉතිරි ව තිබිය දී තරගයේ ජයග්‍රහණය ඔවුන් සතු කර ගන්නවා.

Kandy U 17s කණ්ඩායම

 

දිනුල් විජේසිංහ (නායක සහ කඩුලු රකින්නා), මනුත් මින්දිය, චනුල් කොඩිතුවක්කු, යෙනුල හේවාවිතාරණ, ඉශාන් ප්‍රභාගරන්, සනිතු ගුණතිලක, පියුමක කරුණාරත්න, ප්‍රවීන් ගමගේ, දිල්මිත් විමෝෂ්, කෙනුල පිහිලිංයග සහ සංජන සචින්ද්‍ර.

 

Colombo South U 17s කණ්ඩායම

 

රෙහාන් පිරිස් (නායක), හිරුන් මතීෂ, රුසිඳු සිල්වා, චමත් වෙල්ලාලගේ, තෙවිඳු වෙවැල්වල, ස්ටීවන් පීරිස් (කඩුලු රකින්නා), හිමරු දේශාන්, සෙහඳු සූරියාරච්චි, ගිම්හාන් මෙන්ඩිස්, මතීෂ අපෝන්සු සහ ඔෂඳ මනහර.

පළමුවෙන් පන්දුවට පහර දුන් Kandy ඉනිමේ ආරම්භය එතරම් ම සාර්ථක නොවූව ද පසු පෙළින් පැමිණි ලකුණුත් සමඟින් ඔවුන් ගෞරවනීය ලකුණු පුවරුවක් නිර්මාණය කරනවා. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වෙන්නේ සනිතු ගුණතිලක. ඔහු පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 44ක් ලබා ගන්නවා.

ඊට අමතර ව පියුමක කරුණාරත්න පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 24ක් ලබා ගන්නා ලද අතර ඔවුන් දෙදෙනා එක් ව 6 වැනි කඩුල්ලට පන්දු 88ක දී ලකුණු 62ක සබඳතාවක් ගොඩ නගනවා. පියුමක කරුණාරත්න පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 24ක්. ඊට අමතර ව යෙනුල හේවාවිතාරණ පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 25ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී සෙහඳු සූරියාරච්චි සහ රුසිඳු සිල්වා කඩුලු 3ක් බැගින් දවා ගත් අතර ගිම්හාන් මෙන්ඩිස් කඩුලු 2ක් ද සහ හිමරු දේශාන් කඩුල්ලක් ද දවා ගන්නවා.

පිළිතුර ඉනිම සඳහා පිටියට පිවිසි Colombo South ඉනිමේ කඩුලු 8ක් ලකුණු 95ක් තුළ දවා ගැනීමට ප්‍රතිවාදී පන්දු යවන්නෝ සමත් වෙනවා. නමුත් එතැන් සිට 9 වැනි කඩුල්ලට පන්දු 109ක දී ලකුණු 76ක සබඳතාවක් එක් කිරීමට ස්ටීවන් පීරිස් සහ මතීෂ අපෝන්සු සමත් මුණා.

එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ ස්ටීවන් පීරිස් ගේ දැවී යෑමත් සමඟයි. ඒ වෙද්දී ඔහු පන්දු 107කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 78ක් ලබා ගත්තා.

අනතුරු ව අවසන් කඩුල්ල සඳහා අංක 10 පිතිකරු ස්ථානයෙන් පිටියට පිවිසි මතිෂ අපෝන්සු සහ අවසන් පිතිකරු වූ ඔෂඳ මනහර හා එක් ව පන්දු 41ක දී නොදැවී ලකුණු 27ක සබඳතාවක් එක් කරමින් තරගය ජයග්‍රහණය කරා රැගෙන යනවා. එහි දී මතීෂ අපෝන්සු පන්දු 80කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 46ක් ද සහ ඔෂඳ මනහර පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 7ක් ද ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී දිල්මිත් විමෝෂ් ලකුණු 30කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව චනුල් කොඩිතුවක්කු සහ සංජන සචින්ද්‍ර කඩුලු ද්විත්වය බැගින් ද සනිතු ගුණතිලක කඩුල්ලක් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • Kandy U 17s කණ්ඩායම – සියලුම දෙනා දැවී 197 (49.1) යෙනුල හේවාවිතාරණ 25, සනිතු ගුණතිලක 44, පියුමක කරුණාරත්න 24, ගිම්හාන් මෙන්ඩිස් 2/30, සෙහඳු සූරියාරච්චි 3/32, රුසිඳු සිල්වා 3/32
  • Colombo South U 17s කණ්ඩායම – කඩුලු 9ක් දැවී 198 (49.3) රෙහාන් පීරිස් 20, ස්ටීවන් පීරිස් 78, මතීෂ අපෝන්සු නොදැවී 46, සංජන සචින්ද්‍ර 2/48, චනුල් කොඩිතුවක්කු 2/27, දිල්මිත් විමෝෂ් 3/30

Colombo South U 17s කණ්ඩායමට කඩුල්ලක ජයක්.

Galle U 17s කණ්ඩායම සහ Dambulla U 17s කණ්ඩායම අතර තරගය කරන්දෙණිය ජෙනරල් බලගල්ල ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය දිනා ගත් Dambulla නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් Galle ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 221ක් ලබා ගැනීමට සමත් වෙනවා. ඊට පිළිතුරු ඉනිමට Dambulla කණ්ඩායම පිටියට පිවිසියත් ඔවුන්ගේ ඉනිම වර්ෂාව හේතුවෙන් පන්දු වාර 35කට සීමා වන අතර ලබා ගත යුතු ඉලක්කය ලකුණු 185ක් බවට පත් වුණා. නමුත් ඔවුන් තරගය අවසන් වන විට ලබා සිටියේ කඩුලු 9ක් දැවී ලකුණු 169ක් පමණයි.

Galle U 17s කණ්ඩායම

 

ආරෝෂ් සිතුමිණ (නායක), පුල්ජිත් වත්සුක, සෙහස් ආශිංස, විමුක්ති හේරත්, සඳරු මල්ෂාන්, යසිරු ලක්ශාන් (කඩුලු රකින්නා), කවික මදුසංක, ප්‍රවීන් මදුශංක, රවීන් සචින්ත, ලතීන්ද්‍ර ආකාශ් සහ රුමේන් පීරිස්.

 

Dambulla U 17s කණ්ඩායම

 

දම්ලත් ගමගේ (නායක), හිමත් පණ්ඩිතරත්න (කඩුලු රකින්නා), මහීෂ සිතුම්, අමල් පෙරේරා, පුදසර අයෝද්‍ය, ශෙනන් ප්‍රනාන්දු, මුරලි තිසෝන්, චමෝද් ප්‍රභාෂ, ඉෂාන් ඛාන්, ඩිහාන් මුණසිංහ සහ නඳුන් බණ්ඩාර.

ප්‍රතිවාදී නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Galle ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දීමට පුල්ජිත් වත්සුක සහ නායක අරෝෂ් සිතුමිණ සමත් වුණා.

ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 109ක දී ලකුණු 122ක් එක් කරනවා. පුල්ජිත් වත්සුක පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 44ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.

අනතුරු ව නායක අරෝෂ් සිතුමිණ සහ සෙහස් ආශිංස (11) එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 53ක දී ලකුණු 46ක සබඳතාවක් ගොඩ නගනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ අරෝෂ් සිතුමිණ ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 92කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 7ක් සමඟින් ලකුණු 102ක් ලබා සිටියා.

ඔවුන්ට අමතර ව විමුක්ති හේරත් පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 20ක් ලබා ගත් අතර Galle ඉනිමේ අවසන් කඩුලු 6 ලකුණු 17ක් තුළ දවා ගැනීමට ප්‍රතිවාදී පන්දු යවන්නෝ සමත් වෙනවා.

එහි දී චමෝද් ප්‍රභාෂ සහ මුරලි තිසෝන් කඩුලු 3ක් බැගින් දවා ගන්නා ලද අතර ඩිහාන් මුණසිංහ කඩුලු ද්විත්වයක් ද අමල් පෙරේරා කඩුල්ලක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Dambulla කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු වූ හිමත් පණ්ඩිතරත්න. ඔහු පන්දු 96කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 81ක් ලබා ගත්තා.

ඊට අමතර ව ඩිහාන් මුණසිංහ නොදැවී ලකුණු 16ක් ද සහ මහීෂ සිතුම් ලකුණු 13ක් ද ලබා ගත් අතර අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවක් කරා පැමිණීමට හැකි වුණේ නැහැ.

කඩුලු දවා ගැනීමේ දී රවීන් සචින්ත ලකුණු 37කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව ප්‍රවීන් මදුසංක, රුමේන් පීරිස්, කවික මදුසංක සහ සඳරු මල්ශාන් කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Galle U 17s කණ්ඩායම – සියලුම දෙනා දැවී 221 (42.3) පුල්ජිත් වත්සුක 44, අරෝෂ් සිතුමිණ 102, විමුක්ති හේරත් 20, ඩිහාන් මුණසිංහ 2/29, මුරලි තිසෝන් 3/45, චමෝද් ප්‍රභාෂ 3/31
  • Dambulla U 17s කණ්ඩායම – සියලුම කඩුලු 9ක් දැවී 169 (35.0) හිමත් පණ්ඩිතරත්න 81, රවින් සචින්ත 2/37

Galle U 17s කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 15ක ජයක්.

මෙම තරගාවලියේ Dambulla U 17s සහ Colombo South U 17s කණ්ඩායම අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීත්, Kandy U 17s  කණ්ඩායම සහ Colombo North U 17s  කණ්ඩායම අතර තරගය කරන්දෙණිය ජෙනරල් බලගල්ල ක්‍රිකට් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීත්  හෙට (24) පැවැත්වීමට නියමිතයි.

වයස අවුරුදු 17න් පහළ Sri Lanka Youth League ක්‍රිකට් තරගාවලියේ සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<