පාකිස්තානයේ පැවැත්වෙන තුන් කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් දෙවැනි තරගය ඊයේ (22) ක්‍රියාත්මක වුනා.
මෙම තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාව සතු වූ අතර, ඒ අනුව ඔවුන් තරගයේ පළමුව පන්දුවට පහර දීම තෝරා ගත්තා.
මෙහි දී කුසල් මෙන්ඩිස් ආරම්භක පිතිකරු වගකීමෙන් මදක් ඈත් වෙමින් කමිල් මිශාර සහ පැතුම් නිස්සංක ඉනිම ආරම්භ කිරීමට පිටියට අවතීර්ණ වූ අතර, ඔවුන් දෙදෙනා විසින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 31ක් එක් කිරීමට සමත් වුනා. මෙහි දී කමිල් පන්දු 12කින් ලකුණු 22ක් ලබා ගැනීමට සමත් වෙමින් පිටියෙන් ඉවත් වුනා, අංක තුන පිතිකරු ලෙස කුසල් මෙන්ඩිස් පිටියට පැමිණි නමුත් ඔහුගේ ඉනිම ලකුණු 3කින් අවසන් වුනා.
මේ අතර පැතුම් ඉනිමේ තෙවන කඩුල්ල ලෙස ලකුණු 17ක් ලබා පිටියට සමු දුන්නා. එමෙන්ම කුසල් පෙරේරා ද ලකුණු 25ක් ලබමින් ක්‍රීඩාගාරය වෙත පිටව ගියා.
මේ අයුරින් ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු එකින් එක ඉක්මනින් දැවී යාම නිසාම ශ්‍රී ලංකාවට ඉහළ ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමේ අවස්ථාව අහිමි වූ අතර, මෙහි දී ජනිත් ලියනගේ පමණක් තරමක ස්ථාවර බවක් පෙන්නුම් කරමින් පන්දු 38ක් තුළ ලකුණු 41ක් ලබා ගැනීමට සමත් වුනා.
කඩුලු දැවී යාමේ පීඩනය ද සමඟ ලකුණු ලබා ගැනීමේ වේගය ද පහත වැටුණු ශ්‍රී ලංකා ඉනිමේ අවසන් ලකුණු තත්වය සටහන් වුනේ කඩුලු 7කට ලකුණු 128ක් ලෙසයි.
ශ්‍රී ලංකා ඉනිම අඩාළ කිරීමේ පෙරමුණ ගත් Mohammad Nawaz ලකුණු 16ට කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
ශ්‍රී ලංකා ඉනිමෙන් ලද ඉලක්කය හඹා යාම පාකිස්තානයට එතරම් විශාල අභියෝගයක් වුනේ නැහැ. ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් Saim Ayub සහ Sahibzada Farhan ලකුණු 48ක් එක් කළ අතර, මෙහි දී Ayub ලකුණු 20ක් ලබා ගනිමින් පිටියෙන් ඉවත් වුනා. ඉන් පසුව Sahibzada Farhan සමඟ පිටියේ එක් වූ Babar Azam දෙවැනි කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 69ක් එක් කිරීමට සමත් වූ අතර, මෙහි දී Babarගේ පිත්තෙන් වාර්තා වුනේ ලකුණු 16ක් පමණයි.
පාකිස්තාන ඉනිමේ කොඳු නාරටිය බවට පත් වූ Sahibzada Farhan විසින් පන්දු 45ක් තුළ නොදැවී ලකුණු 80ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඒ වෙනුවෙන් හතරේ පහර 6ක් සහ හයේ පහර 5ක් අන්තර්ගත වුනා.
මේත් සමඟ පාකිස්තානය පන්දුවාර 15 පන්දු 3ක් පමණක් වැය කරමින් කඩුලු තුනක් දැවී අදාළ ඉලක්කය හඹා යාමට සමත් වූ අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් දුශ්මන්ත චමීර කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා. තරගයෙන් පාකිස්තානයට කඩුලු 07ක ජයක් හිමි වුනා.
මේ වන විට ශ්‍රී ලංකාව පරාජයන් දෙකක් සමඟ තරගාවලියේ ලකුණු සටහනේ අවසන් ස්ථානයේ රැඳී සිටිනවා. ශ්‍රී ලංකාවේ මීළඟ තරගය එළඹෙන 25 සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතයි.
තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, එමෙන්ම තරගාවලියේ සියලු තරග ThePapare හරහා සජීවී ව නැරඹීමේ අවස්ථාව ද ඔබට හිමි වනු ඇති. රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















