ශ්‍රී ලංකාව 2-0කින් සිම්බාබ්වේ පරාජය කරයි

Sri Lanka tour of Zimbabwe 2025

1
Sri Lanka Tour of Zimbabwe

පැතුම් නිස්සංක සහ නායක චරිත් අසලංක ගේ ආක්‍රමණකාරී පිතිහරඹය හමුවේ තම දක්ෂතා හකුලා ගැනීමට සිදු වූ සිම්බාබ්වේ ක්‍රීඩකයන්ට අද (31) නිමා වූ දෙරට අතර ක්‍රියාත්මක 2 වැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ද පරාජය වීමට සිදු වූවා.

පෙර තරගයේ දී ලකුණු 7ක ජයග්‍රහණයක් ලබා ගත් සංචාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මෙම තරගයේ දී කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගනිමින් තරගාවලිය 2-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට සමත් වූවා.

Harare නුවර දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සිම්බාබ්වේ ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 277ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 278ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.

අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූයේ පෙර තරගයට ක්‍රීඩා කළ නිශාන් මදුශ්ක වෙනුවට නුවනිඳු ප්‍රනාන්දු එක් කරමිනුයි.

පෙර තරගයේ දී සිම්බාබ්වේ කණ්ඩායම නියෝජනය කළ Wessly Madhevere සහ Trevor Gwandu මෙම තරගයෙන් ඉවත් කර තිබූ අතර ඔවුන් දෙදෙනා වෙනුවට Clive Madande සහ 32 වැනි වියේ පසුවෙන දකුණතින් මඳ වේග පන්දු යවන Ernest Masuku ට මංගල එක්දින ජාත්‍යන්තර වරම් හිමිකර දෙමින් එක් කර තිබුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම

 

චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, නුවනිඳු ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, ජනිත් ලියනගේ, කමිඳු මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, අසිත ප්‍රනාන්දු සහ ඩිල්ශාන් මදුශංක.

 

සිම්බාබ්වේ කණ්ඩායම

 

Sean Williams (නායක), Brian Bennett, Ben Curran, Brendan Taylor, Sikandar Raza, Tony Munyonga, Clive Madande (කඩුලු රකින්නා), Brad Evans, Richard Ngarava, Blessing Muzarabani, Ernest Masuku

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ Ben Curran. ඔහු පන්දු 95කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 79ක් ලබා ගත්තා.

එමෙන් ම ඔහු පළමු කඩුල්ල වෙනුවෙන් Brian Bennett (21) සමඟ එක් වෙමින් ලකුණු 55ක සබඳතාවක් ද, 2 වැනි කඩුල්ල වෙනුවෙන් Brendan Taylor (20) සමඟ එක් වෙමින් ලකුණු 61ක සබඳතාවක් ද සහ 3 වැනි කඩුල්ල වෙනුවෙන් නායක Sean Williams (20) සමඟ එක් වෙමින් ලකුණු 34ක සබඳතාවක් ද ගොඩ නැගුවා.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව Sikandar Raza සිම්බාබ්වේ ඉනිමේ ලකුණු මැෂිම බවට පත් වුණා. ඔහු එම ඉනිම අවසන් වන විට පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 59ක් රැස් කළා.

ඔහු Clive Madande සමඟින් 6 වැනි කඩුල්ලට එක් වෙමින් ලකුණු 76ක සබඳතාවක් ද ගොඩ නගනවා. එහි දී Clive Madande පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 36ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී දුෂ්මන්ත චමීර ලකුණු 52කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ වැඩිම කඩුලුලාභියා බවට පත් වුණා. ඊට අමතර ව අසිත ප්‍රනාන්දු කඩුලු 2ක් ද සහ ඩිල්ශාන් මදුශංක කඩුල්ලක් ද දවා ගත්තා.

හඹා යන ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ඉනිමේ ආරම්භය තරමක් මන්දගාමී වූවා. ඔවුන් පළමු පන්දු වාර 10 අවසන් කරන්නේ 4.5ක දළ ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගනිමින්. පැතුම් නිස්සංක සහ නුවනිඳු ප්‍රනාන්දු එක් ව ගොඩ නැගූ එම ඉනිම අවසන් වෙන්නේ ලකුණු 48ක් ලකුණු පුවරුවට පැමිණෙද්දීයි.

එහි දී නුවනිඳු ප්‍රනාන්දු පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 14ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් පළමු කඩුල්ලේ සබඳතාව බිඳී යනවා.

අනතුරු ව පිටියට එක් වූ කුසල් මෙන්ඩිස්ට පිටියේ රැඳී සිටිමට වරම් ලැබෙන්නේ පන්දු 10කට පමණයි. ලකුණු 5කින් නිමා වූ එම ඉනිමෙන් අනතුරු ව පිටියට එක් වූයේ සදීර සමරවික්‍රම.

ඔහු පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 31කට දැවී යන විට 3 වැනි කඩුල්ලට පැතුම් නිස්සංක හා එක් ව පන්දු 95ක දී ලකුණු 78ක සබඳතාවක් ගොඩ නගා තිබුණා.

අනතුරු ව පැතුම් නිස්සංකට එක් වූ නායක චරිත් අසලංක තරගයේ ජයග්‍රහණය පෙනෙන මානයට ශ්‍රී ලංකා ඉනිම රැගෙන ගියා. සිව් වැනි කඩුල්ලට ලකුණු 90ක සබඳතාවක් එක් වෙද්දී පැතුම් නිස්සංකට පිටියෙන් ඉවත් වීමට සිදු වුණා. ඒ වෙද්දී ඔහු පන්දු 136කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සමඟින් ලකුණු 122ක් ලබා සිටියා.

පැතුම් නිස්සංක අද රැස් කළේ තම 71ක් වන එක්දින ජාත්‍යන්තර තරග දිවියේ 18 වැනි ශතකයයි.

තම 17 වැනි එක්දින ජාත්‍යන්තර අර්ධ ශතකය ලබා ගත් චරිත් අසලංක තරගය ජයග්‍රහණයට තවත් ලකුණු 6ක් පමණක් ඉතිරි ව තිබිය දී දැවී යනවා. ඒ වෙද්දී ඔහු පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 71ක් ලබා සිටියා.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව ඉනිම අවසන් වීමට තවත් පන්දු 3ක් පමණක් ඉතිරි ව තිබිය දී ජයග්‍රාහී කඩඉම පසු කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වෙනවා. ඒ වෙද්දී ජනිත් ලියනගේ පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 19ක් ද සහ කමිඳු මෙන්ඩිස් පන්දු 2කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 5ක් ද ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Richard Ngarava  සහ Brad Evans කඩුලු 2ක් බැගින් දවා ගත් අතර ඊට අමතර ව Ernest Masuku කඩුල්ලක් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • සිම්බාබ්වේ – කඩුලු 7ක් දැවී 277 (50.0) Brian Bennett 21, Ben Curran 79, Brendan Taylor 20, Sean Williams 20, Sikandar Raza නොදැවී 59, Clive Madande 36, අසිත ප්‍රනාන්දු 2/67, දුෂ්මන්ත චමීර 3/52
  • ශ්‍රී ලංකාව – කඩුලු 5ක් දැවී 278 (49.3) පැතුම් නිස්සංක 122, සදීර සමරවික්‍රම 31, චරිත් අසලංක 71, ජනිත් ලියනගේ නොදැවී 19, Richard Ngarava 2/53, Brad Evans 2/54

ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 5ක ජයක්.

  • තරගයේ වීරයා – පැතුම් නිස්සංක (ශ්‍රී ලංකාව)

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් මස 03 වැනිදා Harare නුවර දී පැවැත්වීමට නියමිතයි.

 තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<