කොදෙව් යන යොවුන් බලඇණිය නම් කරයි

Sri Lanka U 19 Team Tour of West Indies

20
Sri Lanka U 19 Team Tour of West Indies

බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ පැවැත්වෙන තරග 7කින් යුත් යොවුන් එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට කොළඹ රාජකීය විද්‍යාලය නියෝජනය කරන විමත් දින්සර නම් කර තිබෙනවා.

මෙම තරගාවලියේ මේ මස 30 වැනිදා සිට සැප්තැම්බර් මස 15 වැනිදා දක්වා බටහිර ඉන්දීය කොදෙව් හී Antigua නගරයේ දී පැවැත්වීමට නියමිතයි.

දකුණත් පිතිකරුවෙක් ලෙසින් දක්ෂතා දක්වන කණ්ඩායමේ නායක විමත් දින්සර මීට පෙර මෙරට දී පැවැති වයස අවුරුදු 19න් පහළ බංග්ලාදේශ තරග සංචාරයේ දී ද ශ්‍රී ලංකා නායකයා ලෙසින් කටයුතු කළා. එම තරගාවලියේ දී ඔහු තරග 6ක ඉනිම් 5ක දී අර්ධ ශතකයක් ද සමඟින් ලකුණු 141ක් ලබා ගන්නවා. එමෙන් ම ඔහු නිමා වූ යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ද ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළා. එහි දී ඔහු ඉනිම 4ක දී ශතකයක් ද සමඟින් ලකුණු 156ක් ලබා ගන්නවා.

Panadura SC කණ්ඩායම නියෝජනය කරමින් පළමු පෙළ එක්දින තරගවලට ද එක් ව ඇති ඔහු මෙතෙක් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 128ක්. ඒ වෙනුවෙන් තරග 4කට මුහුණ දෙමින් එක් අර්ධ ශතක ඉනිමක් ද ඊට ඇතුලත් කර ගෙන තිබෙනවා.

තරග සංචාරය සඳහා නම් කරන ලද ක්‍රීඩකයන් අතර පළමු පෙළ තරග 8ක දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 225ක් ද සහ පළමු පෙළ එක්දින තරග 4ක් දී අර්ධ ශතකයක් ද සමඟින් ලකුණු 99ක් ද ලබා සිටින චාමික හීනටිගල ද ඇතුලත්. ඔහු නිමා වූ බංග්ලාදේශ තරගාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩි ම ලකුණු ලබා ගත් පිතිකරුවායි. එහි දී ඔහු තරග 6ක ඉනිම් 5ක දී අර්ධ ශතයක් ද සමඟින් ලකුණු 182ක් ලබා ගන්නවා.

ඊට අමතර ව තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන කවිජ ගමගේ ද මෙම තරග සංචාරයට එක්වෙන පළපුරුදු ක්‍රීඩකයෙක් ලෙසින් හැඳින්විය හැකියි. Colts කණ්ඩායම නියෝජනය කරමින් පළමු පෙළ එක්දින තරගවලට ද එක් ව ඇති ඔහු නිමා වූ බංග්ලාදේශ තරග සංචාරයේ දී තරග 5ක ඉනිම් 5ක දී අර්ධ ශතකයක් ද සමඟින් ලකුණු 122ක් ලබා ගැනීමට සමත් වෙනවා.

එමෙන් ම ඔහු ද නිමා වූ යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට එක් වෙමින් දක්ෂතා දැක් වූ ක්‍රීඩකයෙක්.

නම් කරන ලද කණ්ඩායමේ පන්දු යවන්නන් අතර සුවිශේෂී ක්‍රීඩකයෙක් ලෙසින් යාපනය සාන්ත ජෝන්ස් විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට එක් වූ කූගදාස් මාතුලන් හැඳින්විය හැකියි. දකුණතින් වේග පන්දු යවන ඔහු නිමා බංග්ලාදේශ තරග සංචාරයේ දී ප්‍රතිවාදී කඩුලු 7ක් දවා ගනිමින් තරගාවලියේ ශ්‍රී ලංකා පන්දු යවන්නෙක් පෑ ඉහළ ම දක්ෂතාව දක්වනවා. එමෙන් ම ඔහු ද නිමා වූ වසරේ පැවැති ආසියානු යොවුන් කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙක්.

එමෙන් ම මෙම තරග සංචාරයට, නිමා වූ වසරේ දී පැවැති යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට මෙන් ම බංග්ලාදේශ තරග සංචාරයට ද එක් වූ විරාන් චමුදිත ද ඇතුලත්.

මෙම තරග සංචාරය සඳහා නම් කරන ලද ක්‍රීඩකයන් 16 දෙනෙක්ගෙන් සමන්විත  සංචිතයට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය නියෝජනය කරමින් ක්‍රීඩකයන් 3 දෙනෙක් ම ඇතුලත් වීම විශේෂත්වයක්. ඊට අමතර කොළඹ රාජකීය විද්‍යාලය නියෝජනය කරන ක්‍රීඩකයෝ දෙදෙනෙක් ද මෙම සංචිතයට ඇතුලත්.

ඔවුන්ට අමතර ව යාපනය සාන්ත ජෝන්ස් විද්‍යාලය සහ යාපනය හාට්ලි විද්‍යාලය නියෝජනය කරමින් ද ක්‍රීඩකයන් දෙදෙනෙක් මෙම සංචාරය එක් වෙනවා.

නම් කරන ක්‍රීඩකයන් අතුරින් පුලීශ තිලකරත්න, ජේසන් ප්‍රනාන්දු සහ කූගදාස් මාතුලන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමක් සමඟ එක් වෙන්නේ පළමු වරටයි.

බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයට එක් වෙන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

විමත් දින්සර (නායක – කොළඹ රාජකීය විද්‍යාලය), දිමන්ත මහවිතාන (මහනුවර ත්‍රිත්ව විද්‍යාලය), පුලීශ තිලකරත්න (මහනුවර ත්‍රිත්ව විද්‍යාලය), සෙනුජ වැකුණුගොඩ (කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය), ආදම් හිල්මි (මහනුවර ත්‍රිත්ව විද්‍යාලය), කවිජ ගමගේ (මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය), විරාන් චමුදිත (මාතර සාන්ත තෝමස් විද්‍යාලය), ජේසන් ප්‍රනාන්දු (කොළඹ සාන්ත පීතර විද්‍යාලය), චාමික හීනටිගල (කොළඹ මහානාම විද්‍යාලය), රමිරු පෙරේරා (කොළඹ රාජකීය විද්‍යාලය), සෙත්මික සෙනෙවිරත්න (මහනුවර ත්‍රිත්ව විද්‍යාලය), කුගදාස් මාතුලන් (යාපනය සාන්ත ජෝන්ස් විද්‍යාලය), සනුජ නිඳුවර (කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය), රසිත් නිම්සර (වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල), විග්නේශ්වරන් ආකාශ් (යාපනය හාට්ලි විද්‍යාලය), තරුෂ නවෝද්‍ය (කොළඹ සහිරා විද්‍යාලය)

බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අවසන් වරට එකිනෙකා හමුව ඇත්තේ 2024 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේදීයි. එම තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගැනිමට සමත් වෙනවා.

දෙරට ක්‍රීඩකයෝ ද්විත්ව තරගාවලියක් සඳහා අවසන් වරට එක් ව ඇත්තේ 2023 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ මෙරට සංචාරයේදීයි. තරග 3කින් සමන්විත එම තරගාවලියෙන් තරග 2-1ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකි වෙනවා.

තරගාවලියේ කාලසටහන

1 වැනි යොවුන් එක්දින තරගය – අගෝස්තු 30 වැනිදා Antigua හී Coolidge ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

2 වැනි යොවුන් එක්දින තරගය – සැප්තැම්බර් 02 වැනිදා Antigua හී Coolidge ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

3 වැනි යොවුන් එක්දින තරගය – සැප්තැම්බර් 04 වැනිදා Antigua හී Coolidge ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

4 වැනි යොවුන් එක්දින තරගය – සැප්තැම්බර් 07 වැනිදා Antigua හී Coolidge ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

5 වැනි යොවුන් එක්දින තරගය – සැප්තැම්බර් 09 වැනිදා Antigua හී Sir Vivian Richards  ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

6 වැනි යොවුන් එක්දින තරගය – සැප්තැම්බර් 12 වැනිදා Antigua හී Sir Vivian Richards  ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

7 වැනි යොවුන් එක්දින තරගය – සැප්තැම්බර් 15 වැනිදා Antigua හී Sir Vivian Richards  ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<