සුගතදාස ක්‍රීඩාංගණය පෙබරවාරි වන විට යළි විවෘත කරනවා – ක්‍රීඩා ඇමති

353
Sports Minister promises Sugathadasa Stadium

මේ වනවිට ප්‍රතිසංස්කරණය කෙරෙමින් පවතින සුගතදාස ක්‍රීඩා සංකීර්ණය 2017 වර්ෂයේ  පෙබරවාරි මාසය වන විට යළි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා විවෘත කරන බව ක්‍රීඩා අමාත්‍ය ගරු දයාසිරි ජයසේකර මහතා සඳහන් කලේය. ඔහු මේ බව හෙළිකළේ පසුගියදා (18) එහි කළ නිරීක්ෂණ චාරිකාවක් අතරතුරදීය.

පසුගිය ලිපි: ප්‍රථම දකුණු ආසියානු ජල ක්‍රීඩා තරගාවලියට සියල්ල සූදානම්

ශ්‍රී ලාංකික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තෝතැන්න වෙමින් වැජඹුණු සුගතදාස ක්‍රීඩාංගණය මෑත වසර ගණනාවක් තිස්සේම නොසැලකිල්ලෙන් අත්හැර දමා තිබිණි. එහි කෘතිම ධාවන මංතීරුව ගෙවී යමින් පැවති බැවින් එය අනාරක්ෂිත එකක් බවට සලකුණු කොට තිබිණි.

දැනට එහි ක්‍රීඩා පරිශ්‍රයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙමින් පවතින අතර එය 2016 දෙසැම්බර් මස අවසානයේදී නිමා කිරීමට නියමිතයි. ඒ පිළිබඳ ක්‍රීඩා අමාත්‍යතුමා මෙසේ තම අදහස් පල කළේය,

“මේ වනවිට කෙරෙමින් පවතින ක්‍රීඩාංගණයේ ප්‍රතිසංස්කරණ කටයුතු 2016 දෙසැම්බර් මාසයේ අගදී නිමකරන්නට බලාපොරොත්තු වෙනවා. වැඩ නිමා කිරීමෙන් පසුව මේ ක්‍රීඩාංගණය රග්බි සහ පාපන්දු යන ක්‍රීඩාවලටත් ඉක්මණින්ම විවෘත වේවි.”

ඡායාරූප ඇල්බමය

ඉදිකිරීම් කටයුතු මූලික වශයෙන් ක්‍රීඩා අංගනයේ දී සිදුවන අතර නිසි පරිවහන පද්ධතියක් ස්ථාපනය කිරීම එහි මූලික අරමුණයි. මතභේදයට තුඩුදුන් ධාවන මංතීරු පිළිබඳව ඔහු වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

“තවමත් අපි ධාවන මංතීරුව ඇතිරීමට අදාළ ටෙන්ඩර් පටිපාටිය සම්පුර්ණ කොට නැහැ. නමුත් අපි දැනටමත් ඊට අදාළ සලකාබැලීම් කරගෙන යන අතර දෙසැම්බර් 20 වන විට එහි වැඩ ඇරඹේවි. ඒ වගේම මගේ බලාපොරොත්තුව 2017 පෙබරවාරි වනවිට අපට හොඳ ධාවන මංතීරුවක් ලැබේ විය කියලා.”

මුළු ව්‍යාපෘතිය සඳහා වන මුදල් වෙන්කිරීම ගැන මාධ්‍යවේදීන් ප්‍රශ්න නගන අවස්ථාවේදී අමාත්‍යවරයා පැවසුවේ වෙන්කරන ලද මිලියන 600ක මුදල නොඉක්මවා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්පුර්ණ කළ හැකි බවයි.

පුහුණුවීම් සඳහා කොළඹට පැමිණෙන කොළඹින් පිට ක්‍රීඩකයන්ගේ නවාතැන් පහසුව සඳහා නිමකර එනමුත් අත්හරින ලද හෝටලයේ කටයුතු පරික්ෂා කිරීම සඳහාද කාලය වෙන්කරගත් අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ ඒ පහසුකම්ද නැවත අළුත්වැඩියා කොට භාවිතා කළ හැකි මට්ටමට ගෙනෙන බවයි.

මෙරට ප්‍රථම ක්‍රීඩා ඇමති වී. ඒ. සුගතදාස මැතිඳුන්ගේ සංකල්පයක් ලෙස 1960දී නිමවන ලද සුගතදාස ක්‍රීඩාංගණය එතැන් සිට ශ්‍රී ලාංකික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහ ලාංකික පාපන්දු ක්‍රීඩාවේ නිජබිම වීම දක්වාම විකාශනය වූවකි. විදුලි පහන් ආලෝකය මීට හඳුන්වාදීමෙන් පසුව මේ ක්‍රීඩාංගනය ජාත්‍යන්තර ක්‍රීඩා තරඟාවලි රැසකට පහසුකම් සලසන්නට තරම් වාසනාව ලද්දකි. එලෙස මෙහි පැවති අවසන් ජාත්‍යන්තර ක්‍රීඩා සැණකෙළිය වූයේ 2006 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලෙයි.

අළු ගසා නැගිටින සුගතදාස ක්‍රීඩාංගනයේ වත්මන් සංවර්ධන කටයුතු විසින් ක්‍රීඩාවට පෙම් බඳින සියළු දෙනාට ගෙන එන්නේ ක්‍රීඩාවෙන් ඉදිරියට යන ලාංකික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන සහ අනාගතයේ ජාත්‍යන්තර ක්‍රීඩා සැණකෙළි මෙරටට ගෙන ඒමේ අවස්ථාවන් ගැන බලාපොරොත්තු සහගත හැගීම්  ය.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට