රෙහාන්, අරෝෂ සහ චනුල්ලා බංග්ලාදේශයට යයි

Sri Lanka U17 tour of Bangladesh 2025

1
Sri Lanka U17 tour of Bangladesh 2025

තුන් දින තරග 2ක් සහ එක්දින සීමිත පන්දුවාර තරග ත්‍රිත්වයක් සඳහා සහභාගී වීමට බංග්ලාදේශය බලා යන ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායමේ නායකත්වයට කොළඹ රාජකීය විද්‍යාලය නියෝජනය කරන රෙහාන් පීරිස් නම් කර තිබෙනවා.

මෙම තරග සංචාරයේ තුන් දින තරගාවලිය මේ මස 27 වැනිදා ද සහ එක්දින සීමිත පන්දුවාර තරගාවලියේ දෙසැම්බර් මස 7 වැනිදා ද ආරම්භ වීමට නියමිතයි.

කණ්ඩායමේ නායකත්වයට නම් කරන ලද රෙහාන් පීරිස් නිමා වූ කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැති 146 වැනි නිල් මහා සටනේ දී පන්දු 221කට මුහුණ දෙමින් ලකුණු 158ක් ලබා ගනිමින් දක්ෂතා දැක් වූ ක්‍රීඩකයෙක්.

එමෙන් ම නම් කරන ලද මෙම කණ්ඩායමට රත්ගම දේවපතිරාජ විද්‍යාලය නියෝජනය කරමින් පසුගිය මාසයේ දී මොරටු විද්‍යාලයට එරෙහි ව ලකුණු 151ක් ලබා ගත් අරෝෂ සිතුමිණ ද එක් කර තිබෙනවා. ඔහු නිමා වූ වයස අවුරුදු 17න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ දී තරග 5ක ඉනිම් 5ක දී ලකුණු 188ක් ලබා ගනිමින් ද සහ තරගාවලියේ වාර්තා කරන ලද එක ම ශතකයේ හිමිකරු බවට ද පත් වුණා.

ඊට අමතර ව වයස අවුරුදු 17න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ දක්තම පන්දු යවන්නා සහ තරගාවලියේ වීරයා බවට පත් වූ මහනුවර කණ්ඩායම නියෝජනය කළ කිංග්ස්වුඩ් විද්‍යාලයීය කණ්ඩායමේ චනුල් කොඩිතුවක්කු ද මෙම කණ්ඩායම හා එක් වෙනවා.

ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම

 

රෙහාන් පීරිස් (නායක – රාජකීය විද්‍යාලය, කොළඹ), අරෝෂ සිතුමිණ (දේවපතිරාජ විද්‍යාලය, රත්ගම), චනුල් කොඩිතුවක්කු (කිංග්ස්වුඩ් විද්‍යාලය, මහනුවර), හිරුන් මතීශ (රාජකීය විද්‍යාලය, කොළඹ), පුල්ජිත් වත්සුක (දේවපතිරාජ විද්‍යාලය, රත්ගම), සනුල් වීරරත්න (මහානාම විද්‍යාලය, කොළඹ), හිමරු දේශාන් (රාජකීය විද්‍යාලය, කොළඹ), ස්ටෙවෝන් පීරිස් (සාන්ත තෝමස් විද්‍යාලය, ගල්කිස්ස), ජේසන් ප්‍රනාන්දු (සාන්ත පීතර විද්‍යාලය, බම්බලපිටිය), මානිත රාජපක්ෂ (මහින්ද විද්‍යාලය, ගාල්ල), ලහිරු කුමාර (ක්‍රිස්තු රාජ විද්‍යාලය, ජා ඇල), කෙනුල පිහිලියංග (කිංග්ස්වුඩ් විද්‍යාලය, මහනුවර), මිනුග නෙත්සර (හරිස්චන්ද්‍ර විද්‍යාලය, මීගමුව), ගිම්හාන් මෙන්ඩිස් (සාන්ත තෝමස් විද්‍යාලය, ගල්කිස්ස), නඳුන් බණ්ඩාර (මලියදේව ආදර්ශ විද්‍යාලය, කුරුණෑගල).

ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායමේ තරග කාලසටහන

තුන් දින තරග

  • 1 වැනි තරගය – නොවැම්බර් 27 වැනිදා සිට 29 වැනිදා දක්වා Mirupur හි දී.
  • 2 වැනි තරගය – දෙසැම්බර් 2 වැනිදා සිට 4 වැනිදා දක්වා Bashundra හි දී.

එක්දින තරග

  • 1 වැනි තරගය – දෙසැම්බර් 7 වැනිදා Chattogram හි දී.
  • 2 වැනි තරගය – දෙසැම්බර් 9 වැනිදා Chattogram හි දී.
  • 3 වැනි තරගය – දෙසැම්බර් 12 වැනිදා Chattogram හි දී.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<