ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ලබා ගනිමින් පවත්වනු ලැබූ ශ්‍රී ලංකා පාසල් වයස අවුරුදු 17න් පහළ තෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරයන් බවට පත් වීමට මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලය සමත් වූවා.
කොළඹ සාන්ත පීතර විද්‍යාලයීය ක්‍රිකට් පිටියේ දී පැවැති මෙම තරගයේ ප්‍රතිවාදීන් වූයේ අනුරාධපුර සාන්ත ජෝසප් විද්‍යාලයයි.
තරගාවලියේ ජයග්‍රාහී මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයීය ක්‍රීඩකයෝ 2 වැනි වටයට පිවිසෙන්නේ කාණ්ඩ ජයග්‍රාහකයන් ලෙසයි. ඊට අනතුරු ව පැවැති දෙවැනි වටයේ දී බටුවත්ත මහා විද්‍යාලය, වේළුවන මහා විද්‍යාලය, බටේමුල්ල ජාතික පාසල සහ අලුත්ගම මහා විද්‍යාලය පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙනවා.
එම වටයේ දී මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසෙන ඔවුන් එම වටයේ දී කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලය පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නවා.
තරගාවලියේ අනුශූරයන් වූ අනුරාධපුර සාන්ත ජෝසප් විද්‍යාලය ද පළමු වටය අවසන් කරන්නේ කාණ්ඩ ජයග්‍රාහකයන් ලෙසයි. අනතුරු ව ඔවුන් 2 වැනි වටයේ දී අනුරාධපුර නිවන්තක චේතිය මහා විද්‍යාලය, අම්පාර ගාමිණි මහා විද්‍යාලය, නාවලපිටිය අනුරුද්ධ කුමාර ජාතික පාසල සහ සෙවණගල සඳරාජ මහා විද්‍යාලය පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙනවා.
එම වටයේ දී ඔවුන් මඩකලපුව මෙතෝදිස් මධ්‍ය මහා විද්‍යාලය පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නා ලද අතර එම වටයේ දී කඳාන ද මැසිනෝද් විද්‍යාලය පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නවා.
සාන්ත ජෝසප් විද්‍යාලයීය වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම
මනුල මනසර (නායක), චතුක ධනුත්තර (කඩුලු රකින්නා), නඳුන් ධනේශ්, සෙතුක මුණසිංහ, තමීර බණ්ඩාර, විමුක්ති ලක්ශාන් සේනානායක, නවිඳු ලක්ෂාන්, විශාක ඉන්ද්‍රචාප, පන්සිළු නෙත්සර, කවිෂ්ක නෙත්සර සහ මනුද සුහස්වින්.
ජනාධිපති විද්‍යාලයීය වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම
ඩිහේන් හස්මිර (නායක සහ කඩුලු රකින්නා), නෙතුල් මෙත්මික, නිවිශ්ක ශෙනාල්, නිපුන් සංදිප, සෙනුර ජනුත්, බිහඳු කිත්නුල, හංසද අදීශ, ප්‍රබුද්ධ මතීෂ, නෙතුම් නෙත්සර, බානුක අනුරාධ සහ නිපුන් සංදීප.
මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලය සහ අනුරාධපුර සාන්ත ජෝසප් විද්‍යාලය අතර පැවැති අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනාගත් සාන්ත ජෝසප් විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 166ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ජනාධිපති විද්‍යාලය කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 167ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත ජෝසප් විද්‍යාලයේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක මනුල මනසර. ඔහු පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 53ක් ලබා ගත්තා. ඊට අමතර ව නදුන් ධනේෂ් ලකුණු 23ක් ද සහ පන්සිළු නෙත්සර නොදැවී ලකුණු 22ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනිමේ දී නෙතුල් මෙත්මික සහ සෙනුර ජනුත් කඩුලු 3ක් බැගින් ද හංසද අදීශ සහ බානුක අනුරාධ කඩුල්ල බැගින් ද දවා ගත්තා.
- ශ්‍රී ලංකා ක්‍රිකට් නව පුහුණුකරුවන් දෙදෙනෙකු කැඳවයි
- යොවුන් පිටිය ගිනියම් කළ දක්ෂතා
- 19න් පහළ යෞවනයෝ කොදෙව් හී පෑ දක්ෂතා
- කොළඹ රාජකීයයන් හමුවේ පොළොන්නරුව පසු බසී
- 17s සංග්‍රාමයේ අංකුර දක්ෂතා
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ජනාධිපති විද්‍යාලයීය ඉනිම වෙනුවෙන් පළමු කඩුල්ලට පන්දු 38ක දී ලකුණු 60ක සබඳතාවක් ගොඩ නැගීමට නෙතුල් මෙත්මික සහ නිවිශ්ක ශෙනාල් සමත් වෙනවා. ඔවුන් ගේ සබඳතාව බිඳී යන්නේ නිවිශ්ක ශෙනාල් පන්දු 16ක දී ලකුණු 9ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟිනුයි.
ඊට පසු කඩුල්ලට, අර්ධ ශතකයට ලකුණක් අඩු ව තිබිය දී නෙතුල් මෙත්මික දැවී යනවා. ඒ වෙද්දී ඔහු පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 49ක් ලබා සිටියා.
අනතුරුව සෙනුර ජනුත් පන්දු 101කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 37ක් ද සහ බිහඳු කිත්නුල පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 28ක් ද ලබා ගනිමින් ඉනිමේ තවත් පන්දු 49ක් ද ඉතිරි කර ගනිමින් මිනුවන්ගොඩ ජනාධිපතිවරුන් තරගය ජයග්‍රහණය කළා.
කඩුලු දවා ගැනීමේ දී සෙතුක මුණසිංහ කඩුලු ද්විත්වයක් දවා ගත් අතර ඊට අමතර ව පන්සිළු නෙත්සර සහ විමුක්ති ලක්ශාන් සේනානානායක කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
අනුරාධපුර සාන්ත ජෝසප් විද්‍යාලයීය වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 166 (45.3) මනුල මනසර 53, නදුන් ධනේශ් 23, පන්සිළු නෙත්සර නොදැවී 22, සෙනුර ජනුත් 3/34, නෙතුල් මෙත්මික 3/24
මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයීය වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – කඩුලු 4ක් දැවී 167 (41.5) නෙතුල් මෙත්මික 49, සෙනුර ජනුත් 37, බිහඳු කිත්නුල නොදැවී 28, සෙතුක මුණසිංහ 2/36
මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයීය වයස අවුරුදු 17න් පහළ කණ්ඩායමට කඩුලු 6ක ජයක්.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















