“Test cricket is the best cricket / Test cricket is the real cricket”
ජාත්‍යන්තර ක්‍රිකට් තරග සජීවීව නරඹන අතරවාරයේ දී සහ විශ්ලේෂණාත්මක ක්‍රිකට් සාකච්ඡා අතරවාරයේ දී මේ වචන පේළි අපිට කී වතාවක් නම් මේ දක්වා ඇහිලා ඇති ද?
ලොව ජනප්‍රියතම ක්‍රිකට් තරග රටාව කුමක් වුණත් “නියමාකාර ක්‍රිකට් තරග රටාව ටෙස්ට් ක්‍රිකට්” යන වදන සම්මතයක් වශයෙන් ලොව පුරා පිළිගැනීමට ලක්වෙන්නෙ අන්න ඒ ආකාරයටයි.
යම් ක්‍රීඩකයෙකුගේ සහජ දක්ෂතාවය, නොයෙකුත් තරග අවස්ථාවලට අනුගත වීමේ හැකියාව හා දරාගැනීමේ හැකියාව වැනි කුසලතාවයක් කෙතරම් පරිපූර්ණ මට්ටමකින් පවතී ද යන්න හොඳින් ම මැනබැලීම භාවිතා කළ හැකි ප්‍රධානතම තරග රටාව දින 5කින් සමන්විත මෙම ටෙස්ට් ක්‍රිකට් ආකෘතිය යන වග ලොව පුරා බොහෝ දෙනාගේ මතය බවට පත්ව තිබෙනවා.
ඒ සීමිත තරග රටා දෙකට සාපේක්ෂව මෙම තරග රටාවේ තිබෙන ගුණාත්මකභාවය, දීර්ඝ බව ඇතුළු තවත් කරුණු කාරණා රාශියක් හේතුවෙන්. එවන් හේතුකාරණා නිසාවෙන් ක්‍රිඩාවට අලුතින් ම පිවිසෙන නවක ක්‍රීඩකයෙකුගේ පවා මූලිකතම අභිප්‍රාය වී ඇත්තේ තම රට වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකරගැනීමයි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ පූර්ණ සාමාජිකත්වය හිමි ක්‍රිකට් රාජ්‍යයන් 12ක් (ඕස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්, නවසිලන්තය, ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ, බංග්ලාදේශය, අයර්ලන්තය, ඇෆ්ගනිස්ථානය) මේ වන විට ටෙස්ට් තරග ක්‍රීඩා කිරීම සඳහා වරම් හිමිකරගෙන ඇත.
දීර්ඝතම ජාත්‍යන්තර තරග රටාව වන මෙම ටෙස්ට් ක්‍රීඩාවේ දේශීය තරග ආකෘතිය වන්නේ පළමු පෙළ (first class) තරග රටාවයි. එබැවින් ටෙස්ට් තරග රටාව සඳහා යම් ක්‍රීඩකයෙකු තෝරාගැනීමේ දී මූලික වශයෙන්ම පාදක කර ගනු ලබන්නේ ඔහුගේ පළමු පෙළ තරග දක්ෂතායි.

ක්‍රිකට් උපන් රාජ්‍යය වශයෙන් විරුදාවලිය ලත් එංගලන්තය 16 වැනි සියවස අග භාගයේ දී හඳුන්වා දුන් ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තර ක්‍රීඩාවක් ලෙස සම්මත වෙමින් ටෙස්ට් තරග ආකෘතිය සමාරම්භය සිදු වූයේ 1877 වර්ෂයේ දීයි.
එතැන් පටන් මේ දක්වා වසර 146ක කාලයක් ඇදී ආ දීර්ඝ ඉතිහාසයකින් සමන්විත මෙම දිගු තරග රටාව තුළ වෙනස්කම් හා නව්‍යතා සමඟ පරිවර්තනයන් රැසක් සිදු වූයේ එහි ගුණාත්මකභාවය එම ලෙසින්ම ආරක්ෂා කරනිමිනි.
එම දීර්ඝ කාල පරිච්ඡේදය පුරා විටින් විට කෙතරම් වෙනස්වීම් සිදුවූවත් ඒකාකාරීව මෙම තරග රටාව ගලා ආ ස්වරූපය මුළුමුණින්ම කණපිට හරවමින් එහි විශාලතම පරිවර්තනය සිදු වූයේ 1971 වසරේ හඳුන්වා දුන් එක්දින තරග ආකෘතියේ බලපෑමත් සමඟිනි. ඒ අනුව ටෙස්ට් ක්‍රිකට් වංශකාතාව එකිනෙකට වෙනස් ප්‍රධාන යුගයන් දෙකකට වෙන් වුනා.
දිගුකාලීනත්වය අනුව ඉන් මුල් යුගය වූ 1877-1971 අතර කාලපරිච්ඡේදයට වසර 94ක කාලයක් අයත් වූවත් එහි දී ක්‍රීඩා කිරීමට හැකි වූයේ ටෙස්ට් තරග 675ක් පමණි. නමුත් වත්මන් යුගය වන 1971-2023 අතර වසර 52ක කාලපරිච්ඡේදය තුළ දී තරග 1813ක් ම මේ දක්වා ක්‍රීඩා කළා.
එලෙස එක්දින තරග රටාවේ හඳුන්වා දීමත් සමඟින් මෙලෙස ටෙස්ට් වංශකතාව යුගයන් දෙකකට වෙන් වූයේ කෙසේ ද සහ එම එකිනෙකට වෙනස් යුග දෙක අතර තිබූ මූලික වෙනස්කම් මොනවා ද යන්න අපි දැන් පුළුල්ව විශ්ලේෂණය කර බලමු.
එක්දින ආකෘතිය හඳුන්වා දීමට පෙර ටෙස්ට් යුගය (1877-1971)
1977 වසරේ මාර්තු 15 සිට 19 දක්වා ඕස්ට්‍රේලියාව හා එංගලන්තය අතර ඓතිහාසික මෙල්බෝර්න් ක්‍රීඩා පිටියේ පැවති ලොව පළමු ටෙස්ට් තරගයත් සමඟින් සමාරම්භ වූ මෙම තරග ආකෘතියේ මුල් යුගය ඉහත සඳහන් කළ පරිදී වසර 94ක් දක්වා ඇදී ගියා.
එවන් දීර්ඝ කාලපරිච්ඡේදයක් පුරාවටම මෙම යුගය විහිඳී ගිය නමුත් ඊට සාපේක්ෂව අඩු ටෙස්ට් තරග ගණනක් පැවැත්වීමට සිදු වූයේ ලෝක යුද්ධ වලින් ක්‍රීඩාවට එල්ල වූ බලපෑම (1945ට පෙර), ක්‍රීඩාව වෙනුවෙන් එවකට වෙන් වී තිබූ ප්‍රතිපාදන හේතුවෙන් රටවල් අතර තරගාවලි සංවිධානය කිරීමේ දී මතු වූ ඇතැම් දුෂ්කරතා, අඩු පහසුකම් වැනි හේතුකාරණා රැසක් නිසාවෙන්.
පහතින් දැක්වෙන්නේ එම යුගයේ ප්‍රධාන සංඛ්‍යාත්මක වාර්තා කිහිපයකි.
සමස්ත තරග වාර්තාව
එක් එක් කණ්ඩායම්වල තරග වාර්තාව


මෙම යුගයේ ආරම්භක අවධියේ දී (19 වැනි සියවසේ මැද භාගය දක්වා) ආවරණය නොකළ තණතීරුවල ක්‍රීඩා කිරීමට සිදු වූයේ ඒවා ආවරණය කිරීම සඳහා මූල්‍යමය ප්‍රතිපාදන හා පහසුකම් එවකට නොතිබූ හේතුවෙන්. එම නිසාවෙන් තණතිලිවල මතුපිට ස්වභාවය ද වරින් වර වෙනස් වීම් වලට ලක් වූයේ ඒවා එක එකදිගටම නිරාවරණය කර තැබුනු බැවින්.
එහි ප්‍රතිඵලයක් වශයෙන් එවකට පන්දු යවන්නන් සහ පිතිකරුවන් යන දෙකොට්ඨාශයටම යම් අනාරක්ෂිත වාතාවරණයක් යටතේ ක්‍රීඩා කිරීමට සිදු වුනා. එමෙන්ම වර්ෂාවකින් අනතුරුව නැවතත් තරගයක් ක්‍රියාත්මක කිරීමේ දී පිතිකරුවන්ට පිතිකරණයේ යෙදීම තරමක් අසීරු කටයුත්තක් බවට පත්වුණා.
එවන් අවස්ථාවල බොහෝ සෙයින් කාලයත් අපතේ යාම නිසා ප්‍රේක්ෂකයන් ක්‍රිකට් ක්‍රීඩාව නැරඹීමේ ප්‍රවණතාවය ද ක්‍රම ක්‍රමයෙන් අඩු වුනා. ඒ හේතුකාරණා සියල්ලම පදනම් කරගනිමින් ආවරණය කරන ලද තණතීරු පසුකාලීනව ක්‍රිකට් ලෝකයට හඳුන්වා දුන්නේ ක්‍රීඩාවේ උන්නතිය උදෙසායි.
මීට අමතරව මෙම දීර්ඝ කාලපරිච්ඡේදය පුරාවටම ක්‍රීඩා කළ පිතිකරුවන් ආරක්ෂක හිස් ආවරණ ද නොපැළඳි නිසා වේගපන්දු භීතිකාව හමුවේ යම් අවදානමක් සහිතව පන්දුවට පහර දීමට සිදුවීම එවකට පිතිකරුවන්ට විශාලතම අභියෝගයක් වුනා.

තවද වර්තමානයට සාපේක්ෂව ඉහළ තාක්ෂණයක් එවකට නොතිබූ බැවින් ඇතැම් තාක්ෂණික අංගෝපාංග හා නීතිරීති එවකට භාවිතා කළේ නැහැ. උදාහරණ වශයෙන් තරග වැදීමට පෙරාතුව පුනුරූපන නරඹමින් ප්‍රතිවාදී කණ්ඩායම්වල දුර්වලතා විශ්ලේෂණය කර තරග උපක්‍රම සෑදීම වැනි හැකියාවක් නොතිබීම, දැවී යාම් නැවත සලකා බැලීමේ ක්‍රමවේද නොතිබීම වැනි දෑ සඳහන් කළ හැක.
ඉහත සඳහන් කළ අවාසිසහගත තත්ත්වයන් වලට අමතරව සඳහන් කළ හැකි තවත් බැහැර කළ නොහැකි කාරණයක් වශයෙන් පෙන්වා දිය හැක්කේ එවකට බොහෝ ක්‍රීඩකයන් වෘත්තීමය ක්‍රිකට් ක්‍රීඩකයන් නොවූ බැවින් ඔවුන්ගේ සම්පූර්ණ කාලයම ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් මිඩංගු කිරීමට නොහැකි වීමයි. එම නිසා වර්තමාන ක්‍රීඩකයන්ට සාපේක්ෂව ඔවුන්ගේ උපරිමය ක්‍රීඩාව වෙනුවෙන් කැපකිරීමේ හැකියාවක් පැවතුණේ නැහැ.
ඊට හේතුව වූයේ වර්තමානයේ දී මෙන් මූල්‍යමය තත්වයෙන් ශක්තිමත් ක්‍රිකට් පාලන කමිටු එවකට නොතිබූ බැවින් එම ක්‍රීඩකයන්ට සෑහීමකට පත්විය හැකි වේතනයක් නොලැබීමයි. එම නිසා ඔවුන්ට අමතර වෘත්තියක නියැළීමට සිදු වුනා. එම හේතුව හැරුණුකොට ලෝක යුද්ධය නිසා මුල් සමයේ දී ඇතැම් ක්‍රීඩකයන්ටත් සොල්දාදුවන් වශයෙන් යුධ හමුදාවට බැඳීමටත් සිදු වුනා.
මෙම යුගයේ ක්‍රීඩකයන් දැක්වූ කාර්‍යසාධනයන් පදනම් කරගනිමින් එක්දින ආකෘතිය හඳුන්වා දීමට පෙර කාලසීමාවේ හොඳම ටෙස්ට් කණ්ඩායම මට අනුව හැදෙන්නේ මෙන්න මෙහෙමයි.

මෙම වසර 94 තුළ දී ක්‍රිකට් රාජ්‍යයන් 7ක් ක්‍රීඩා කළ අතර (ඕස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්, නවසිලන්තය, ඉන්දියාව, පාකිස්තානය) ඒ අතරින් වැඩිම ආධිපත්‍යයයක් පැතිරවූයේ ලොව ක්‍රිකට් උපන් රාජ්‍යය වන එංගලන්තය හා ඕස්ට්‍රේලියාව යන රටවල් ද්විත්වයයි.
බොහෝ අවාසිසහගත තත්ත්වයන් හමුවේ ක්‍රීඩා කළ මෙම මුල් යුගයේ ක්‍රීඩකයන්ට පැවති වාසිසහගත කාරණා වශයෙන් සඳහන් කළ හැක්කේ වර්තමානයේ මෙන් නොව එම කාලපරිච්ඡේදයෙන් වැඩි කාලයක් ක්‍රිකට් රාජ්‍යයන් අඩු ගණනක් ක්‍රීඩා කළ බැවින් එකිනෙකට වෙනස් තණතිලි තත්ත්වයන් අඩු ගණනක දී අනුගත වීම හා ප්‍රතිවාදීන් අඩු ගණනක් ඉදිරියේ සාර්ථක වීම පමණක් ඔවුන්ට ප්‍රමාණවත් වීමයි.
- අඩසියවසක එක්දින තරග ආකෘතියේ යුග තුනක වෙනස
- දක්ෂතා සපිරි ඉන්දියාවේ ආදේශකයක් නොමැති එකම භූමිකාව
- ඩක්වර්ත්-ලුවිස් ගණනය වෙන්නෙ කොහොමද?
- නායකත්වය වෙනම මානයකට රැගෙන ගිය අති විශිෂ්ටයා, “මහී”
- ක්‍රිකට් සංඛ්‍යාදත්ත හරියටම හොයාගන්න හැටි
එක්දින ආකෘතිය හඳුන්වාදීමෙන් පසු ටෙස්ට් යුගය (1971 සිට වර්තමානය දක්වා)
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රගමනය උදෙසා 1971 වසරේ දී එක්දින තරග ආකෘතිය ලෝකයට හඳුන්වා දුන්නේ ක්‍රීඩකයන්ට මෙන්ම ප්‍රේක්ෂකයන්ටත් නවමු අත්දැකීමක් ලබා දෙමින්. එතැන් පටන් මේ දක්වා මෙම ටෙස්ට් යුගය සඳහා වසර 52ක් සපිර තිබෙනවා.
මේ අනුව එක්දින ක්‍රිකට් වංශ කතාවේ සමාරම්භය සිදු වූයේ 1971 වසරේ ජනවාරි 5 වැනිදා එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර මෙල්බන් හිදී පැවැත්වූ එක්දින ජාත්‍යන්තර තරගයත් සමඟින්.
පහතින් දැක්වෙන්නේ මෙම යුගයේ ප්‍රධාන සංඛ්‍යාත්මක වාර්තා කිහිපයක්. (2023 වසරේ ජනවාරි 15 දක්වා සංඛ්‍යාදත්තයන්)
සමස්ත තරග වාර්තාව
එක් එක් කණ්ඩායම්වල තරග වාර්තාව


1977 පැවති කෙරී පැකර් තරගාවලියත් සමඟ එක්දින තරග රටාවටත් නව මුහුණුවරක් මුසුවීමත් සමඟින් දිවා රාත්‍රි එක්දින තරග, අඳුරු දෘශ්‍ය තිර (dark sight screens), රූපවාහිනී විකාශන සමාගම, බහුකැමරා කෝණ (multiple camera angles), තණතීරුවේ සිටින ක්‍රීඩකයන්ගේ ශබ්දය ග්‍රහණය කර ගැනීමට මයික්‍රොෆෝන, තිරයේ ග්‍රැෆික්ස් (on-screen graphics) වැනි සුවිශේෂී අංග ඊට එකතු වුනා.
තවද 1978 වසරේ දී පිතිකරුවන් සඳහා ආරක්ෂක හිස් ආවරණ ද හඳුන්වා දුන්නා. අනතුරුව ඒ සියල්ලම ටෙස්ට් තරග රටාවටත් එක්වුණා.
එවන් අංගෝපාංගත් සමඟ ක්‍රීඩාවේ ඇති වූ දියුණුව සහ තරගකාරීත්වය වැඩි වීමත් සමඟ ප්‍රේක්ෂක ආකර්ෂණය වැඩි වී ක්‍රීඩාවට මුදල් ගලා ඒමට පටන් ගත්තා. මේ සමඟින් වෘත්තීමය ක්‍රිකට් ක්‍රීඩකයන් බිහි වීම ක්‍රීඩාවේ උන්නතියට හේතු වූයේ ඒ ඔස්සේ ඔවුන්ගේ සම්පූර්ණ කාලය ක්‍රීඩාව වෙනුවෙන් මිඩංගු කිරීමට මං සැලසුන බැවින්.

මෙම යුගයේ පටන් ප්‍රවේගකාරී පිතිකරණය සහිත පිතිකරුවන් බිහිවීම උපනතියක් බවට පත්වූයේ ද එක්දින තරග රටාවෙන් ඇති වූ බලපෑම නිසාවෙන්. ටෙස්ට් රටාවේ දී 80කට වැඩි ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගත් Kapil Dev, 70කට වැඩි ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගත් ශ්‍රීමත් Viv Richards වැන්නන් බිහි වූයේ ද මෙම යුගයේ සමාරම්භයත් සමඟින් වීම ඊට උදාහරණ වශයෙන් දැක්විය හැක.
අනතුරුව 90 දශකය මැද භාගයේ දී එක්දින තරග රටාව තුළ සිදු වූ පරිවර්තනයන් සමඟින් Sanath Jayasuriya, Adam Gilchrist, Virender Sehwag, Chris Gayle වැන්නන් ද, පසුකාලීනව T20 තරග රටාවේ හඳුන්වා දීමත් සමඟ Brendon McCullum, David Warner, Rishabh Pant වැනි ප්‍රවේගකාරී පිතිකරුවන් ද ටෙස්ට් තරග රටාවට එක්වුණා.
ඒ හැරුණුකොට පිතිකරුවන්ට හිතකර තණතීරු (විශේෂයෙන්ම flat tracks) බහුල වශයෙන් භාවිතා කිරීම සහ ප්‍රමාණයෙන් විශාල පිති (heavy bats) භාවිතා කිරීමට බොහෝ පිතිකරුවන් පෙළඹීම වැනි හේතුකාරණාත් පසුකාලීනව ටෙස්ට් තරග ක්‍රීඩා කරන පිතිකරුවන්ගේ පිතිකරණ ශෛලීන් වෙනස් කිරීමට බොහෝසෙයින් බලපෑමක් ඇති කළා.
ඇතැම් තීරණවල විනිවිදභාවය සඳහා සැලකිල්ලක් ලබා දීමේ අපේක්ෂාවෙන් විනිසුරු තීරණ අභියෝගයට ලක් කර, දැවී යාම් නැවත සලකා බැලීම් සඳහා නව තාක්ෂණයන් (DRS) ටෙස්ට් ක්‍රිකට් ආකෘතිය සඳහා හඳුන්වා දුන්නේ 2008 වසරේ පටන් ය. ඒ hotspot, snickometer වැනි අංගෝපාංග ද සමඟින්.
තවද 2012 වසරේ දී රෝස පැහැති පන්දුවත් සමඟින් දිවා/රාත්‍රි ටෙස්ට් හඳුන්වා දීම එක්දින තරග ආකෘතිය ඔස්සේ ටෙස්ට් තරග රටාවට එකතු වූ විශාලතම පරිවර්තනයක් වශයෙන් සඳහන් කළ හැක.

මෙම දීර්ඝ තරග ආකෘතිය සඳහා වඩාත් මෑතකාලීනව ම එක් වූ තවත් නව්‍යතාවයක් වශයෙන් සඳහන් කළ හැක්කේ 2019 වසරේ සිට ක්‍රියාත්මක වූ concussion sub නීතියයි. එනම් පන්දුවක් හිසේ වැදීමෙන් හෝ එවන් ඕනෑම ඝට්ටනයක දී ඇති වන කම්පන තත්වයක බලපෑමකින් යම් ක්‍රීඩකයෙකුට පීඩා විඳීමට සිදු වී ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත් එමඟින් ඔහුගේ කණ්ඩායමට සිදුවන අවාසිය වළක්වාලීම සඳහා තවත් ක්‍රීඩකයෙකු ඔහු සමඟ ආදේශ කිරීමට හැකි වීමයි.
මීට අමතරව එම වර්ෂයේ දී ම හඳුන්වා දුන් වූ ලෝක ටෙස්ට් ශූරතාවලිය නිසාවෙන් මෙම තරග රටාවේ තරගකාරීත්වය මේ වන විට තව තවත් වැඩි වීම මෙහි ප්‍රගමනයට සාධනීය වශයෙන් බලපෑ හැකි තවත් හේතුවක්.
මේ සියල්ල හේතුවෙන් වර්තමානය වන විට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රම ක්‍රමයෙන් වැඩිදියුණුවට පත් වී ඇත්තේ එහි සාම්ප්‍රදායිකත්වයට හා ගුණාත්මකභාවයට කිසිදු හානියක් නොවන අයුරින්.
වත්මන් ටෙස්ට් යුගයේ ක්‍රීඩකයන් දැක්වූ කාර්‍යසාධනයන් පදනම් කරගනිමින් එක්දින ආකෘතිය හඳුන්වා දීමෙන් පසු කාලසීමාවේ හොඳම ටෙස්ට් කණ්ඩායම මට අනුව හැදෙන්නේ මෙන්න මෙහෙමයි.

මුල් යුගයේ ක්‍රීඩා කළ ක්‍රිකට් රාජ්‍යයන් 7කට අමතරව මෙම වසර 52ක කාලපරිජ්චේදය තුළ දී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට එකතු වූ අනෙක් රටවල් 5 බවට පත්වූයේ පිළිවෙළින් ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ, බංග්ලාදේශය, අයර්ලන්තය හා ඇෆ්ගනිස්ථානයයි.
සමස්තයක් වශයෙන් ඉහත යුගයන් දෙකේම කණ්ඩායම් නම් කර තිබෙන්නේ සංඛ්‍යාත්මක මෙන්ම සංඛ්‍යාත්මක නොවන කරුණු කාරණා සහ නිර්ණායක රාශියක් පදනම් කරගනිමින්.
(නිර්ණායකයන් – කණ්ඩායමේ සමබරතාවය, ක්‍රීඩක විවිධත්වයන්, ක්‍රීඩක භූමිකාවන්, සමස්ත සංඛ්‍යාත්මක වාර්තාවන්, ඇති කළ ජයග්‍රාහී බලපෑම, ඕනෑම තරග ස්වභාවයකට අනුගත වීමේ හැකියාව, විශ්වාසනීයත්වය, තරගයක් තනිව වුවද වෙනස් කිරීමේ හැකියාව, දිගින් දිගටම දස්කම් අතර සිටීමේ හැකියාව, ආධිපත්‍යය පැතිරවීමේ හැකියාව, දිගුකාලීනත්වය, එකිනෙකට වෙනස් තණතිලි තත්ත්වයන් වලට අනුගත වීමේ හැකියාව සහ වැඩිම ප්‍රතිවාදී කණ්ඩායම් ගණනක් ඉදිරියේ සාර්ථක වීමේ හැකියාව)
කෙසේ වෙතත්, එකිනෙකට හාත්පසින්ම වෙනස් මේ යුග දෙකෙහි ක්‍රීඩකයන්ව එකිනෙකාට සැසඳීම කරමක් නුසුදුසු කටයුත්තක් බැවින් මෙහි දී මම මෙම යුග දෙකටම පොදුවේ එක් කණ්ඩායමක් වශයෙන් එදාමෙදාතුර හොඳම ටෙස්ට් කණ්ඩායමක් මම නම් කරන්නේ නැහැ.
සමස්තයක් වශයෙන් ගත් කළ අනෙක් තරග රටා දෙකට මේ ඔස්සේ ලැබෙන විශාල පන්නරය ද මෙහි දී අමතක නොකළ යුතු කාරණයක්. එනම් සීමිත පන්දුවාර තරග රටා සඳහා වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමේ හැකියාව සහිත තාක්ෂණයෙන් හෙබි පරිපූර්ණ පිතිකරුවන්, වැඩි කාලයක් පුරාවටම පිටියේ රැඳීසිටීමේ හැකියාව හා දරාගැනීමේ හැකියාව සහිත පන්දු යවන්නන් වැන්නන් බිහිකිරීමේ තෝතැන්න වන්නේ ද මෙම දීර්ඝ තරග රටාව වීමයි.
146ක දීර්ඝ කාලයක් පුරාවට ධනාත්මක මෙන්ම සෘණාත්මකව ද සිදු වූ නව්‍යතා සහ පරිවර්තනයන් සමඟින් එකිනෙකට වෙනස් අත්දැකීම් ලබාදුන් මෙම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව “නියම ක්‍රිකට් ආකෘතිය” වශයෙන් හඳුන්වන්නේ කෙසේ ද සහ එහි ප්‍රධාන යුග දෙකේ කතන්දරේ මගේ දැක්මට අනුව විස්තර වෙන්නෙ මෙන්න මෙහෙමයි.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<





















