සධීර හා ඩැනියල්ගෙන් සුපිරි සබඳතාවයක්

1645

ටෙස්ට් ක්‍රිකට් තරග දෙකකින් හා එක්දින ක්‍රිකට් තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා නැගී එන ක්‍රිකට් තරගාවලියේ අවසන් එක්දින තරගය අද (14) කොළඹ SSC ක්‍රිකට් පිටියේ දී පැවැත්විය. එම තරගය කඩුලු දෙකකින් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම 3-0ක් ලෙස එක්දින තරගාවලිය අවසන් කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයෝ දෙවැනි තරගයත් ජය ගනී

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකා නැගී එන කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත…

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට කැඳවා තිබීම නිසා අද තරගයේ නායකත්ව වගකීම චරිත් අසලංක වෙත හිමිව තිබුණි.

කාසියේ වාසිය දිනා ගත් දකුණු අප්‍රිකානුවන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර 42යි පන්දු 3ක් තුල සියල්ලන්ම දැවී ලකුණු 223ක් ලබාගත් අතර පිළිතුරු සැපයූ ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජයග්‍රහණය කළේ පන්දුවාර 48යි පන්දු 5ක් තුල කඩුලු 8ක් පමණක් දවා ගනිමිනි.

දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන රයන් රෙකිල්ටන් හා මැතිව් බ්‍රීට්ස්කි හට පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවීමට හැකි වූයේ ලකුණු 24ක සබඳතාවයක් පමණි. ෂෙහාන් මදුසංක එවූ පන්දුවක් හමුවේ ලකුණු 12ක් ලබා සිටි රෙකිල්ටන් තරගයේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේය.

ඉන්පසුව දකුණතින් පිත්ත හසුරුවන බ්‍රීට්ස්කි සමඟින් පිටියේ එක්වූ කගීසෝ රපුලාන දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 36ක සබඳතාවයක් ගොඩනංවමින් දකුණු අප්‍රිකානු ලකුණු සටහන යම් මට්ටමක් වෙත ඔසවා තබන ලදි.

දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවන් කිහිප දෙනා ඉතාමත් ඉක්මනින්ම ක්‍රීඩාගාරයට හැරී යද්දී පන්දුවාර 19යි පන්දු 3ක් පුරාවට එක් අන්තයක් රැකගෙන ක්‍රීඩා කළ බ්‍රීට්ස්කි 4 පහර 5ක් සමඟ ලකුණු 42ක් ලබාගෙන සිටිය දී කඩුල්ල මුවාකිරීමේ වරදකට හසුකර ගැනීමට ජෙෆ්රි වැන්ඩර්සේ සමත් විය. එම කඩා වැටීමට පසුව තවත් ඉක්මන් කඩුල්ලක් දවා ගත් වැන්ඩර්සේ තරගයේ වැඩි වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම දෙසට නතුකර දීමට පසුබට නොවීය.

චන්දිමාල් ඇතුළු නැගී එන ක්‍රීඩකයෝ දකුණු අප්‍රිකාව මෙල්ල කරයි

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකා නැගී එන කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත…

ලකුණු 85කට කඩුලු 5ක් දැවී ගොස් දකුණු අප්‍රිකානුවන් අසරණව සිටි මොහොතක දී 6 වන කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ නායක ටෝනි ඩී සොර්සි හා ඊතන් බෝෂ් ලකුණු 92ක දැවැන්ත සබඳතාවයක් ගොඩනංවමින් බිඳ වැටුණු දකුණු අප්‍රිකානු ඉනිම සාර්ථක ලකුණක් දක්වා ඔසවා තබන ලදි.

එහි දී සොර්සි හා බෝෂ් දෙදෙනාම ලකුණු 48 බැගින් රැස්කර ගත්හ. ඒ අතරින් නායක සොර්සිගේ ඉනිම 4 පහර 3කින් අලංකාරවත් වන විට 6 පහර 4කින් හා එක් 4 පහරකින් බෝෂ්ගේ ඉනිම සමන්විත විය.

පන්දු යැවීමේ දී දක්ෂ පන්දුකරණයක නිරත වූ දඟපන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 54කට කඩුලු 3ක් දවා ගනිමින් දස්කම් දක්වන විට අමිල අපෝන්සු ලකුණු 33කට කඩුලු දෙකක් දවා ගන්නා ලදි.

සධීර සමරවික්‍රම හා ඕෂධ ප්‍රනාන්දු ලකුණු 224ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ ආරම්භය වෙනුවෙන් ලකුණු 32ක සබඳතාවයක් ගොඩනැංවූ අතර ලකුණු 8ක් ලබාගෙන සිටි ප්‍රනාන්දු කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් කිරීමට කෙවින් මන්ග්‍රෝට හැකි විය.

නායකත්වයේ වගකීම් ඉටු කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි අසලංක අනෙක් අන්තයේ සිටි සධීර හා එක්ව දෙවන කඩුල්ල වෙනුවෙන් ඉතාමත් ඉවසිලිමත්ව හා ආරක්ෂාකාරීව පන්දුවට පහර දෙමින් ලකුණු 61ක සබඳතාවයක් ගොඩ නැගුවේ දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් තරමක් දුරකට වෙහෙසට පත්කරමිනි.

අසලංක 4 පහර 3ක් හා එක් 6 පහරක් සමඟින් ලකුණු 33ක් ලබාගෙන සිටිය දී ඔහුගේ ඉනිමට තිත තැබීමට නන්ද්‍රේ බරගර් සමත් විය.

අසලංකගේ දැවී යාමට පසුව ගෙවී ගිය පන්දු කිහිපය ශ්‍රී ලංකා පිතිකරුවන්ට එතරම් සුබදායී නොවුනේ කමිඳු මෙන්ඩිස් හා සම්මු අශාන් ඉක්මනින්ම දැවී ගිය නිසාවෙනි. දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින්ගේ දුර්වල පන්දු රැකීම් කිහිපයක් නිසාවෙන් 5 වැනි කඩුල්ල වෙනුවෙන් සධීර හා යොවුන් පිතිකරු ජෙහාන් ඩැනියල් අතරේ ලකුණු 74ක සබඳතාවයක් ගොඩනැගුණි.

6 වැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවතට ගිය ජෙහාන් ඩැනියල් 4 පහර 5ක් හා එක් 6 පහරක් සමඟින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කර ගැනීමට වැය කළේ පන්දු 61ක් පමණි. ශ්‍රී ලංකා ඉනිම පුරාවට දක්ෂ ලෙස පිතිකරණයේ නිරත වූ සධීර 4 පහර 4ක් එල්ල කරමින් ලකුණු 68ක් ලබාගෙන ශ්‍රී ලංකා ඉනිමේ අවසනය දක්වාම කඩුල්ලේ රැඳී සිටියේය. අවසානයේ අමිල අපෝන්සු හා එක්වූ චාමික කරුණාරත්න තියුණු සටනක් ලබා දී ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් විය.

පන්දු යැවීමේ දී දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායමේ නන්ද්‍රේ බර්ගර් ලකුණු 33කට කඩුලු 3ක් දවා ගන්නා ලදි.

දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම – 223/10 (42.3): ඊතන් බෝෂ් 48, ටෝනි ඩී සොර්සි 48, මැතිව් බ්‍රීට්ස්කි 42, ජෙෆ්රි වැන්ඩර්සේ 3/54,  අමිල අපෝන්සු 2/33.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම – 224/8 (48.5): සධීර සමරවික්‍රම 68, ජෙහාන් ඩැනියල් 50, චරිත් අසලංක 33, නන්ද්‍රේ බර්ගර්  3/33.

දේශීය හා විදේශීය කෙළිබිමේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<