නුවනිඳුගෙන් නැවතත් ශතකයක්

Sri Lanka A Tour of Australia 2025 

108
Sri Lanka A Tour of Australia 2025 

ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහභාගී වන 2 වැනි සහ අවසන් සිව් දින නිල නොලත් ක්‍රිකට් තරගය අද (20) Darwin හී Marrara Oval ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූවා.

අද තරගය සඳහා ශ්‍රී ලංකාව වෙනස්කම් ත්‍රිත්වයක් සිදු කරමින් පිටියට පිවිසි අතර සත්කාරක ඔස්ට්‍රේලියානුවෝ වෙනස්කම් ද්විත්වයක් සමඟින් පිටියට පිවිසියා. ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙර තරගයේ දී ක්‍රීඩා කළ විශාද් රන්දික, ප්‍රමෝද් මදුශාන් සහ මොහොමඩ් ශිරාස් වෙනුවට අද තරගය සඳහා සොහාන් ද ලිවේරා, ශිරාන් ප්‍රනාන්දු සහ අසංක මනෝජ් අද තරගයට කැඳවා තිබුණා.

ඔස්ට්‍රේලියා කණඩායම වෙනුවෙන් පෙර තරගයට ක්‍රීඩා කළ Campbell Kellaway සහ Louis Smith වෙනුවට Oliver Peake සහ Tanveer Sangha එක් කර තිබුණා.

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම

 

පසිඳු සූරියබණ්ඩාර (නායක), ලහිරු උදාර, කමිල් මිෂාර, නුවනිඳු ප්‍රනාන්දු, පවන් රත්නායක, සොනාල් දිනූෂ, සොහාන් ද ලිවේරා (කඩුලු රකින්නා), ඉසිත විජේසුන්දර, ශිරාන් ප්‍රනාන්දු, නිශාන් පීරිස් සහ අසංක මනෝජ්.

ඔස්ට්‍රේලියා A ක්‍රිකට් කණ්ඩායම

 

Jason Sangha (නායක), Jake Weatherald, Nathan McSweeney, Kurtis Patterson, Oliver Peake, Liam Scott, Josh Philippe (කඩුලු රකින්නා), Mitchell Perry, Zanden Jeh, Tanveer Sangha සහ Henry Thornton.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියා නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට කළ ආරාධනාව අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගයේ පළමු දිනය අවසන් වන විට කඩුලු 4ක් දැවී ලකුණු 263ක් ලබා සිටියා.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නුවනිඳු ප්‍රනාන්දු. දෙරට අතර පැවැති පළමු සිව්දින තරගයේ 2 වැනි ඉනිමේ දී ද ශතකයක් ලබා ගත් නුවනිඳු ප්‍රනාන්දු අද තරගයේ දී ශතකයක් ලබා ගන්නවා. ඔහු පන්දු 234කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 102ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග 65ක 15 වැනි ශතකයයි.

අද තරගයේ දී ද ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරන්නේ ලහිරු උදාර සහ කමිල් මිෂාර විසිනුයි. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට ලකුණු 18ක සබඳතාවක් එක් කරද්දී ලහිරු උදාර දැවී යනවා. ඔහු අද තරගයේ දී ලබා ගන්නේ ලකුණු 10ක් පමණයි. පන්දු 18කට මුහුණ දෙමින් ලබා ගන්නා ලද මෙම ලකුණු ප්‍රමාණයට හතරේ පහර 2ක් ඇතුලත්.

අනතුරු ව පිටියට පිවිසි නුවනිඳු ප්‍රනාන්දු හා එක් වූ කමිල් මිෂාර 2 වැනි කඩුල්ලට ලකුණු 116ක සබඳතාවක් එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ කමිල් මිෂාර ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු පිටියෙන් ඉවත් වෙන විට පන්දු 131කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 81ක් ලබා සිටියා. එය ඔහුගේ පළමු පෙළ තරග පිටියේ 12 වැනි අර්ධ ශතකයයි.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව නායක පසිඳු සූරියබණ්ඩාර ලකුණු 8කට දැවී යනවා. ඔහුට එම ලකුණු ප්‍රමාණය රැස් කිරීමට පන්දු 63ක් වැය වන අතර ඊට හතරේ පහරක් පමණක් ඇතුලත් වුණා.

අනතුරු ව ඉනිමේ සිව් වැනි කඩුල්ල ලෙසින් නුවනිඳු ප්‍රනාන්දු දැවී යද්දී ඔහු සහ පවන් රත්නායක එම කඩුල්ලට ලකුණු 68ක සබඳතාවක් එක් කරනවා.

තරගය පළමු දිනයට නතර කරන විට පවන් රත්නායක පන්දු 82කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 43ක් ද සහ සොනාල් දිනූෂ පන්දු 15කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 5ක් ද ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Liam Scott, Henry Thornton, Mitchell Perry සහ Zanden Jeh කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ශ්‍රී ලංකාA ක්‍රිකට් කණ්ඩායම– කඩුලු 4ක් දැවී 264 (90.0) කමිල් මිෂාර 81, නුවනිඳු ප්‍රනාන්දු 102, පවන් රත්නායක නොදැවී 43

හෙට (21) තරගයේ 2 වැනි දිනයයි.

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමේ ඔස්ට්‍රේලියා සංචාරයේ උණුසුම් තරග තොරතුරු මෙන් ම දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<