සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පස්වන ජාත්‍යන්තර එක්දින තරගය හෙට (10) හම්බන්තොට සූරියවැව, මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ. මේ ThePapare.com විසින් ගෙන එන සිම්බාබ්වේ – ශ්‍රී ලංකා අවසන් එක්දින තරගයේ පෙර විමසුමයි.
ලෝක වාර්තා තැබූ ශ්‍රී ලංකාව සියතින් ගෙල සිඳ ගනියි!
සිව්වැනි එක්දින තරගයේ දී මුලින් පන්දුවට පහර දෙමින් අද්විතීය ලෝක වාර්තාවක් පවා බිහිකළ ශ්‍රී ලංකා කණ්ඩායමට අදත් (08) පරාජයේ අමිහිරි වේදනාව විඳ දරා ගැනීමට සිදු විය.
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන මෙම තරගාවලියේ එක්දින තරග 5න් 4ක් දැනටමත් අවසන් වී ඇත. එයින් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු තරගයේ දී හා සිව්වන තරගයේ දී අනපේක්ෂිත හා අමිහිරි පරාජයයන්වලට මුහුණ දුන් අතර, ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිරි තරගය ජයග්‍රහණය කරමින් මෙම තරගාවලිය 3-2ක් ලෙස අවසන් කළහොත්, එය 2019 වර්ෂයේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට නිතරගයෙන් සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල රුකුලක් වනු ඇත. එසේම තරගාවලියේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට නම් හෙට පැවැත්වෙන තරගය දෙපිළටම ඉතා වැදගත් වේ.
එසේම ඊයේ (8) පැවැත්වූ තරගය ජයග්‍රහණය කළේ නම්, හෙට පැවැත්වෙන තරගයට යම් ආදේශ කරමින් නවකයින්ට තැනක් ලබා දීමට හැකිව තිබුණ ද, සිව්වන තරගයේ දී සියලුම විචාරකයන්ගේ මතය වූයේ නුවන් කුලසේකර, නුවන් ප්‍රදීප් වෙනුවට ආදේශ වනු ඇති බවයි. නමුත් ඒ මත සුනුවිසුනු කරමින් මෙවන් තීරණාත්මක තරගයක දී අත්දැකීම් බහුල නුවන් ප්‍රදීප් වෙනුවට යොවුන් ක්‍රීඩක අසිත ප්‍රනාන්දු හට අවස්ථාව ලබා දීම ප්‍රේක්ෂකයන් මෙන්ම විචාරකයින් පවා මවිත කරවිය. තවද නුවන් ප්‍රදීප් යනු අත්දැකීම් බහුල දක්ෂ වේග පන්දු යවන්නෙකු වන අතර , එම ස්ථානය එක් වරම නවකයෙකුට දීම සුදුසු ද? යන ගැටලුව ඇතුළු ගැටලුකාරී තත්ත්ව රාශියක් නිර්මාණය කරමින් ඊයේ තරගය අවසන් විය.
මුහුණට මුහුණ
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර මේ දක්වා අන්තර්ජාතික එක්දින ක්‍රිකට් තරග 54ක් පවත්වා ඇති අතර, එයින් තරග 43ක ජය ශ්‍රී ලංකා කණ්ඩායම සතු වෙද්දී සිම්බාබ්වේ කණ්ඩායම ජයග්‍රහණය කර ඇත්තේ තරග 9ක් පමණි. තවද එයින් තරග 2ක් ප්‍රතිඵලයක් රහිතව අවසන් වී ඇත.
දෙපිලේම සුපිරි ප්‍රහාරාත්මක තරු
- උපුල් තරංග

- ශෝන් විලියම්ස්

- දනුෂ්ක ගුණතිලක

- හැමිල්ටන් මසකඩ්සා

ප්‍රබල පන්දු යවන්නන්
- අසේල ගුණරත්න

- මොල්කොලොම් වොලර්

- වනිඳු හසරංග

- ටෙන්ඩායි චාටාරා

සූරියවැව තණතිල්ල හා පිටිය
මෙම සුවිසල් මනරම් ක්‍රීඩා පිටියේ ප්‍රේක්ෂකයින් 35,000කට පමණ තරග නැරඹීමට හැකි ලෙස සැලසුම් කර ඇත. මෙම ක්‍රීඩා පිටියේ තණතීරුව මත ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම එක්දින ජාත්‍යන්තර තරග දෙකකට සහභාගි වී ඇති අතර, දෙපිළම එක් තරගය බැගින් ජයග්‍රහණය කර හමාරය.
තවද, ශ්‍රී ලංකාව මෙම තණතීරුවේ දී එක්දින ජාත්‍යන්තර තරග 15කට මුහුණ දී ඉන් තරග 8ක් ජයග්‍රහණය කර ඇති අතර, ප්‍රතිවාදී සිම්බාබ්වේ කණ්ඩායම ද මෙහි දී එක්දින ජාත්‍යන්තර තරග දෙකකට සහභාගි වී ඉන් එක් තරගයක් ජයග්‍රහණය කර ඇත.
මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කළහොත්, පළමුව පන්දු යැවීම වඩාත් සුදුසු වෙයි. කෙසේ වෙතත් නිමා වූ තරගයේ දී, විචාරකයන් පැවසූවේ කාසියේ වාසිය ජයග්‍රහණය කරන කණ්ඩායම නිසැකවම පළමුව පන්දු යවන බවයි. නමුත් ඊයේ (8) අවසන් වූ තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගත්තේ වෙනස්ම ආකාරයේ තීරණයකි.
ඊයේ තරගයේ දී ප්‍රබල සාධකයක් වූ කාලගුණික තත්ත්වය පිරික්සා බැලූ විට, හොඳින් සූර්යාලෝකය පතිත වන මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට උචිත කාලගුණික තත්ත්වයක් ඇති නමුත් උදෑසන කාලයේ තරමක් වලාකුළින් බර වූ අහසක් දිස්වනු ඇත. පැයට කිලෝමීටර් 17-22ක් දක්වා සුළඟේ වේගයේ විචලනයක් ඇති විය හැකි අතර, 32°C – 36°C වැනි පරාසයක උෂ්ණත්වයක් තිබේ.
වර්තමාන තත්ත්වය
ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායමට සාපේක්ෂව තරමක් පෙරමුණේ පසුවන කණ්ඩායමක් වන අතර, ශ්‍රී ලංකාව දැනට (ජූලි 6) අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 8 වන ස්ථානයේ පසුවේ. ඔවුන් ලකුණු 4758ක් ලබාගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 92ක් සමඟයි. ප්‍රතිවාදී සිම්බාබ්වේ කණ්ඩායම එම ශ්‍රේණිගත කිරීම්වල 11 වන ස්ථානයේ පසුවන්නේ ලකුණු 1852ක් හා ප්‍රසාද ලකුණු 47ක් ලබා ගෙනයි.
අවසන් නිගමනය
ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග ඉතිහාසය පිරික්සා බලන කල පෙරමුණේ පසු වුවද, එම තරගය තුල අඩුපාඩු හා දුර්වලතා අවම ලෙස පවත්වාගත් කණ්ඩායමට නිසැකවම ජයග්‍රහණය කිරීමට හැකිය. මන්ද ක්‍රිකට් යනු බොහෝ සෙයින්ම අවිනිශ්චිතතාවය මත රැඳුණු ක්‍රීඩාවක් වන නිසාවෙනි. නමුත් තරගය ජයග්‍රහණය කිරීමේ වැඩි වාසියක් ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි.
අපේක්ෂිත කණ්ඩායම
ශ්‍රී ලංකාව – ඇන්ජලෝ මැතිව්ස් (නායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල, වනිඳු හසරංග, අසේල ගුණරත්න, කුසල් මෙන්ඩිස්, නුවන් කුලසේකර, ලක්ෂාන් සඳකැන්, ලසිත් මාලිංග, දුශ්මන්ත චමීර
සිම්බාබ්වේ – ග්රැහැම් ක්‍රෙමර් (නායක), හැමිල්ටන් මසකඩ්සා, මොල්කොලොම් වෝලර්, ටෙන්ඩායි චාටාරා, පීටර් මුවර්, ශිකන්ඩර් රාසා, ශෝන් විලියම්ස්, ක්‍රෙයිග් ඒර්වින්, සොලමන් මීරේ, ටරාසායි මුස්කන්ඩා, ක්‍රිස් මොපෆු
තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට





















