ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත තරග 2කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය හෙට (04) ඉන්දියාවේ Mohali හිදී ආරම්භ වීමට නියමිතයි. සුවිශේෂී සැමරුම් ද සමඟ වන මෙම තරගාවලිය සම්බන්ධයෙන් ThePapare.com තබන සටහනක් මේ.
1982 පෙබරවාරි 17 වැනිදා ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් අනතුරුව වසර 40ක මෙරට ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවට එක්වෙන 300 වැනි ටෙස්ට් තරගය වන්නේ ඉන්දියාව සමඟ පැවැත්වෙන මෙම තරගයයි.
මෙතෙක් ටෙස්ට් තරග 299කට ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකාව ඉන් තරග 95ක් ජයග්‍රහණය කරද්දී තරග 113ක් පරාජය වී තිබෙනවා. ජය පරාජයෙන් විසඳී ඇති තරග සංඛ්‍යාව 91ක්. එය ඉන්දියාව සමඟ සැසඳීමේ දී පැවති තරග 44ක්, පරාජිත තරග 7ක්, ජයග්‍රාහී තරග 20ක් සහ විසඳුමක් නොමැති තරග 17ක් ලෙස වර්ගීකරණය වෙනවා. ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී ප්‍රතිශතය වන්නේ 15.9%ක්.
ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයට සැමරුමක් අවශ්‍ය නම්, මෙම තරග සංචාරය ඊට කදිම අවස්ථාවක් ද කර ගත හැකියි. ඒ ඉන්දියාවට එරෙහිව 1997 අගෝස්තුවේ ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලකුණු 952ක් ලබා ගනිමින් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් එක් ඉනිමක දී වාර්තා කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කළ රිදී ජුබිලි වසර (25) ද මේ වසරට යෙදී ඇති නිසායි.
ICC ශ්‍රේණිගත කිරීම්
මාර්තු 1 වැනිදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කරන ලද ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්දියාවට දෙවැනි ස්ථානය හිමි වන අතර ශ්‍රී ලංකාවට හිමි වෙන්නේ එහි 7 වැනි ස්ථානයයි. මේ තරගාවලිය එවන් කණ්ඩායම් දෙකක් අතරයි. එම පසු බැසීම ම ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම්වල දී ද දක්නට ලැබෙනවා.
ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ දී ඉන්දීය නායක Rohit Sharma 5 වැනි ස්ථානයේ ද, Virat Kohli 7 වැනි ස්ථානයේ ද සිටිද්දී, ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න 8 වැනි ස්ථානයට ලැයිස්තු ගතව සිටිනවා.
පන්දු යවන්නන් අතරින් ඉන්දීය කණ්ඩායමේ දකුණතින් පිට දඟපන්දු යවන Ravichandran Ashwin දෙවැනි ස්ථානය හිමිකරගෙන සිටින අතර ඔහු තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ ද දෙවැනි තැනට පත්ව සිටිනවා.
- Kohliගේ 100 නරඹන්න ප්‍රේක්ෂකයන්ට අවසර
- පැතුම් නිස්සංකගෙන් ලොකු පිම්මක්
- නව ඉන්දීය කණ්ඩායම ගැන රසල් කතා කරයි
- Kohliව පසුකරන් ගිය Iyerගේ වාර්තාව
- ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ වෑයම ඉන්දියාව පහසුවෙන් හඹා යයි
ඊට අමතරව ඉන්දීය කණ්ඩායමේ දකුණතින් වේගපන්දු යවන උපනායක Jasprit Bumrah එම ලැයිස්තුවේ 10 වැනි තැනට පත්ව සිටිනවා. එම ලැයිස්තුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතරින් ඉදිරියෙන් ම සිටින්නේ සුරංග ලක්මාල්. ඔහුට හිමි ස්ථානය 22. ඊට අමතර සංචාරයට එක් වෙන ලසිත් ඇඹුල්දෙණියට හිමිව ඇත්තේ 32 වැනි ස්ථානයයි.
මේ ශ්‍රේණිගත කිරීම්වල තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන්නන් අතර තෙවැනි ස්ථානය Ravindra Jadeja ලබා ගන්නවා. එහි පළමු ස්ථාන 20 අතර අපේ කිසිදු ක්‍රීඩකයෙක් ඇතුලත්ව නැහැ.
ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට අනුගත කෙරුණු මේ දත්තවලින් පෙන්නුම් කරන්නේ භයානක චිත්‍රයක්. එහි ශ්‍රී ලංකාවට සතුටු විය හැකි කිසිදු අවස්ථාවක් නැහැ. නමුත් ක්‍රිකට් යනු එක ම රාමුවක රැඳී පවතින්නක් නොවේ. එය තීරණය වෙන්නේ එදිනට පවතින තත්ත්වයන් අනුවයි. ජයග්‍රාහකයා කවුදැයි තීරණය වන්නේ ඒ අනුවයි.
එහි දී ශ්‍රී ලංකාවට ද බර තැබෙන තැන් නැතුවා නොවේ.
ශ්‍රී ලංකා සංචිතය; දිමුත් කරුණාරත්න (නායක) ධනංජය ද සිල්වා (උප නායක) චරිත් අසලංක, දුෂ්මන්ත චමීර, දිනේෂ් චන්දිමාල්, නිරෝෂණ් දික්වැල්ල, ලසිත් ඇඹුල්දෙණිය, විශ්ව ප්‍රනාන්දු, ප්‍රවීන් ජයවික්‍රම, චාමික කරුණාරත්න, ලහිරු කුමාර, සුරංග ලක්මාල්, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, ලහිරු තිරිමාන්න, ජෙෆ්රි වැන්ඩර්සේ
දිමුත් කරුණාරත්න

අවසන් ටෙස්ට් ඉනිම් 10 දී ඔහුගේ පිතිකරු දක්ෂතාව ලකුණු 702ක්. එහි තරගයක සාමාන්‍ය 78.0ක්. එහෙත් ඉන්දියාවට එරෙහිව දිමුත්ගේ දක්ෂතාව ගොනු වෙන්නේ තරග 9ක ඉනිම් 18ක දී ලකුණු 443ක් ලෙසයි. එය ඉන්දියාවේ දී ඉන්දියාවට එරෙහිව ලෙසින් ලඝු කිරීමේ දී තරග 3ක ඉනිම් 6ක දී ලකුණු 91ක් ලෙසයි සටහන් වෙන්නේ.
ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේ දී දක්ෂතා දැක්වීම කිසිවෙක්ට පහසුවෙන් කළ හැක්කක් නොවේ. එහෙත් මේ තරගාවලියේ දී දිමුත්ට තමන්ගේ පිතිකරණය කෙරෙහි විශ්වාසය තැබිය යුතුම වෙනවා. කනිෂ්ඨයන් රාශියකගෙන් සමන්විත කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයෙක් ලෙසින් ද ඔහුට මේ වගකීම පැවරෙනවා.
දිමුත් මේ දක්වා ටෙස්ට් තරග 16කට නායකත්වය දෙමින් තරග 7ක් ජයග්‍රහණය කරමින් තරග 4ක පරාජය ලබා තිබෙනවා. තරග ජයග්‍රහණය කිරීමේ ප්‍රතිශතය 43.75ක්. ඔහු ඉන්දියාවට එරෙහිව නායකත්වයට පිවිසි පළමු අවස්ථාව මෙයයි.
පැතුම් නිස්සංක
තම මංගල ටෙස්ට් තරගයේ දී ම ඉනිම් දෙකේ දී ම අර්ධ ශතක වාර්තා කළ පැතුම් නිස්සංක තවමත් ක්‍රීඩා කර ඇත්තේ ටෙස්ට් තරග 6කට පමණයි. එහි ඉනිම් 10ක ඔහුගේ දක්ෂතාව ශතකයක් සහ අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 427ක්.

මෙතෙක් ඉන්දියාවට එරෙහිව ටෙස්ට් තරගයක් ක්‍රීඩා නොකළ ද පැතුම්ගේ ඉහත දක්ෂතා සැලකිල්ලට ගනිමින්, පැතුම් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ බලාපොරොත්තුවක් බවට පත්ව සිටිනවා.
ලසිත් ඇඹුල්දෙණිය
වමතින් දඟපන්දු යවන ලසිත් ඇඹුල්දෙණිය ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ප්‍රබලතම පන්දු යවන්නායි. මෙතෙක් ටෙස්ට් තරග 13කට ක්‍රීඩා කර ඇති ඇඹුල්දෙණිය ලබා ඇති කඩුලු සංඛ්‍යාව 62ක්.

ඉන්දීය කණ්ඩායම මෙල්ල කිරීමේ දී ඇඹුල්දෙණියගේ දඟපන්දුවට ඇත්තේ ඉහළ විශ්වාසයක්. මේ විශ්වාසය තවත් තීව්‍ර වන්නේ ඉන්දියාව ද වැඩි දඟපන්දු යවන්නන්ගේ සේවය බලාපොරොත්තු වන බැවින් ඔවුන්ට සුදුසු පරිදි තණතිලි සකසා වි යැයි යන අනුමානයයි.
සුරංග ලක්මාල්

මෙතෙක් ටෙස්ට් තරග 68කට ක්‍රීඩා කර ඇති ලක්මාල් බිඳ හෙළා ඇති ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 168ක්. ඉන්දියාව සමඟ මෙතෙක් තරග 3කට පමණක් ක්‍රීඩා කර ඇති සුරංග බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 8ක්. මෙම තරග ත්‍රිත්වය ම සුරංග ක්‍රීඩා කරන්නේ ඉන්දියාවේ.
ඉන්දීය සංචිතය; Rohit Sharma (නායක), Jasprit Bumrah (උප නායක), Mayank Agarwal, Ravichandran Ashwin, Srikar Bharat, Shreyas Iyer, Ravindra Jadeja, Virat Kohli, Kuldeep Yadav, Mohammed Shami, Mohammed Siraj, Priyank Panchal, Rishabh Pant, Saurabh Kumar, Shubman Gill, Hanuma Vihari, Umesh Yadav, Jayant Yadav
Virat Kohli

මෙතෙක් තරග 99කට සහභාගී වී ඇති 33 හැවිරිදි Kohli ද්විත්ව ශතක 7ක් සහ ශතක 20ක් සමඟින් ලබා ඇති ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 7962ක්. ඉන් ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරග 9ක ඉනිම් 15ක් ක්‍රීඩා කර ඇති Kohli ලබා ඇති ලකුණු සංඛ්‍යාව 1004ක්. මේ අතරින් Kohli වඩාත් දක්ෂතා දක්වා ඇත්තේ තම මබ්බිමේ පැවති තරගවල දී.
ඉන්දියාවේ පැවති තරග 3ක ඉනිම් 5ක දී ඔහු ලබා ගන්නා ලකුණු සංඛ්‍යාව 610ක්. එහි තරගයක සාමාන්‍ය 152.5ක්. එම ඉනිම් අතර පිට පිට වාර්තා කරන ලද ද්විත්ව ශතක දෙකක් සහ නොදැවී ලබා ගන්නා ලද ශතකයක් ද ඇතුළත්. ඔහු මෙරට දී ලබා ඇත්තේ තරග 6ක ඉනිම් 10ක දී ම ශතක 2ක් සමඟින් ලකුණු 394ක් පමණයි.
කෙසේ වෙතත් Kohliගේ පිත්ත පසුගිය ආසන්නත ම ඉනිම් 10 දී එතරම් ම හොඳින් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ටෙස්ට් තරග 2ක්, එක්දින තරග 6ක් සහ විස්සයි විස්ස තරග 2ක දී ඔහුගේ දක්ෂතාව ලකුණු 372ක්. එහි ලකුණු ලබා ගැනීමේ ඉනිමක සාමාන්‍ය 31.0ක්.
මේ හේතුවෙන් නිසාම දෝ Kohli ශ්‍රී ලංකාව සමඟ පැවති විස්සයි විස්ස තරගාවලිය විවේක සුවයෙන් සිටීමට මග හැර ගන්නවා. දැන් සූදානම අපිට දෙඤ්ඤං බැටේ කතාවකට ද?
Kohliගේ සංවත්සර සැමරුම් තරග ඉතිහාසය ද එතරම් ම හිතකර නැහැ. ඔහු සහභාගී වූ 25 වැනි තරගය Nottingham හි එංගලන්තය සමඟ පැවැත්වෙන අතර එහි දී ඔහුගේ දක්ෂතාව 1ක් සහ 8ක් ලෙසින් ලකුණු 9කට සීමා වෙනවා.
නමුත් Visakhapatnam හි එංගලන්තය සමඟ පැවති 50 වැනි තරගය ඔහු සමරන්නේ ලකුණු 167ක් සහ 81ක් ලෙසින් ලකුණු 248ක් ලබා ගනිමින්. Perth හී ඕස්ට්‍රේලියාව සමඟ පැවති ඔහුගේ 75 වැනි තරගයේ දී ලකුණු 123ක් සහ 17ක් ලෙසින් ලකුණු 140ක් වාර්තා කිරීමට සමත් වෙනවා. මේ එළඹෙන්නේ Kohliගේ 100 වැනි ටෙස්ට් තරගයයි. එහි දී ඔහුගේ දක්ෂතාව කුමක් වේද? අපි බලා සිටිමු.
Rohit Sharma

මාස 6කට පසු ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් පිටියට පිවිසෙන Sharma එක්දින තරග 13ක තරග 11ක් සහ විස්සයි විස්ස තරග 28ක තරග 24ක් ජයග්‍රහණය කරමින් සාර්ථකත්වයට පත් නායකයෙක් ලෙසිනුයි ඔහු මේ කෝඩුකාර ටෙස්ට් නායකත්වයට පිවිසෙන්නේ.
ආරම්භක පිතිකරුවෙක්, සටන්කාමී සඟයෙක් ලෙසින් ඉන්දීය කණ්ඩායමේ ආඩම්බරය රැක ගැනීමට ඔහු කටයුතු කරනු නොඅනුමානයි. ඊට ම සැදුම්ලත් දක්ෂයන්ගෙන් සපිරි කණ්ඩායමක් ඔහු සතු වෙනවා.
තරග කාලසටහන
- පළමු ටෙස්ට් තරගය – මාර්තු 4 වැනිදා සිට 8 වැනිදා දක්වා Mohali හිදී.
ආරම්භය මෙරට වේලාවෙන් පෙරවරු 9.30
- දෙවැනි ටෙස්ට් තරගය – මාර්තු 12 වැනිදා සිට 16 වැනිදා දක්වා Bengaluru හිදී.
ආරම්භය මෙරට වේලාවෙන් පස්වරු 12.30
මෙම තරගාවලියේ උණුසුම් තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















