නවන්තුරෙයි සාන්ත මේරීස් ක්‍රීඩා සමාජය 2015 වසරේ දී 02 වන කාණ්ඩයෙන් ක්‍රීඩා කරමින් එහි ශූරතාවය දිනා ගැනීමට සමත් වූ අතර ඊළඟ තරග වාරයේ දී පළමු කාණ්ඩයෙන් ක්‍රීඩා කරමින් අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට සමත් විය. මෙම වසරේ දී තරගාවලිය පුරාවට ඉතා හොඳින් ක්‍රීඩා කළ සාන්ත මේරීස් කණ්ඩායම පළමු කාණ්ඩයේ සහ FA කුසලානයේ අවසන් මහා තරගය ආසන්නයට පැමිණ සිටියි.

B කාණ්ඩයේ ශූරයෝ සෙලින්කෝ ඉන්ෂුවරන්ස්

වෙළඳසේවා පාපන්දු තරගාවලියේ “B” කාණ්ඩයේ තරග දෙකක් සිටි ලීග් පාපන්දු සංකීර්ණයේදී අද (27) පැවැත්විය. එහි දී “B” කාණ්ඩයේ ශූරයින් බවට පත් වීමට සෙලින්කෝ ඉන්ෂුවරන්ස් කණ්ඩායම…

2015

සාන්ත මේරීස් කණ්ඩායම 2015 වසරේ දී ‘වඩක්කින් වල්ලවන්’, ‘පුදිය විදියල්’, ‘මයිලෝ’, ‘අරලි A.S’, ‘මාට්ටුවිල් වලර්මති’, ‘උරුම්පිරෙයි සාන්ත මයිකල්’වැනි කුසලාන රාශියක් දිනා ගැනීමට සමත් වූ අතර එම වසරේ දී ම අරලියෙයි පාපන්දු පුහුණු මධ්‍යස්ථාන ක්‍රීඩාංගණයේ දී පැවති 2 වන කාණ්ඩයේ අවසන් මහා තරගයේ දී නිව් යන්ග්ස් XI SC කණ්ඩායම පරාජයට පත්කරමින් 2 වන කාණ්ඩයේ ශූරතාව ද තමන් සතුකර ගන්නට සාන්ත මේරීස් කණ්ඩායමේ ක්‍රීඩකයින් සමත් විය. එම තරගයේ දී කණ්ඩායම් දෙකම ඉතා හොඳින් ක්‍රීඩා කළ නමුත් දඬුවම් පහර වටයට ඉතා සාර්ථකව මුහුණ දුන් සාන්ත මේරීස් ක්‍රීඩකයින් ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

2016

සාන්ත මේරීස් කණ්ඩායම ප්‍රථම වරට පළමු කාණ්ඩයේ ක්‍රීඩා කරනු ලැබුවේ 2016 වසරේ දී ය. මෙම වසරේ දී මොවුන් යාපනයේ පැවති ‘තීක්කම් තරුණ කුසලාන තරගාවලිය’ ජයග්‍රහණය කිරීමට සමත් විය. සාන්ත මේරීස් ක්‍රීඩකයින් මෙහි දී ඊට පෙර තරග වාරයේ ශූරයන් බවට පත්වූ මොරගස්මුල්ල යුනයිටඩ් ක්‍රීඩා සමාජයට එරෙහිව යාපනයේ දී පැවති තරගය ජයග්‍රහණය කිරීමට සමත් වීම සුවිශේෂී සිදුවීමක් විය. එම තරගය සාන්ත මේරීස් ක්‍රීඩකයින් ජයග්‍රහණය කරනු ලැබුවේ ගෝල 2-1ක් වශයෙනි. කෙසේ වුවත් ඊට සමගාමීව මොරගස්මුල්ලේ දී පැවති තරගය ඔවුන් ගෝල 2-0ක් ලෙස පරාජයට පත්විය.

පළමු වටයේ අර්ධ අවසන් පූර්ව තරගයේ දී පෙලිකන්ස් SC කණ්ඩායම සමඟ පැවති තරගය ගෝල 2-0ක් ලෙස පරාජය වීමත් සමඟ ඔවුන්ට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය. එම තරග වාරයේ දී සාන්ත මේරීස් කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට දිගින් දිගටම ආබාධ වලට මුහුණ දීමට සිදුවීම ද කණ්ඩායමේ පසුබෑමට හේතුවිය.

2017

මෙම තරග වාරය සාන්ත මේරීස් කණ්ඩායමට සුවිශේෂී එකක් විය. තරග වාරය පුරාවටම මොවුන් පරාජය වී ඇත්තේ එක් තරගයක් පමණි. සාන්ත මේරීස් ක්‍රීඩකයින් ‘පුදිය විදියල්’ තරගාවලියේ අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලැබුවේ මෙම තරග වාරයට ඉතා හොඳ ආරම්භයක් ලබා ගනිමිනි.

FA කුසලාන පාපන්දු තරගාවලියේ දී මොවුන් පුත්තලම ලිවර්පූල් SC කණ්ඩායම සහ විම්බල්ඩන් SC කණ්ඩායම් ද්විත්වය පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අතර අර්ධ අවසන් පූර්ව වටයේ දී සුපර් සන් SC කණ්ඩායම සමඟ තරග වැදීමට නියමිතය.

වර්තමාන තත්වය

කණ්ඩායමට අතිශය වැදගත් ක්‍රීඩකයින් දෙපළක් වන ජූඩ් සහ ජෙනට් තවමත් ආබාධ වලින් සුවය ලබා නැත. කණ්ඩායමේ තරුණ ක්‍රීඩකයින් දෙපළක් වන මතිවාතනන් සහ යාපනය මධ්‍ය විද්‍යාලයීය පාපන්දු කණ්ඩායමේ නායක රෙක්ස්නෝ මෙම තරග වාරයේ ඉතා දක්ෂ ලෙස ක්‍රීඩා කිරීමට සමත් විය.

කණ්ඩායමේ වෙනසක් සිදු කරමින් ජැක්සන්ව මැද පෙළ නව ස්ථානයකට මාරුකර ඇත. පසුගිය වසරේ අවුරුදු 23න් පහළ ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කළ නිතර්ෂන් ද සිය උපරිම දක්ෂතා අතරට පැමිණ ඇති අතර මැදපෙළ ක්‍රීඩා කරන එබිරෝන් ජූඩ්ගේ ක්‍රීඩා විලාශය ද කණ්ඩායමට ශක්තියක් වී ඇත. චාල්ස්, අමිතන්, ජෝනිතන් සහ ෆ්‍රැන්සිස් ද මෙම තරග වාරයේ හොඳින් ක්‍රීඩා කිරීමට සමත් විය.

සාන්ත මේරීස් කණ්ඩායමේ ශක්තිය වන්නේ ඔවුන්ගේ පසුපෙළ යි. කණ්ඩායම් නායක යුනිතන්, ජේම්ස්, සුතර්ශන්, නීරෝ සහ ජොන්සන් පසුපෙළ ක්‍රීඩා කරමින් දක්ෂතා දැක්වීමට සමත් විය. මේ වන විට සිය උපරිම දක්ෂතා අතරට පැමිණ සිටින නිතර්ෂන්, චාල්ස්, එබිරෝන් සහ රෙක්ස්නෝ ක්‍රීඩකයින් ප්‍රතිවාදීන්ට දැඩි තර්ජනයක් වනු නොඅනුමානය.

වැදගත් ක්‍රීඩකයින් – මරියදාස්, නිතර්ෂන්, ඇන්ටන් චාල්ස්, ඇන්ටනි යුනිතන්, ජැක්සන්

පුහුණුකරු

සාන්ත මේරීස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස මෑතක දී යාපනය ප්‍රදේශයේ දක්ෂතම පාපන්දු  පුහුණුකරුවෙක් ලෙස සැලකෙන සුරේන්ද්‍රන් තෝරා පත්කර ගන්නා ලදී. ඔහුගේ පත්වීමත් සමඟ කණ්ඩායම තුළ වෙනස්කම් රැසක් සිදුවෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ වන විටත් සාර්ථක වෙනස්කම් කිහිපයක්ම සිදුකිරීමට ඔහු සමත්ව ඇත.

කණ්ඩායම සතු අභියෝග

කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම ආබාධ වලට ලක්ව සිටීම ඔවුන් සතු විශාලම අභියෝගය යි. මේ නිසා දක්ෂතම ක්‍රීඩකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් තරග සඳහා ඉදිරිපත් කිරීමට ඔවුන් අපොහොසත් වී ඇත. මෙම ගැටලුවට දීර්ඝ කාලීන විසඳුමක් සොයා ගැනීම කණ්ඩායමේ පුහුණුකරු සුරේන්ද්‍රන් මේ වන විට මුහුණ පා සිටින ප්‍රමුඛතම අභියෝගය බවට පත්ව ඇත.

සාන්ත මේරීස් පාපන්දු ක්‍රීඩා සමාජය ආරම්භ කර වසර 75ක් ගෙවී ඇතත් වර්තමානය වන විටත් ඔවුන්ට පුහුණුවීම් කටයුතු සඳහා ඔවුන්ගේම ක්‍රීඩාංගණයක් නොමැති වීම ද ඔවුන් හමුවේ ඇති අභියෝගයකි. ක්‍රීඩකයින්ගේ දක්ෂතා වැඩි දියුණු කිරීමට මෙය විශාල බාධාවක් බවට පත්ව ඇත. මෙම ගැටලුව අමාත්‍යංශ මට්ටම කරා ගොස් ඇතත් තවමත් එයට විසඳුමක් ඉදිරිපත් වී නැත.

එමෙන්ම කණ්ඩායමේ ක්‍රීඩා කරන වැඩි දෙනෙක් නවන්තුරෙයි ප්‍රදේශයේ ක්‍රීඩකයින් ය. මේ අතරින් වැඩි දෙනෙක් විනෝදාංශයක් ලෙස පාපන්දු ක්‍රීඩාවට යොමු වූ අය වේ. ඔවුන් මේ වන විට පළමු කාණ්ඩයේ කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කළත් තවමත් වෘත්තීය මට්ටමේ පාපන්දු ක්‍රීඩකයින්ගේ අඩුවක් මෙම කණ්ඩායම තුළ පවතී. කණ්ඩායමට නිසි අනුග්‍රාහකයෙකු නොමැති වීම හේතුවෙන් ක්‍රීඩකයින්ට අන්තර් දිස්ත්‍රික් පාපන්දු තරග සඳහා සහභාගී වීමේ දී මූල්‍යමය ගැටලු රාශියකට මුහුණ පෑමට මේ වන විට සිදුව ඇත.

අවසාන නිගමනය

මෙම තරග වාරයේ දී FA කුසලාන පාපන්දු තරගාවලිය සඳහා ක්‍රීඩා සමාජ වලට විදේශීය ක්‍රීඩකයින් සහභාගී කර ගැනීමට අවස්ථාවක් හිමි වී නැත. මෙම නීතිය තමන්ගේ වාසියට හරවා ගනිමින් තරගාවලියේ අවසාන මහා තරගය සඳහා තේරී පත්වීම ඔවුන්ගේ ඉලක්කයයි. කෙසේ වුවත් ජාතික මට්ටමේ ඔවුන්ට ඇති අත්දැකීම් ප්‍රයෝජනයට ගනිමින් පළමු කාණ්ඩයේ ජයග්‍රහණය ලබා ගනිමින් මීළඟ තරග වාරයේ දී Dialog ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට හැකි වනු ඇති බව ඔවුන්ගේ විශ්වාසය යි.

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න  පාපන්දු ක්‍රීඩා පිටුවට