කුසල් ජනිත් හා ශානකගෙන් හයේ හතරේ සැණකෙළියක්

1879

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන SLC T20 ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් කොළඹ කණ්ඩායම හා මහනුවර කණ්ඩායම අතර ඊයේ (29) මහනුවර පල්ලෙකැලේ පිටියේ පැවැත්විය. එහි දී කොළඹ කණ්ඩායම කඩුලු 7කින් පරාජය කළ මහනුවර කණ්ඩායම මේ තරගාවලියේ ලබා ගත් මංගල ජය වාර්තා කළේ මෙතෙක් අපරාජීතව පැමිණි කොළඹ පරාජය කරමිනි.

කසුන් රාජිත දඹුලු ඉනිම විනාශ කරයි

ධනුෂ්ක ගුණතිලක නැවත ලකුණු අතරට පිවිසෙමින් තම කණ්ඩායමේ ජයග්‍රහණය පෙනෙන මානයට තරගය ගෙන ආව ද කසුන් රාජිතගේ උපක්‍රමික පන්දු යැවීම හමුවේ අනෙකුත්…


මහනුවර කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයින් වන නායක ඇන්ජලෝ මැතිව්ස් හා කුසල් ජනිත් පෙරේරා තරගය සඳහා සහභාගි වීම ප්‍රේක්ෂකයින් බොහෝමයක් දෙනාගේ වැඩි අවධානය දිනා ගැනීමට සමත් විය. මැතිව්ස් සිය ශාරීරික යෝග්‍යතාව පවත්වා ගැනීමට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව යළිත් මෙරටට පැමිණි අතර කුසල් ජනිත් සිය නීතිමය කටයුත්තක් අවසන් කර දිවයිනට පැමිණියේ පෙරේදා දිනයේ ය.

කාසියේ වාසිය දිනා ගත් අපරාජීත කොළඹ කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන්ගේ ආරම්භ පිතිකරුවන් යුගලයේ යම් වෙනස්කමක් සිදුකරමින් මහේල උඩවත්ත හා දකුණතින් පිත්ත හසුරුවන අවිශ්ක ප්‍රනාන්දු පිටියේ පිවිසියේය. ඒ උපුල් තරංගව මේ තරගයේ දී විවේක ගන්වා තිබීම නිසාවෙනි. උඩවත්ත හා ප්‍රනාන්දු කොළඹ පළමු කඩුල්ලට ලකුණු 76ක සාර්ථක ආරම්භයක් ලබා දුන්නේ ඔවුන්ගේ කණ්ඩායමට දැවැන්ත ලකුණක් වෙත යාමට අවශ්‍ය මූලික අඩිතාලම සකස් කරමිනි.

4 පහර 3ක් සමඟ ලකුණු 22ක් ලබා සිටි උඩවත්තගේ දැවී යාමත් සමඟම 4 පහර 4ක් හා 6 පහර 3ක සමඟින් ලකුණු 54ක් ලබා සිටි ප්‍රනාන්දු ද ක්‍රීඩාගාරයට හැරී ගියේය. ප්‍රනාන්දු එම අගනා ලකුණු 54 රැස්කර ගැනීම සඳහා වැය කළේ පන්දු 35ක් පමණි. ප්‍රියමාල් පෙරේරා ලකුණු 30යි.

දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා නොකිරීම නිසා කොළඹ කණ්ඩායමේ නායකත්වයේ වගකීම පැවරුණේ තුන් ඉරියව් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස්ට වන අතර ඔහු ලකුණු 15ක් ලබාගෙන සිටිය දී ලසිත් මාලිංග එවූ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදී දැවී ගියේ විස්සයි – විස්ස ක්‍රිකට් තරග රටාව තුල මාලිංග දවා ගත් 350 වැනි කඩුල්ල ලෙසිනි. එම කඩඉම පසුකිරීමත් සමඟම විස්සයි – විස්ස ක්‍රිකට් තරග රටාවේ වැඩිම කඩුලු  දවාගත් පන්දු යවන්නන් අතර ලොව දෙවන තැන දිනා ගැනීමට මාලිංග සමත් විය. එම ලැයිස්තුවේ ඉදිරියෙන් සිටින්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ඩුවේන් බ්‍රාවෝය.

නාලන්ද – සාන්ත තෝමස් ගැටුම සමවෙද්දී; සාන්ත සෙබස්තියන් ගොඩයයි

අනාගතයේ ලොව දින්නට වෙර දරන පාසල් ක්‍රීඩකයින් හට තෝතැන්නක් වන සිංගර් කුසලාන වයස අවුරුදු 17න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගවලින්…

පන්දු යැවීමේ දී දඟපන්දු යවන ක්‍රීඩක මාලින්ද පුෂ්පකුමාර ලකුණු 25කට කඩුලු 2ක් දවා ගත්තේ කොළඹ ඉනිම ලකුණු 165/7ක් ලෙස සීමා කරමිනි.

වෙනදාට වඩා ජවසම්පන්න ලෙස පිටියට පැමිණි මහනුවර ආරම්භක වමත් පිතිකරුවන් යුගලය වන කුසල් ජනිත් හා ලහිරු තිරිමාන්නගේ ආරම්භ කඩුල්ලේ සබඳතාවය ලකුණු 16කට සීමා කරමින් තමා මුහුණ දුන් පළමු පන්දුවේ දී ම තිරිමාන්න දැවී ගියේය.

මහනුවර නායක ඇන්ජලෝ මැතිව්ස් හට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 12ක් පමණි. කුසල් ජනිත් හා පිටියේ එක්වූ දකුණතින් පිත්ත හසුරුවන දසුන් ශානක තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 118ක දැවැන්ත සබඳතාවයක් ගොඩනඟමින් මහනුවර ලකුණු පුවරුව සවිමත් කළේ සිය ඉනිමේ පන්දු 58ක් පමණක් වැයකරමිනි. එහි දී වගකීම දැඩිව සිය කර මතට පටවා ගෙන ක්‍රීඩා කළ කුසල් ජනිත් ප්‍රහාරාත්මක පිතිකරණයක නිරත වෙමින් පන්දු 45ක් තුල ලකුණු 84ක් රැස්කළේ 4 පහර හා 6 පහර 6ක් මහනුවර ලකුණු සටහනට එකතු කරමිනි.

ක්‍රිකට් ලොවේ මාස්ටර් බ්ලාස්ටර් – සනත් ජයසූරිය

වර්ෂ 1989 දී පළමු වතාවට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනාගත් සනත් ජයසූරිය දක්ෂ, ප්‍රහාරාත්මක වමත් ආරම්භක පිතිකරුවෙක්. ඔහුගේ ඒ ප්‍රහාරාත්මක පිතිකරණ…

කුසල් ජනිත් එක් අන්තයකින් කොළඹ පන්දු යවන්නන්ට මල්වෙඩි සැණකෙළියක මෙන් පන්දුවට පහර දෙද්දී අනෙක් අන්තයෙන් පිත්ත ක්‍රියාත්මක කළ දසුන් ශානක පන්දු 29ක් තුල 4 පහර 3ක් හා 6 පහර 5ක් එල්ල කරමින් නොදැවී ලකුණු 60*ක් ලබාගෙන මහනුවර කණ්ඩායම තරගයේ ජයග්‍රහණය වෙත රැගෙන ගියේය. භානුක රාජපක්ෂ ලකුණු 10*යි. අවසානයේ පන්දුවාර 17යි පන්දු 3ක් තුල සිය නියමිත ඉලක්කය පසුකර ගිය මහනුවර කණ්ඩායම කඩුලු 7කින් මේ තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුනේ තරගාවලියේ ලබාගත් පළමු ජය වාර්තා කරගෙනයි.

කොළඹ – 165/7 (20): අවිශ්ක ප්‍රනාන්දු 54, ප්‍රියමාල් පෙරේරා 30, මාලින්ද පුෂ්පකුමාර 2/25.

මහනුවර – 168/3 (17.3): කුසල් ජනිත් 84, දසුන් ශානක 60*, ශෙහාන් ජයසූරිය 2/27.

තරගයේ වීරයා – කුසල් ජනිත් (මහනුවර)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <