ඉන්දු – ශ්‍රී ලංකා ටෙස්ට් මතක මග ඔස්සේ – හොඳම පන්දු යැවීම්

672

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට ඉතිරිව ඇත්තේ තවත් දින කිහිපයක් පමණයි. අසල්වාසී ප්‍රතිවාදීන්ට එරෙහිව ටෙස්ට් තරග ඉතිහාසය පුරාවට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ඉහළම පන්දු දක්ෂතා පිළිබඳ කෙරෙන අතීතාවර්ජනයක් මේ.

බංගලාදේශය සමඟ නැගිටිමු!

ශ්‍රී ලාංකික ජනයාට තිබුණේ ක්‍රිකට් පිස්සුවෙන් යුත් 90 දශකයකි. තරග ඇති දිනවල රාජකාරියේ යෙදෙන..

මුත්තයියා මුරලිදරන්  8/87

@AFP
@AFP

ලොව බිහි වූ විශිෂ්ටතම පිට දඟපන්දු යවන්නා වන මුරලි ඉන්දියාවට එරෙහිව ටෙස්ට් තරග 22ක දී කඩුලු 105ක් දවාගෙන තිබේ. 2001 වසරේ ශ්‍රී ලංකාව සත්කාරකත්වය දැරූ තරගාවලියක දී කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවති තරගය මුරලිට අමතක නොවන අත්දැකීමක් බවට පත් විය. නායක සනත් ජයසූරිය කාසියේ වාසිය දිනා පන්දු යැවීමට තීරණය කළ මේ තරගයේ දී මුරලි අතට පළමුවෙන්ම පන්දුව ලැබුණේ 14 වන පන්දු වාරයේදීයි.

වමත් පිතිකරු සඳගොප්පන් රමේෂ් නැවත ක්‍රීඩාගාරයට යවමින් මුරලි ආරම්භ කළ කඩුලු දඩයම අවසන් වුනේ ඉන්දීය පළමු ඉනිම ලකුණු 234කට සීමා කරමිනුයි. අවසානයේ ශ්‍රී ලංකාව මෙම තරගය ඉනිමකින් සහ ලකුණු 77කින් ජය ගනිමින් තරගාවලිය තරග 2-1ක් ලෙස ජයග්‍රාහීව අවසන් කරන්නට සමත් වූ අතර මුරලි පළමු ඉනිමේ දී පන්දුවාර 34.1ක් තුල නිලකුණු පන්දුවාර 9ක් ද සහිතව ලකුණු 87කට දවාගත් කඩුලු 8ක දස්කම ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකා පන්දු යවන්නකු වාර්තා කළ හොඳම පන්දු යැවීම ලෙස තවමත් සටහන් වෙයි.

රංගන හේරත්.  7/48

 AP Photo
AP Photo

දෙරට අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පැවැත්වුනේ 2015 වසරේ ශ්‍රී ලංකාවේ දී යි. එහි පළමු තරගයේ දී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් ගාලු තණතීරුවේ පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරන ලදි. එම සැලසුම අසාර්ථක වුනේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 183කට සීමා වීමත් සමඟයි.

කෙසේ වෙතත් දෙවන ඉනිමේ දී දිනේෂ් චන්දිමාල්ගේ සටන්කාමී පිතිකරණය හේතුවෙන් ප්‍රතිවාදීන්ට ජයග්‍රහණය සඳහා ලකුණු 176ක පහසු ඉලක්කයක් ලබා දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය. එතැන් පටන් ආරම්භ වුනේ වමත් දඟපන්දු විශේෂඥයාගේ සංදර්ශනයයි. රංගන හේරත් ප්‍රබල ඉන්දීය පිතිකරණ ලැයිස්තුව විනාශ කර දමමින් ඔවුන්ගේ දෙවන ඉනිම ලකුණු 112කට සීමා කළේ ලකුණු 63ක අනපේක්ෂිත ජයග්‍රහණයක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම ගෙන යමිනුයි. රංගනගේ පන්දු යැවීම සටහන් වුනේ පන්දුවාර 21ක දී ලකුණු 48කට කඩුලු 7ක් ලෙසයි.

මුත්තයියා මුරලිදරන්  7/100

@AFP
@AFP

2005 වසරේ දෙසැම්බර් මාසයේ දී සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව මුණගැසුණේ නවදිල්ලි නුවර ෆෙරෝස් ශා කොට්ලා ක්‍රීඩාංගණයේ දී යි. ඉන්දීය නායක රාහුල් ද්‍රාවිඩ් කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් අතර ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 290ක් දක්වා වර්ධනය වුනේ සචින් ටෙන්ඩුල්කාර් වාර්තා කළ අගනා ශතකයක් ද සමඟයි. අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගය ලකුණු 188කින් පරාජය වුවද මුරලිගේ පන්දු යැවීමෙන් ඉන්දියානුවන්ට ගැලවීමක් නොවුනි. පළමු ඉනිමේ දී මුරලි කඩුලු 7ක් දවා ගත්තේ මුල්පෙළ කඩුලු 6ක් ඊට ඇතුළත් කරමිනුයි. ඔහුගේ පන්දු යැවීම සටහන් වුනේ පන්දුවාර 38.4ක දී, ලකුණු 100කට කඩුලු 7ක් ලෙසිනි.

මුත්තයියා මුරලිදරන්  6/26

@AFP
@AFP

2008 වසරේ ජුලි 23 වැනිදා කොළඹ SSC ක්‍රීඩාංගණයේ කාසියේ වාසිය දිනාගත් නායක මහේල ජයවර්ධන පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවේ පළමු පිතිකරණය හිමි කර ගන්නා ලදි. ඉන්දීය පන්දු යවන්නන් හට යන එන මං නැති කළ ශ්‍රී ලංකා පිතිකරුවන් කඩුලු 6කට ලකුණු 600ක් ලබා පළමු ඉනිම අත්හිටුවන විට මුල්පෙළ පිතිකරුවන් සිව් දෙනාම ශතක වාර්තා කර තිබුණි.

සංචාරකයන්ගේ පළමු ඉනිම ලකුණු 223කට සීමා වූ අතර ඔවුන්ට ඒ සමඟින්ම දෙවන ඉනිමත් ක්‍රීඩා කිරීමට සිදු විය. එහි දී යළිත් වරක් ඉන්දීය පිතිකරණ ලැයිස්තුව ලකුණු 138කට සීමා කිරීමේ පෙරමුණ ගත්තේ මුත්තයියා මුරලිදරන් ය. ඔහු පන්දුවාර 13ක දී ලකුණු 26කට කඩුලු 6ක් දවාගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 239ක දැවැන්ත ජයග්‍රහණයක් හිමි විය. තරගය පුරා ලකුණු 110කට කඩුලු 11ක් බිඳ හෙලූ මුරලි තරගයේ වීරයා සම්මානය ද තමන් සතු කර ගන්නට සමත් විය.

රුමේෂ් රත්නායක 6/85

Rumesh Ratnayake - news 18.com

1985 වසරේ දී ඉන්දියාව ශ්‍රී ලංකාවට පැමිණියේ ටෙස්ට් තරග 3ක් ඇතුළු තරගාවලියකට ක්‍රීඩා කිරීම සඳහායි. පළමු ටෙස්ට් තරගය කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර කපිල් දේව්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙමින් ලබාගත් ලකුණු 218ට පිළිතුරු ලෙස දුලිප් මෙන්ඩිස්ගේ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 347ක් රැස් කරන ලදි.

ලකුණු 129ක වාසියක් සමඟින් දෙවන වරට පන්දු යැවීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට ඉක්මන් කඩුලු අවශ්‍ය වූ අතර එම වගකීම භාර ගත් දකුණත් මද වේගපන්දු යවන ක්‍රීඩක රුමේෂ් රත්නායක පන්දුවාර 41ක වෙහෙසකර උත්සාහයකින් පසු නිලකුණු පන්දුවාර 10ක් ද සමඟ ලකුණු 85කට දවාගත් කඩුලු සංඛ්‍යාව 6ක්. ඉන්දියානු දෙවන ඉනිම පන්දුවාර 119.3ක දී ලකුණු 251කට සීමා කරමින් සියලු ගෞරව ශ්‍රී ලංකාව සතු කර ගත්ත ද, තරගය අවසන් වුනේ ජය පරාජයෙන් තොරවයි.

අජන්ත මෙන්ඩිස්  6/117

Ajantha-Mendis

2008 වසරේ ජුලි 31 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති දෙවන ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක අනිල් කුම්බ්ලේ පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරන ලදි.

විරේන්ද්‍ර ෂෙවාග් සහ ගෞතම් ගම්භීර් පළමු කඩුල්ලට ලකුණු 167ක් රැස් කරද්දී, නායක මහේල ජයවර්ධන එම සබඳතාව බිඳ දැමීම සඳහා භාවිත කළේ එවක අභිරහස් දඟපන්දු යවන්නෙකු ලෙස සලකුණු වූ අජන්ත මෙන්ඩිස්වයි. ඔහු ගම්භීර්ගේ ඉනිම ලකුණු 56කට සීමා කරන්නට සමත් විය. විරේන්ද්‍ර ෂෙවාග් නොදැවී ද්විත්ව ශතකයක් වාර්තා කරන්නට සමත් වෙද්දී අජන්ත අනෙක් අන්තයෙන් කඩුලු 6ක් දවා ගන්නා ලදි. අජන්ත දෙවන ඉනිමේ ද කඩුලු 4ක් බිඳ හෙළුවද තරගය අවසන් වුනේ ශ්‍රී ලංකාවට ලකුණු 170ක පරාජයක් හිමි කර දෙමිනුයි.

දිල්හාර ප්‍රනාන්දු 5/42

Generated by IJG JPEG Library
Generated by IJG JPEG Library

2001 වසරේ ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට අදාලව තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අගෝස්තු 14 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ආරම්භ වුනේ කාසියේ වාසිය දිනා ගත් සනත් ජයසූරිය ප්‍රතිවාදීන්ට පළමුවෙන් පන්දුවට පහර දීමට ආරාධනා කිරීමත් සමඟයි.

ඉන්දියානුවන් වරෙක කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 109ක් ලබා ස්ථාවර මට්ටමක පසු වූ අතර දිල්හාර ප්‍රනාන්දු නැවත පන්දුව අතට ගත්තේ සෞරවූ ගංගුලි ප්‍රමුඛ ප්‍රබල ඉන්දීය පිතිකරණයේ පිටකොන්ද බිඳ දමන්නටයි. ඔහුගේ වේගපන්දුව හමුවේ ඉන්දීය ඉනිම ලකුණු 187කට සීමා විය. එහි දී පන්දුවාර 25ක් ක්‍රියාත්මක කළ දිල්හාර 1.68ක දල ලකුණු වේගයක් පවත්වා ගනිමින් ලකුණු 42කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය. එම වාසියෙන් ප්‍රයෝජන ගත් සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ජය ගත්තේ කඩුලු 10කිනුයි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<