අනූෂා ඇතුළු බොක්සිං කණ්ඩායම රටින් පිටට

420

පසුගිය අප්‍රේල් මාසයේ දී අවසන් වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන්  පදක්කම් 3ක් දිනා දුන් ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායම ටර්කිමනිස්තානයේ සංචාරයක නිරත වීමට සූදානම්ව සිටියි. හෙට (11) මෙරටින් පිටවන ඔවුන් ටර්කිමනිස්තානයේ දී පුහුණු සැසියකට සහභාගී වීමට නියමිතයි.

ලෝක ශූරියට තනි කකුලෙන් අඬගසන ශ්‍රී ලංකා කෙල්ල

ඇය පන්නල ස්ලිම්ලයින් ආයතනයේ මානව සම්පත් විධායකවරියකි. වසර 15කට අධික කාලයක් …

අනූෂා කොඩිතුවක්කු, තිවංක රණසිංහ, ඉෂාන් බණ්ඩාර යන පොදුරාජ්‍ය මණ්ඩලීය ලෝකඩ පදක්කම් ලාභීන් ද, දිනිඳු සපරමාදු, කේෂානි හංසිකා ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් යුත් කණ්ඩායමක් මේ පුහුණුව සඳහා එක්වේ. එළඹෙන අගෝස්තු මාසයේ දී ඇරඹීමට නියමිත ආසියානු ශූරතා බොක්සිං තරගාවලියට පෙර පුහුණුවක් වශයෙන් මෙය සිදුවේ.

ආසියානු තරගාවලියට මාස 3කට පමණ පෙර මෙවැනි විදෙස් පුහුණුවකට එක්වීම පිළිබඳ ThePapare.com වෙත අදහස් දැක්වූ අනූෂා කොඩිතුවක්කු මෙසේ පවසා සිටියාය.

“මේක හොඳ ට්‍රේනින් එකක් වෙයි. ෆයිට් 5ක් 6ක් වත් තිබුණොත් හොඳයි.”

ඇය තවදුරටත් පවසා සිටියේ රුසියානු කලාපයේ රටක් වන ටර්කිමනිස්තානයේ දී ලැබෙන අත්දැකීම විශේෂ එකක් වනු ඇති බවයි.

“රුසියානු කලාපයේ බොක්සිං ක්‍රීඩකයන් ගොඩක් ඉදිරියෙන් ඉන්නේ. ආසියානු තරගාවලිය ටිකක් අමාරු එකක් නිසා මේ ලැබෙන අත්දැකීම තමයි මෙතන දී වටින්නේ.”

මෙම දොළොස් දින පුහුණුවට රුසියාව, කසකස්තානය, උස්බෙකිස්තානය, යුක්රේනය ආදී බොක්සිං ක්‍රීඩාවේ ඉදිරියෙන් සිටින රටවල් 7ක් මීට සහභාගී වේ. කෙසේ වෙතත් ආසියානු තරගාවලියට පෙර මෙවන් පුහුණුවක් ලැබීම බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මහඟු අවස්ථාවක් වන අතරම අනෙකුත් ක්‍රීඩාවලට ද මෙවන් පුහුණුවීම් අත්‍යාවශ්‍ය බව සටහන් කළ යුත්තේය.

ශ්‍රී ලංකාවෙන් ටර්කිමනිස්තානය වෙත යන බොක්සිං කණ්ඩායමට සාර්ථක පුහුණු කාලයකින් පසුව නැවත සියරට එන්නට ThePapare.com සුබ පැතුම්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<