IPL ශූරතාවය දිනූ පුහුණුකරු නවසීලන්තයේ සහයට

279

හිටපු නවසීලන්ත සුපිරි ක්‍රීඩක Stephen Fleming 2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණි නවසීලන්ත කණ්ඩායම සමඟ අද (16) එක්ව තිබුණා.

තරගාවලියට සහභාගි වීමට සූදානම් වන නවසීලන්ත කණ්ඩායමට අවශ්‍ය උපදෙස් ලබා දීමට ඔහු මෙලෙස කණ්ඩායම හා එක්ව තිබෙන නමුත් එය කෙටි කාලයක් සඳහා පමණක් බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සඳහන්ව තිබුණා.

හිටපු නවසීලන්ත ක්‍රිකට් නායකයෙකු ද වන Stephen Fleming ඊයේ (15) නිමාවට පත්වූ 2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ Chennai Super Kings කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර ඔවුන් ඊයේ (15) පැවති අවසන් මහා තරගයේ දී Kolkata Knight Riders ලකුණු 27කින් පරදවා සිව්වැනි IPL ශූරතාවය දිනා ගන්නට සමත් වුනා.

IPL තරගාවලිය සමඟ මාසයකට ආසන්න කාලයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගත කිරීම නිසාවෙන් එහි ක්‍රීඩාංගණ සහ තණතීරුවල හැසිරීම පිළිබඳව Stephen Flemingගේ ඇති අත්දැකීම් ලෝක කුසලානයට සූදානම් වීමට නවසීලන්තයට විශාල සහයක් වනු ඇත.

මෙවර ලෝක කුසලානයේ නවසීලන්තය සහභාගී වන පළමු තරගය ඔක්තෝබර් 26 වැනිදා පාකිස්තානය සමඟ Sharjah ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර ඔවුන් ඉන් දින තුනකට පසුව එම ක්‍රීඩාංගණයේ දී ම ඉන්දියාව සමඟ තරග වැදීමට නියමිතයි.

එම කණ්ඩායම් ද්විතවයට අමතරව ඇෆ්ගනිස්තානය සහ තරගාවලියේ පළමු වටයෙන් සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම් ද්විත්වයක් ඔවුන්ගේ කාණ්ඩයට අයත් වේ.

2021 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය හෙට (17) ඕමානයේ දී ආරම්භ කරමින් සත්කාරක ඕමානය සහ පැපුවා නිව් ගිනියා කණ්ඩායම් තරග බිමට පිවිසීමට නියමිතයි.

එහි තරග තොරතුරු ඇතුළු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

Times of India ඇසුරෙනි. 

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<