Home Sinhala වනිඳුගේ උත්සාහය අපතේ යයි; පාකිස්තානය තියුණු ජයක් කරා!

වනිඳුගේ උත්සාහය අපතේ යයි; පාකිස්තානය තියුණු ජයක් කරා!

Pakistan Tour Of Sri Lanka 2025

27
Pakistan Tour Of Sri Lanka 2025

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 06ක ජයක් ලබා ගැනීමට පාකිස්තානය ඊයේ (11) සමත් වුනා.

තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සතු වූ අතර, ඔහුගේ තීරණය අනුව පාකිස්තානය පළමුව පන්දුවට පහර දීමට අවස්ථාව ලබා ගත්තා.

මෙම තරගයේ දී කමිල් මිශාර ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් ලබා ගැනීම විශේෂත්වයක්.

මේ අනුව පාකිස්තානය වෙනුවෙන් ඉනිම ආරම්භ කිරීමට Fakhar Zaman සහ Saim Ayub පිටියට පිවිසුණා. කෙසේ වෙතත් Ayubගේ ඉනිම ලකුණු 06කට සීමා කිරීමට අසිත ප්‍රනාන්දු විසින් සමත් වුනා. එමෙන්ම අසිත සහ දුශ්මන්ත චමීර යුගලය විසින් පාකිස්තාන මුල් පෙළ පිතිකරුවන් ඉතා හොඳින් දමනය කරමින් ලකුණු ලබා ගැනීම වැළැක්වීමට සමත් වූ අතර, කලකට පසුව එක්දින කණ්ඩායම සමඟ එක් වූ වනිඳු හසරංග එහි උපරිම වාසිය ලබා ගනිමින් පාකිස්තාන ඉනිමේ කඩුලු 2ක් ඉක්මනින් බිඳ හෙළීමට සමත් වුනා.

ඒ අනුව පාකිස්තාන ඉනිමේ 20 වැනි පන්දුවාරය වන විට ඔවුන් කඩුලු 3ක් දැවී ලකුණු 76ක් පමණක් ලබා සිටියා. වනිඳු එතැනින් ද නතර නොවී පාකිස්තාන ඉනිමේ 04 වැනි කඩුල්ල ලෙස Babar Azam ද දවා ගැනීමට සමත් වුනේ ලකුණු පුවරුවේ ලකුණු 95ක් සටහන් වන විටයි. නමුත් මේ මොහොතේ පාකිස්තාන ඉනිම බේරා ගැනීමේ සටනට අවතීර්ණ වූ Salman Agha සහ Hussain Talat විසින් පස් වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 138ක දැවැන්ත සබඳතාවක් ගොඩ නැගීමට සමත් වුනා. මෙහි දී Talat විසින් පන්දු 63ක් පමණක් වැය කරමින් ලකුණු 62ක් ලබා ගැනීමට සමත් වුනා. Talatගේ දැවී යාමෙන් අනතුරුව Mohammad Nawaz සහ Agha පිටියේ එක් වූ අතර, ඔවුන් දෙදෙනා විසින් ඉනිම අවසන් වන තෙක් පිතිකරණයේ යෙදීමට සමත් වුනා. මෙහි දී Nawaz පන්දු 23ක් පමණක් වැය කරමින් ලකුණු 36ක් ලබා ගන්නා අතරේ, Salman Agha විසින් අග්‍රගණ්‍ය ඉනිමක් දියත් කරමින් පන්දු 87ක් තුළ ලකුණු 105ක් ලබා ගැනීමට සමත් වුනා.

මේ අනුව පාකිස්තානය විසින් නියමිත පන්දුවාර 50 අවසන් වන විට කඩුලු 05ක් පමණක් දැවී ලකුණු 299ක් ලබා ගැනීමට සමත් වුනා. මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වනිඳු ලකුණු 54ක් තුළ කඩුලු 3ක් දවා ගන්නා අතරේ, අසිත සහ මහීෂ් තීක්ෂණ එක් කඩුල්ල බැගින් බිඳ හෙළීමට සමත් වුනා.

පාකිස්තාන ඉනිමෙන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීම සඳහා පැතුම් නිස්සංක සහ කමිල් මිශාර පිටියට පිවිසුණු අතර, ඔවුන් දෙදෙනා විසින් ඉනිමට ලකුණු 85ක විශිෂ්ට ආරම්භයක් ලබා දීමට ද සමත් වුනා. පන්දු 70ක් තුළ වාර්තා වූ මෙම ලකුණු සංඛ්‍යාව වෙනුවෙන් කමිල් ලකුණු 38ක් එක් කරමින් ඉනිමේ පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වුනා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ලබා ගත් විශිෂ්ට ආරම්භය ඉදිරියට රැගෙන යාමට අනෙක් පිතිකරුවන් සමත් වුනේ නැහැ. කමිල්ගෙන් පසුව පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් ලකුණු නොලබා පිටියෙන් ඉවත් වූ අතර, පැතුම් ද ලකුණු 29කට දවා ගැනීමට Haris Rauf විසින් සමත් වුනා.

මේ මොහොතේ කඩුල්ලේ එක් වූ නායක චරිත් අසලංක සහ සදීර සමරවික්‍රම ඉනිමේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 57ක් එක් කිරීමට සමත් වුනා. මෙහි දී සදීර ලකුණු 39ක් ලබා ගැනීමට සමත් වුනා. සදීර පිටියෙන් ඉවත් වීමෙන් පසුව චරිත් සහ ජනිත් ලියනගේ පිටියේ එක් වෙමින් තවත් ලකුණු 36ක් ඉනිමට එක් කිරීමට සමත් වුනා. මෙහි දී චරිත් අසලංක ලකුණු 32ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඉන් මොහොතකට පසුව ජනිත් ලියනගේ ද ලකුණු 28ක් ලබමින් පිටියෙන් ඉවත් වී ගියා.

වරෙක ශ්‍රී ලංකා ඉනිම කඩුලු 7කට ලකුණු 210ක් ලෙස දිස් වූ අතර, තරගයේ ජය කිසි සේත් ම නොපෙනෙන තත්වයක පවා ඒ මොහොතේ කඩුල්ලේ එක් වූ වනිඳු හසරංග සහ දුශ්මන්ත චමීර බලාපොරොත්තු අත් නොහරිමින් ලකුණු එක් කිරීමට සමත් වුනා.

මෙහි දී දුශ්මන්ත වනිඳුට අවශ්‍ය සහය ලබා දෙමින් ලකුණු 07ක් ලබා ගත් අතර, දුශ්මන්තගේ දැවී යාමෙන් පසුව පිටියට පිවිසි මහීෂ් තීක්ෂණ ද සිය වගකීම ඉටු කරමින් වනිඳුට අවැසි සහය ලබා දීමට සමත් වුනා.

මේ අතරවාරයේ ශ්‍රී ලංකා ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ වනිදු හසරංග පන්දු 52ක් පමණක් වැය කරමින් හතරේ පහර 07ක් සමඟ ලකුණු 59ක් ලබා ගැනීමට සමත් වුනා. කෙසේ වෙතත් වනිඳු පිටියේ රැඳීම සහ ඉක්මන් ලකුණු යන සාධක දෙකම අත්‍යාවශ්‍ය මොහොතක හයේ පහරක් එල්ල කිරීමට ගොස් උඩ පන්දුවක් ලබා දෙමින් වනිඳු දැවී ගියා. මේත් සමඟම ශ්‍රී ලංකාවට තරගයේ ජයග්‍රහණය පිළිබඳ තිබූ බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම නිමාවට පත් වුනා.

තරගයේ අවසන් පන්දු කිහිපයේ නැවත ශ්‍රී ලංකාවට බලාපොරොත්තුවක් රැගෙන ඒමට උත්සාහ කළ මහීෂ් තීක්ෂණ නොදැවී ලකුණු 21ක් ලබා ගැනීමට සමත් වුනා. පාකිස්තානය වෙනුවෙන් Haris Rauf කඩුලු 04ක් දවා ගැනීමට සමත් වුනා.

මේ අනුව පාකිස්තානය විසින් ලබා දුන් ලකුණු 300ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා ඉනිම ලකුණු 293කින් නතර වීම නිසා පාකිස්තානයට ලකුණු 06ක තියුණු ජයක් හිමි වුනා.

Result
Pakistan
299/5 (50)
Sri Lanka
293/9 (50)
Batsmen R B 4s 6s SR
Fakhar Zaman st Kusal Mendis b Wanindu Hasaranga 32 55 2 1 58.18
Saim Ayub lbw b Asitha Fernando 6 14 0 0 42.86
Babar Azam b Wanindu Hasaranga 29 51 3 0 56.86
Mohammad Rizwan lbw b Wanindu Hasaranga 5 8 1 0 62.50
Agha Salman not out 105 87 9 0 120.69
Hussain Talat  lbw b Maheesh Theekshana 62 63 6 1 98.41
Mohammad Nawaz not out 36 23 5 1 156.52
Extras 24 (b 1 , lb 9 , nb 1, w 13, pen 0)
Total 299/5 (50 Overs, RR: 5.98)
Bowling O M R W Econ
Asitha Fernando 10 2 42 1 4.20
Dushmantha Chameera 10 1 63 0 6.30
Maheesh Theekshana 10 0 64 1 6.40
Janith Liyanage  8 0 48 0 6.00
Wanindu Hasaranga 10 0 54 3 5.40
Charith Asalanka 2 0 18 0 9.00

Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Mohammad Rizwan b Haris Rauf 29 39 3 0 74.36
Kamil Mishara  c Shaheen Shah Afridi b Haris Rauf 38 36 5 1 105.56
Kusal Perera b Haris Rauf 0 1 0 0 0.00
Sadeera Samarawickrama c Babar Azam b Haris Rauf 39 48 6 0 81.25
Charith Asalanka st Mohammad Rizwan b Mohammad Nawaz 32 49 2 0 65.31
Janith Liyanage  b Naseem Shah 28 24 2 2 116.67
Kamindu Mendis b Faheem Ashraf 9 13 1 0 69.23
Wanindu Hasaranga c Babar Azam b Naseem Shah 59 52 7 0 113.46
Dushmantha Chameera c & b Faheem Ashraf 7 19 0 0 36.84
Maheesh Theekshana not out 21 18 2 0 116.67
Asitha Fernando not out 0 2 0 0 0.00
Extras 31 (b 1 , lb 3 , nb 1, w 26, pen 0)
Total 293/9 (50 Overs, RR: 5.86)
Bowling O M R W Econ
Shaheen Shah Afridi 10 0 50 0 5.00
Naseem Shah 10 1 55 2 5.50
Haris Rauf 10 0 61 4 6.10
Faheem Ashraf 10 0 49 2 4.90
Mohammad Nawaz 8 0 48 1 6.00
Saim Ayub 1 0 12 0 12.00
Hussain Talat  1 0 14 0 14.00

දෙරට අතර දෙවැනි එක්දින තරගය එළඹෙන බ්‍රහස්පතින්දා (13) පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, එමෙන්ම මෙම සියලු තරග ThePapare හරහා සජීවී ව නැරඹීමේ අවස්ථාව ද ඔබට හිමි වනු ඇති. රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<