ඉතිහාසය වෙනස් කළ හැකි තීරණාත්මක දිනයකට එළඹෙයි

844

බටහිර ඉන්දීය කොදෙව් – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයට නැවුම් පිටුවක් එක් කළ හැකි ටෙස්ට් තරගයක නිමාවක් පෙන්නුම් කරන තෙවැනි සහ අවසාන ටෙස්ට් තරගයේ තෙවැනි දිනය (25) නිමාවේ දී තම දෙවැනි ඉනිමට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 81ක් ලබා සිටිය හ. ඒ ජයග්‍රහණය සඳහා ලකුණු 144ක් පිටුපස යන ගමනේ දී ය.

ශ්‍රී ලංකාවේ ඉරණම විසඳීම රොෂේන් සහ දික්වැල්ල වෙතට

බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් …

මෙම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 63ක් පමණි. ඒ සඳහා තවත් කඩුලු 5ක් ඔවුන් සතුව පවතී. තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව සතු වේ නම් තරගාවලිය සම කර ගැනීමට අවස්ථාව උදා වේ.

එහෙත් කොදෙව්වන් සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නැත. තරගයේ තෙවැනි දින පෙරවරුවේ ද ඔවුන් ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 5ක් දවා ගත්තේ ලකුණු 55ක් පමණක් ලබා දෙමිනි. මේ වන විට කුසල් ජනිත් පෙරේරා පන්දුවට පහර දීමට පිටියට පිවිසේ දෝ යන සැකය ද ඇති බැවින් තරගයේ සිව්වැනි දිනය උදාවෙන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ හද ගැස්ම වඩාත් තීව්‍ර කරමිනි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 204ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළමු ඉනිමට ලබා ගත්තේ ලකුණු 154ක් පමණි. ලකුණු 50ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිමට පන්දුවට පහර දීමට පිටියට පිවිසි කොදෙව්වන්ගේ දෙවැනි ඉනිම ලකුණු 93කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

ඒ අනුව ලකුණු 144ක ඉලක්කයක් ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දෙවැනි ඉනිමට පිටියට පිවිසියේ නිත්‍ය ආරම්භ පිතිකරු වූ කුසල් පෙරේරා රෝහලේ සිටිය දී ය. ඒ පන්දු රැකීමේ දී සිදු වූ ආබාධයක් හේතුවෙනි.

ආරම්භක පිතිකරුවන් ලෙසින් මහේල උඩවත්ත සමඟින් ධනුෂ්ක ගුණතිලක පිටියට පිවිසිය ද, ලකුණු පුවරුව 9ක් වෙද්දී උඩවත්ත (00)ගේ ඉනිම අවසන් කිරීමට කෙමාර් රොච් සමත් විය. ඒ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමිනි.  

ලෝක කුසලාන කාන්තා 20-20 තරගාවලියේ කාලසටහන නිකුත් වේ

6 වැනි වතාවටත් පැවැත්වෙන ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ නිල තරග කාලසටහන අද (25) …

එතැන් සිට නැවත වරක් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට තමන්ගේ යුතුකම ගැන දෙවරක් සිතා කටයුතු කිරීමට කොදෙව්වන්ගේ පීඩනය දරුණු විය. ඉතා අඩු ලකුණු සංඛ්‍යාවක් ඉදිරියේ තම වේගපන්දු බල පරාක්‍රමය වඩාත් ප්‍රයෝජනවත්ව යෙදවීම කොදෙව්වන්ගේ අභිප්‍රාය වූ බව දක්නට ලැබුණි. ඒ පීඩනය හමුවේ පන්දුවට පහර දීම ද තරමක ව්‍යාකූලත්වයක් නිර්මාණය කළේය.

ඒ ඇසිල්ලේ ධනුෂ්කගේ කඩුල්ල ද ශ්‍රී ලංකාවට අහිමි වූයේ ලකුණු පුවරුව 30ක් වෙද්දී ය. පන්දු 30කට මුහුණ දුන් ධනුෂ්ක හතරේ පහර 4ක් සමඟින් ලකුණු 21ක් ලබා ගත්තේය. ඔහුට අමතරව ධනංජය ද සිල්වා (17), රොෂේන් සිල්වා (01) සහ නිරෝෂන් දික්වැල්ල (06) ද මේ කුඩා ඉලක්කය හමුවේ තම කඩුලු අහිමි කර ගත්හ.

දිනය අවසාන වන විට කුසල් මෙන්ඩිස් පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 25ක් ද, දිල්රුවන් පෙරේරා පන්දු 19කට මුහුණ දී ලකුණක් ද ලබා නොදැවී පිටියේ රැඳී සිටිති.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම අඩපණ කිරීමේ දී ප්‍රමුඛතාව ගත්තේ නායක ජේසන් හෝල්ඩර් ය. ඔහු පන්දුවාර 8ක් යවමින් ලකුණු 12කට කඩුලු 4ක් දවා ගත්තේය. අනෙක් කඩුල්ලේ හිමිකාරිත්වය කෙමාර් රොච් සතු විය.

තරගයේ දෙවැනි දිනය අවසන් වෙද්දී විශාල බරක් කර මත තබා ගත් රොෂේන් සිල්වා (03*) සහ නිරෝෂන් දික්වැල්ල (13*) ට එදින නින්දක් තිබෙන්නට නැත. පළමු ඉනිමේ ජයග්‍රහණය සඳහා ඔවුන්ට තෙවැනි දිනය උදා වේ දී ලබා ගත යුතුව තිබුණේ තවත් ලකුණු 105ක් පමණි. එහෙත් ඉනිම නිමාවේ දී ඔවුන්ගේ ලකුණු පුවරුවට නිමා වූ දිනයේ දී එකතු වූයේ ලකුණු 55ක් පමණි.

දිනයේ යැවුණ නව වැනි පන්දුවාරය ශ්‍රී ලංකාවට නපුරු වෙමින් එතෙක් වේලා පරිස්සමින් පිතිකරණයේ යෙදුණ රොෂේන් සිල්වා (11) ගේබ්‍රියෙල්ට ගොදුරු වූයේ කඩුලු රකින ක්‍රීඩක ඩොව්රිච් වෙතට උඩ පන්දුවක් ලබා දෙමිනි. ලකුණු පුවරුව 118 නතර විය.

එතැන් සිට දිල්රුවන් පෙරේරා හා එක්වූ නිරෝෂන් දික්වැල්ල නැවත ලකුණු පුවරුව සක්‍රීය කිරීමට වෙහෙස විය. ඔහුගේ දායකත්වය පන්දු 72ක දී හතරේ පහර 6ක් සමඟ ලකුණු 42කි. එවර ක්‍රියාත්මක වූයේ ජේසන් හෝල්ඩර් ය.

දික්වැල්ලගේ දැවී යෑමෙන් අනතුරුව තවත් ලකුණු 7ක් පමණක් ශ්‍රී ලංකා ඉනිමට එක්වෙද්දී ඉතිරි කඩුලු 3 ද දවා ගැනීමට කොදෙව්වෝ සමත් වූහ. සුරංග ලක්මාල්, කසුන් රාජිත සහ ලහිරු කුමාරට කිසිදු ලකුණක් ලබා ගැනීමට නොහැකි වෙමින් ක්‍රීඩාගාරයට යෑමට සිදුවෙද්දී දිල්රුවන් පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 11ක් ලබා සිටියේය.

පන්දු යැවීමේ දී නායක ජේසන් හෝල්ඩර් නිමා වූ දිනයේ දී වඩාත් භයානක පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 19කට කඩුලු 4ක් දවා ගනිමින් පෙර දිනයේ පන්දු යවන්නෝ අභිබවා ගියේය. ඊට අමතරව ගේබ්‍රියෙල් කඩුලු 3ක් ද, කෙමාර් රොච් කඩුලු 2ක් ද දවා ගත්තේ ය.

ලකුණු 50ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිමට පන්දුවට පහර දීමට පිටියට පිවිසි කොදෙව්වන්ගේ ඉනිම දුක්ඛදායී ලෙසින් අවසන් කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. තරගයේ අවසානය තමන් සන්තක කර ගැනීමට නම් දැවැන්ත ලකුණු පුවරුවක අවශ්‍යතාව තිබුණ ද, කොදෙව්වන්ට දෙවැනි ඉනිමේ රැස්කර ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 93ක් පමණි.

විනය කඩකිරීමක් නිසා ජෙෆ්රි වැන්ඩර්සේව නැවත ගෙදර එවයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ කොදෙව් ශ්‍රී ලංකා තෙවන ටෙස්ට් …

කොදෙව් ඉනිමේ පළමු කඩුලු 5 ලකුණු 14ක් තුළ නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යෑමට ආරම්භක පන්දු යවන්නන් වූ සුරංග ලක්මාල් සහ ලහිරු කුමාර සමත් වූහ. ඔවුන් කිසිවිටකත් ලකුණු 10 සීමාවට එන්නට ඉඩ නොලැබෙද්දී යන්තම් හිස ඔසවා ගත්තේ ෂේන් ඩොව්රිච් (16) පමණි. ඔහුත් සමඟ 6 වැනි කඩුල්ලට එක්වූ නායක ජේසන් හෝල්ඩර් (15)  ලකුණු 27ක සබඳතාවක් එක් කරමින් කොදෙව් ලකුණු පුවරුව 41ක් බවට පරිවර්තනය කළහ.

එම කඩුල්ලේ සබඳතාව බිඳ දැමුවේ කසුන් රාජිත ය. ඒ හා සමඟින්ම එම පන්දුවාරයේ දී ම 7 වැනි කඩුල්ල ද දවා ගැනීමට කසුන් සමත් විය.

කොදෙව් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ කෙමාර් රොච් ය. ඔහු පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 23ක් ලබා ගත්තේය. ඊට අමතරව මිගෙල් කමින්ස් ද ලකුණු 14ක් ලබා ගත්තේ ය.

පන්දු යැවීමේ දී සුරංග ලක්මාල් ලකුණු 25කට කඩුලු 3ක් දවා ගනිද්දී, කසුන් රාජිත ලකුණු 20කට කඩුලු 3ක් ලබා ගන්නේය. ලහිරු කුමාරට හිමි වූ කඩුලු සංඛ්‍යාව 2කි.

බාබඩෝස් හි කෙන්සිංටන් ඕවල් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ තෙවැනි දිනයේ දී දෙපිලේම කඩුලු 20ක් දැවී ගිය අතර ඉන් කඩුලු 7ක ම හිමිකාරිත්වය කොදෙව් නායක ජේසන් හෝල්ඩර් සතු විය.

තරගය සිව්වැනි දිනටත් ක්‍රියාත්මක ය.

බටහිර ඉන්දීය කොදෙව්; පළමු ඉනිම සියලුම දෙනා දැවී 204 (69.3) ෂේන් ඩොව්රිච් 71, ජේසන් හෝල්ඩර් 74, සුරංග ලක්මාල් 2/52, ලහිරු කුමාර 4/58, කසුන් රාජිත 3/68

ශ්‍රී ලංකාව; පළමු ඉනිම සියලුම දෙනා දැවී 154 (59.0) ධනුෂ්ක ගුණතිලක 29, කුසල් මෙන්ඩිස් 22, නිරෝෂන් දික්වැල්ල 42, කෙමර් රොච් 2/30, ෂැනොන් ගේබ්‍රියෙල් 52/3, ජේසන් හෝල්ඩර් 4/19

බටහිර ඉන්දීය කොදෙව්; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 93 (31.2) කෙමාර් රොච් නොදැවී 23, සුරංග ලක්මාල් 3/25, ලහිරු කුමාර 2/31, කසුන් රාජිත 3/20

ශ්‍රී ලංකාව; දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 81 (24.0) ධනුෂ්ක ගුණතිලක 21, කුසල් මෙන්ඩිස් නොදැවී 25, ජේසන් හෝල්ඩර් 4/12  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<