නිපුන්ලාට නැවතිය නොහැකි වූ ඉන්දීය ජයග්‍රහණය

645

ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමේ නායක නිපුන් දනංජය සහ මැදපෙළ පිතිකරු නිපුන් මාලිංග පමණක් ඉන්දීය පන්දු යවන්නන් හමුවේ හිස ඔසවා පහර දෙමින් ලකුණු රැස් කළ ද ඉතා අඩු ලකුණු සංඛ්‍යාවක් වූ ශ්‍රී ලංකා ඉනිම බේරා ගැනීමට තරම් පුදුම සහගත දක්ෂතාවයකින් පන්දු යැවීමට කිසිවෙක් නොවූයෙන් ඉන්දු – ලංකා පළමු යොවුන් එක්දින තරගය වේලාසනින් ම නිමා කිරීමට ඉන්දීය යොවුන් ක්‍රීඩකයන්ට හැකි වුනා.

කෞෂාල්, සම්මු, කමිඳු සහ චාමිකගේ උත්සාහයන් මල්ඵල දරයි

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු නැගී එන ක්‍රිකට් කණ්ඩායම් අතර කටුනායක මේරියන් ක්‍රිකට් සමාජ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති…..

ඉන්දු – ශ්‍රී ලංකා යොවුන් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දී ඇප නැතිව පරාජය වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ අද (30) ආරම්භ වූ එක්දින තරගාවලියට පිවිසියේ එහි වාඩුව ගන්නටයි. නමුත් එය එතරම් ම ලෙහෙසි නොවුයේ ඉන්දීය කණ්ඩායම සියලුම අංගයන්ගෙන් සන්නද්ධව මෙරටට පැමිණි බැව් නැවත වරක් ප්‍රත්‍යක්ෂ කළ නිසාය. කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවති මෙම පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට කඩුලු 6ක පරාජයක් හිමි වුනා.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 143ක් පමණයි. පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයෝ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 144ක් වාර්තා කරමින් තරගයේ ජයග්‍රහණය වාර්තා කළා. ඒ අනුව තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් සේ පෙරමුණ ගැනීමට සංචාරක ක්‍රීඩකයෝ සමත් වූනා.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 16ක් වෙද්දී අහිමි වූයේ ආරම්භක පිතිකරු නිශාන් මධුශ්ක කිසිදු ලකුණක් නොලබා දැවී යෑමෙන්. ඉන් පසුව පිටියට පිවිසියේ නායක නිපුන් දනංජය. අනෙක් පිතිකරුවන් එකිනෙකා පිටුපස දැවී යෑම හේතුවෙන් නායකයාට බොහෝ පැවරුම් සිදු කිරීමට වුනා. නායකත්වයේ ඉනිමක නිරත වූ ඔහු 5 වැනි කඩුල්ල දක්වාම තම කඩුල්ල රැක ගැනිමට සමත් වුනා. පන්දු 45කට මුහුණ දෙමින් නිපුන් රැස් කළ ලකුණු සංඛ්‍යාව 33ක්. ඊට හතරේ පහර 4ක් ද එක් කිරීමට ඔහු සමත් වුනා.

නිපුන් කඩුල්ලේ රැඳී සිටිය දී ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාන ලකුණු 15කට, නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 6කට සහ පසිඳු සූරියබණ්ඩාර ලකුණු 4කට දැවී ගියා.

අනතුරුව පසුපෙළින් ඉනිම මේ තරමින් හෝ ගොඩගත්තේ නිපුන් මාලිංග රැස් කළ ලකුණු 38 හේතුවෙන්. ඔහු පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් තම ඉනිමට එක් කළා. සඳුන් මෙන්ඩිස් (04), ලක්ෂිත මනසිංහ (09) සහ අවිශ්ක ලක්ෂාන් (01*) අඩු ලකුණුවලට සීමා වෙද්දී, දුනිත් වෙල්ලාලගේ (13) සහ නවීන් නිර්මාල් (10) යන්තම් ඉලක්කම් දෙකේ ලකුණු රැස් කළා.

පන්දු යැවීමේ දී අජේ දේව් ලකුණු 18කට කඩුලු 3ක් දවා ගනිමින් ඉන්දියාව වෙනුවෙන් හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතරව මොහිට් ජන්ග්‍රා, යතින් මන්ග්වානි සහ අයුෂ් බදෝනි කඩුලු 2 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයෝ ඉතාම ලෙහෙසියෙන් ප්‍රතිවාදී ලකුණු ප්‍රමාණය පසුකළ අතර ඔවුන්ගේ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වුනේ අනුජ් රාවට්. ඔහු පන්දු 85කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 50ක් රැස් කළා. ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පිවිසි ඔහු ඉන්දීය ලකුණු පුවරුව කඩුලු 3ක් දැවී ලකුණු 93ක් වන තුරුම පිටියේ රැඳී සිටියා. සඳුන් මෙන්ඩිස්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ඔහුගේ ඉනිම නිමා වුනා.

ඉන්දීය ඉනිමේ අනෙක් වැඩකරුවන් වූයේ නායක ආර්යන් ජුයාල් සහ සමීර් චෞද්රි. නායක් ආර්යන් පන්දු 33කට ලකුණු 20ක් ලබා ගනිමින් ඉන්දීය ඉනිමට ශක්තියක් වුනා. සමීර් චෞද්රි පන්දු 35කට මුහුණ දෙමින් හරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 31ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කරා රැගෙන ගියා. ඔහුත් සමඟ අනෙක් අන්තයෙන් පන්දුවට පහර දෙමින් සිටියේ අතර්වා තායිඩේ ය. ඔහු නොදැවී ලකුණු 9ක් ලබා සිටියා.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම වෙනුවෙන් හොඳම පන්දු යැවීම වාර්තා කළේ ලක්ෂිත මනසිංහයි. ඔහු ලකුණු 32කට කඩුලු 2ක් දවා ගත්තා. ඊට අමතරව අවිශ්ක ලක්ෂාන් සහ සඳුන් මෙන්ඩිස් කඩුල්ල බැගින් දවා ගත්තා.

දෙවැනි එක්දින තරගය අගෝස්තු මස 02 වැනිදා කොළඹ මේට්ලන්ඩ් පෙදෙස එස්. එස්. සී. පිටියේ දී පැවැත්වේ.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම; සියලුම දෙනා දැවී 143 (38.4) නිපුන් දනංජය 33, නිපුන් මාලිංග 38, මොහිට් ජන්ග්‍රා 2/14, යතින් මන්ග්වානි 2/35, අජේ දේව් 3/18, අයුෂ් බදෝනි 2/37

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම; කඩුලු 4ක් දැවී 144 (37.1) අනුජ් රාවට් 50, ආර්යන් ජුයාල් 20, සමීර් චෞද්රි නොදැවී 31, ලක්ෂිත මනසිංහ 2/32

මේ ක්‍රිකට් තරගාවලියේ සියලුම තරග ඩයලොග් TV නාලිකා අංක 1 ඔස්සේ හා ThePapare.com වෙබ් අඩවිය හරහා සජීවීව විකාශනය කරනු ඇත. සියලුම තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<