පරාජිත තරගයට කවිජගෙන් ශතකයක්

Sri Lanka U 19 Team Tour of West Indies

100

බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා සමඟ පැවැති පළමු එක්දින යොවුන් තරගයේ දී කවිජ ගමගේ තරගාවලියේ පළමු ශතකය වාර්තා කිරීමේ ගෞරවය ලබා ගත්ත ද තරගයේ ජයග්‍රහණය හිමි වෙන්නේ සත්කාරක ක්‍රීඩකයන්ටයි.   

Antigua Antigu හී Coolidge ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී (30) පැවැති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 256ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 244ක් පමණයි.  

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම 

විමත් දින්සර (නායක), කවිජ ගමගේ, විරාන් චමුදිත, චාමික හීනටිගල, ආදම් හිල්මි (කඩුලු රකින්නා), කුගදාස් මාතුලන්, තරුෂ නවෝද්‍ය, සෙනුජ වැකුණුගොඩ, විග්නේශ්වරන් ආකාශ්, පුලීශ තිලකරත්න, සෙත්මික සෙනෙවිරත්න. 

 

බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම 

Joshua Dorne (නායක), Micah Greenidge, Zachary Carter, Earsinho Fontaine, Brendan Boodoo, Matthew Miller, Jonathan Van Lange, Jakeem Pollard, Vitel Lawes, Pajay Nelson (කඩුලු රකින්නා), Aadian Racha. 

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන් තම ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා ගත්තා. ඔවුන් තරගයට පිවිසෙන්නේ පළමු කඩුල්ලට ලකුණු 54ක සබඳතාවක් එක් කරමින්. පන්දු 31කින් වාර්තා වූ එම සබඳතාවේ වැඩි බරක් කර දැරුවේ  Zachary Carter.  

Micah Greenidge ලකුණු 11කට ඉනිම හැර යෑමත් සමඟින් එම සබඳතාව බිඳ වැටුණ අතර ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව කොදෙව් ඉනිමට තවත් ලකුණු 3ක් පමණක් එක් වෙද්දී Zachary Carter ද ඉනිම හැර යනවා. ඒ වෙද්දී ඔහු පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 39ක් ලබා සිටියා.  

අනතුරු ව තෙවැනි කඩුල්ලට ලකුණු 40ක සබඳතාවක් එක් කිරීමට නායක Joshua Dorne (19) සහ Earsinho Fontaine (19) සමත් වෙනවා. එතැන් සිට ලකුණු 9ක් තුළ තවත් කඩුලු ද්විත්වයක් දවා ගනිමින් කොදෙව් ඉනිම කඩුලු 5කට ලකුණු 108ක් බවට පත් කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වෙනවා. නමුත් 6 වැනි කඩුල්ලේ දී ලකුණු 64ක සබඳතාවක් එක් කරමින් නැවත කොදෙව් ඉනිම ගොඩ ගැනීමට Matthew Miller සහ  Jonathan Van Lange සමත් වෙනවා.  

Matthew Miller පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 33ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබදතාව බිඳ වැටෙනවා. අනතුරු ව 7 වැනි කඩුල්ලට ද ලකුණු 48ක සබඳතාවක් ගොඩ නැගීමට Jonathan Van Lange සහ Aadian Racha සමත් වෙනවා.  

Aadian Racha පන්දු 30කට මුහුණ දෙමින් හයේ පහර ද්විත්වයක් සමඟින් ලකුණු 25ක් ලබා ගන්නා ලද අතර Jonathan Van Lange කොදෙව් ඉනිමේ අවසන් පිතිකරු ලෙසින් දැවී යද්දී පන්දු 94කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 83ක් ලබා සිටියා. 

කඩුලු දවා ගැනීමේ දී විග්නේශ්වරන් ආකාශ් ලකුණු 33කට කඩුලු 4ක් දවා ගත් අතර ඊට අමතර ව කවිජ ගමගේ, විරාන් චමුදිත, කුගදාස් මාතුලන් සහ සෙත්මික සෙනෙවිරත්න කඩුල්ල බැගින් බෙදා ගන්නවා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 38ක් තුළ දැවී යනවා. ඒ වෙද්දී සෙනුක වෑකුණුගොඩ පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 21කට ද, විරාන් චමුදිත පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 13කට ද, පුලීෂ තිලකරත්න ලකුණකට ද සහ නායක විමත් දින්සර ලකුණු නොලබා ම ද දැවී ගියා.  

ඉන් අනතුරු ව ශ්‍රී ලංකා ඉනිමේ 5 වැනි කඩුල්ලේ දී ලකුණු 75ක සබඳතාවක් එක් කරමින් ශ්‍රී ලංකාව වැටී සිටි තත්ත්වයෙන් තරමක් ගොඩ ගැනීමට කවිජ ගමගේ සහ චාමික හීනටිගල සමත් වෙනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ චාමික හීනටිගල ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යන විට පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 22ක් ලබා සිටියා. 

ඉන් අනතුරු ව කඩුල්ලේ දී ආදම් හිල්මි හා එක් වූ කවිජ ගමගේ එවර ලකුණු 112ක සබඳතාවක් එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ කවිජ ගමගේ ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 104කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 123ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් ව සිටියා.   

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව ආදම් හිල්මි ද ඉනිම හැර යන අතර ඒ වෙද්දී ඔහු පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 41ක් ලබා සිටියා. අනතුරු ව ශ්‍රී ලංකා ඉනිමේ ඉතිරි කඩුලු ත්‍රිත්වය වූ තරුෂ නවෝද්‍ය (0), කුගදාස් මාතුලන් (3) සහ සෙත්මික සෙනෙවිරත්න (11) ලකුණු 10ක් තුළ දී දවා ගැනීමට ප්‍රතිවාදී බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නෝ සමත් වෙනවා. 

කඩුලු දවා ගැනීමේ දී Jakeem Pollard ලකුණු 34කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවිම වාර්තා කළා. ඊට අමතර ව Aadian Racha සහ Matthew Miller කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර Zachary Carter කඩුල්ලක් දවා ගනිද්දී විග්නේශ්වරන් ආකාශ් නොදැවී ලකුණු නොලබා පිටියේ රැඳී සිටියා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 256 (49.5) Zachary Carter 39, Matthew Miller 33, Jonathan Van Lange 83, Aadian Racha 25, විග්නේශ්වරන් ආකාශ් 4/22
  • ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 244 (48.2) සෙනුක වැකුණගොඩ, කවිජ ගමගේ 123, චාමික හීනටිගල 22, ආදම් හිල්මි 41, Jakeem Pollard 3/34, Matthew Miller 2/59, Aadian Racha 2/41

බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ලකුණු 12ක ජයක් 

දෙරට අතර පැවැත්වෙන 2 වැනි යොවුන් එක්දින තරගය සැප්තැම්බර් මස 02 වැනිදා මෙම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.   

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<