ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයේ දෙවැනි තරගය ඊයේ (14) ක්‍රියාත්මක වුනා.
මෙම තරගය ඉතා පහසුවෙන් ජය ගැනීමට පාකිස්තානය සමත් වූ අතර, ඒ අනුව දෙරට අතර එක්දින තරගාවලිය ද 2-0ක් ලෙස ජය ගැනීමට පාකිස්තානයට හැකි වී තිබෙනවා.
ඊයේ තරගයේ කාසියේ වාසිය පාකිස්තානය සතු වූ අතර, එ අනුව තරගයේ පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමි වුනා. මෙම තරගයේ දී ද ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම ආරම්භ කිරීමට පැතුම් නිස්සංක සහ කමිල් මිශාර පිටියට පිවිසුණා.
මෙවර ඔවුන් දෙදෙනා විසින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 51ක් එක් කිරීමට සමත් වූ අතර, අවාසනාවන්ත ලෙස පැතුම් දුවද්දී දැවී යාමත් සමඟ එම සබඳතාව බිඳ වැටුණා. පැතුම්ගේ ඉනිම ලකුණු 24කට සීමා වූ අතර, කමිල්ගේ ඉනිම ලකුණු 27කට සීමා වුනා. එමෙන්ම ඉනිමේ තුන් වැනි කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් ලකුණු 20ක් ලබමින් දැවී ගිය අතර, ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු 98ක් සටහන් වන විට කඩුලු 4ක් දැවී ගොස් තිබුණා.
මේ මොහොතේ කඩුල්ලේ එක් වූ සදීර සමරවික්‍රම සහ ජනිත් ලියනගේ විසින් ඉනිමේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 61ක් එක් කිරීමට සමත් වුනා. මෙහි දී සදීර ලකුණු 42ක් ලබා ගැනීමට සමත් වූ අතර, සදීර පිටියෙන් ඉවත් වීමෙන් පසුව පිටියට පිවිසි කමිඳු මෙන්ඩිස් ජනිත් සමග එක් වී හය වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 73ක් එක් කිරීමට සමත් වුනා. මෙහි දී කමිඳු විසින් පන්දු 38ක් පමණක් වැය කරමින් ලකුණු 44ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඊට හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් අන්තර්ගත වුනා. කමිඳු පිටියෙන් ඉවත් වීමෙන් මොහොතකට පසුව එතෙක් වෙලා වටිනා ඉනිමක් දියත් කළ ජනිත් ලියනගේ ලකුණු 54කට දැවී ගියා.
කෙසේ වෙතත් ඒ මොහොතේ ශ්‍රී ලංකා ඉනිම බිඳ වැටීමට ඉඩ නොතැබූ වනිඳු හසරංග වටිනා ලකුණු 37ක් වාර්තා කළේ පන්දු 26ක් පමණක් වැය කරමිනුයි. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසන කඩුලු 8ක් දැවී ලකුණු 288ක් ලබා ගැනීමට සමත් වුනා.
මෙහි දී පාකිස්තානය වෙනුවෙන් Abrar Ahmed සහ Haris Rauf කඩුලු 3 බැගින් බිඳ හෙළීමට සමත් වුනා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
ශ්‍රී ලංකාවෙන් ලැබුණු ලකුණු 289ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි පාකිස්තානය වෙනුවෙන් පළමු කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 77ක් එක් කිරීමට Fakhar Zaman සහ Saim Ayub විසින් සමත් වුනා. Ayub ලකුණු 23ක් ලබමින් පිටියෙන් ඉවත් වූ පසු Babar Azam සහ Fakhar විසින් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 100ක සබඳතාවක් ගොඩ නැංවීමට සමත් වුනා. මෙහි දී Fakhar Zamanගේ පිත්තෙන් ලකුණු 78ක් වාර්තා වුනා.
ඔහුගේ දැවී යාමෙන් අනතුරුව Babar සහ Mohammad Rizwan තෙවැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 112ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් වුනා. මෙහි දී Rizwan විසින් පන්දු 54කින් ලකුණු 51ක් වාර්තා කිරීමට සමත් වුනා. මේ අතර වසර දෙකක් තිස්සේ ශතකයක් ලබා ගැනීමට නොහැකි වී සිටි Babar Azam විසින් ඊයේ දිනයේ දී සිය ශතක ඉඩෝරයට තිත තැබීමට සමත් වුනේ පන්දු 119ක් තුළ නොදැවුණු ලකුණු 102ක් ලබමිනුයි.
මේ අනුව පාකිස්තාන පිතිකරුවන් පන්දුවාර 48 පන්දු 2ක් තුළ කඩුලු 2ක් පමණක් දැවී අදාළ ඉලක්කය හඹා යාමට සමත් වුනා. පාකිස්තාන ඉනිමේ දැවී ගිය කඩුලු ද්විත්වයම දුශ්මන්ත චමීර නම ඉදිරියෙන් ලියැවුණා.
තරගයේ වීරයා ලෙස සිය ශතක ඉඩෝරයට තිත තැබූ Babar Azam සම්මාන දිනා ගත්තා.
දෙරට අතර පැවැත්වීමට නියමිත තෙවැනි සහ අවසන් එක්දින තරගය හෙට (16) ක්‍රියාත්මක වනු ඇති.
තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, එමෙන්ම තරගාවලියේ සියලු තරග ThePapare හරහා සජීවී ව නැරඹීමේ අවස්ථාව ද ඔබට හිමි වනු ඇති. රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















