වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් තෙවැනි තරගයෙන් බංග්ලාදේශය හමුවේ පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදු වුනා.
මෙම තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායකයා සතු වූ අතර, ඔහුගේ ආරාධනයෙන් බංග්ලාදේශ යෞවනයන් පළමුව පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසුණා.
මෙහි දී බංග්ලාදේශ ආරම්භක පිතිකරු යුගලය විසින් ඉතා සාර්ථක ආරම්භයක් ලබමින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 84ක් එක් කිරීමට සමත් වූ අතර, ඔවුන් සිය ඉනිමේ 29 වැනි පන්දුවාරය වන විට කඩුලු තුනක් පමණක් දැවී යමින් ලකුණු 150 සීමාව තරණය කිරීමට සමත් වුනා.
මේත් සමඟම බංග්ලාදේශ පිතිකරුවන්ට ඉතා හොඳ ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට දොරගුළු විවර වී තිබූ නමුත්, ඔවුන්ගේ ඉනිමේ අවසන් කඩුලු 8ම ලකුණු 69ක් තුළ බිඳ හෙළීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකි වුනා. මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ කවිජ ගමගේ කඩුලු 4ක් දවා ගන්නා අතරේ, විරාන් චමුදිත සහ රසිත් නිම්සර අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.
ලකුණු 225ක් ලෙස සටහන් වූ මෙම බංග්ලාදේශ ඉනිමට එකදු අර්ධ ශතකයක් හෝ අන්තර්ගත නොවීම විශේෂත්වයක්.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
මෙතෙක් තරගාවලිය තුළ ශ්‍රී ලංකාව විසින් ක්‍රීඩා කළ අන්දම අනුව ඔවුන් මෙම ලකුණු 226ක ඉලක්කය ද ඉතා පහසුවෙන් හඹා යනු ඇතැයි අනුමාන කළ හැකිව තිබුණා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා යොවුන් පිතිකරුවන්ට එම අනුමාන කිරීම් සපත කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ.
එකදු ශ්‍රී ලාංකික පිතිකරුවකුට හෝ සාර්ථක දීර්ඝ ඉනිමක් ගොඩ නැංවීමට නොහැකි වූ අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළම ලකුණු වාර්තා කළ චාමික හීනටිගල ලකුණු 41ක් ලබා ගැනීමට සමත් වුනා. එමෙන්ම ආදම් හිල්මිගේ පිත්තෙන් ලකුණු 39ක් වාර්තා වුනා.
නමුත් ඒ හැරුණු කොට එකදු ශ්‍රී ලාංකික පිතිකරුවකු හෝ ලකුණු 20 සීමාව ඉක්මවා නොයෑම මෙම තරගයේ දී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 186කට සීමා වීමට හේතු වුනා.
මේ අනුව තරගයෙන් බංග්ලාදේශය ලකුණු 39ක ජයක් හිමි කර ගත් අතර, මෙහි දී Shahriar Ahmed සහ Iqbal Hossain Emon කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් වුනා.
මෙම පරාජයත් සමඟ ශ්‍රී ලංකාව මූලික වටයේ B කාණ්ඩයේ දෙවැනි ස්ථානය තෙක් පහළට ඇද වැටුණා. කෙසේ වෙතත් මේ වන විටත් ඔවුන් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා අවසානයි.
ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන අවසන් පූර්ව තරගය හෙට (19) පැවැත්වීමට නියමිතයි.
තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















