ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයෝ දෙවැනි තරගයත් ජය ගනී

4579

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකා නැගී එන කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ද ඉතා පහසුවෙන් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අද (11) සමත් වුනා. දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී නිමා වූ මෙම තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයග්‍රහණයක් වාර්තා කළා. ඒ තවත් පන්දු 5ක් ඉතිරිව තිබිය දී.

චන්දිමාල් ඇතුළු නැගී එන ක්‍රීඩකයෝ දකුණු අප්‍රිකාව මෙල්ල කරයි

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකා නැගී එන කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත…

ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබිය දී 2-0ක් සේ ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වුනා.

අද තරගයේ ශ්‍රී ලංකා නායකයා ලෙසින් කලින් තරගයේ කටයුතු කළ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල් වෙනුවට දිමුත් කරුණාරත්න නම් කර තිබුණා. තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් චරිත් අසලංක, කමිඳු මෙන්ඩිස් සහ අසේල ගුණරත්න විසින් ලබා ගත් අර්ධ ශතක බෙහෙවින්ම ඉවහල් වුනා.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමේ දී මෙතෙක් ටෙස්ට් පිතිකරුවෙක් ලෙසින් හඳුන්වා දී තිබූ චරිත් අසලංක අද තරගයට ක්‍රීඩා කරමින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 69ක්. එය ශ්‍රී ලංකා ඉනිමේ පිතිකරුවෙක් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ද වුනා. ඔහු පන්දු 87කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 69ක් ලබා ගත්තා.

ඉනිමේ දෙවැනි අර්ධ ශතකය රැස්කළේ කමිඳු මෙන්ඩිස්. ඔහු පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 54ක් ලබා ගත්තා. වඩාත් පළපුරුදු ක්‍රීඩක අසේල ගුණරත්න අද තරගයේ දී රැස්කළ ලකුණු සංඛ්‍යාව 57ක්. පන්දු 64කට මුහුණ දුන් ඔහු හතරේ පහර 8ක් තම ඉනිමට ඇතුලත් කළා.  

කුසල්-තිසර සහ දසුන්ගේ උත්සාහයන් ලක්මාල් සඵල කරයි

කුසල් පෙරේරා ආරම්භ කළ මැජික් ඉනිම, තිසර පෙරේරා සහ දසුන් ශානක විසින් තව දුරටත් පවත්වා ගෙන…

දකුණු අප්‍රිකාව වෙනුවෙන් පන්දු යවන්නෝ හය දෙනෙක් උපයෝගී කර ගත්ත ද ඔවුන් අතුරින් ක්‍රීඩකයන් පස් දෙනෙක් අතර කඩුල්ල බැගින් බෙදී ගියා.

තරගය ආරම්භයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකා නැගී එන කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගනිමින් ගිය ගමනේ දී වඩාත් ප්‍රයෝජනයක් ගත්තේ මැතිව් බ්‍රෙස්ට්ස්කි ය.ඔහු ලකුණු 97ක් ලබා ගත්තා. පන්දු103කට මුහුණ දුන් ඔහු හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් තම ඉනිමට ඇතුලත් කර ගත්තා. ඊට අමතරව රයන් රිචෙල්ටන් ද අර්ධ ශතකයක් ලබා ගත්තා. රයන් පන්දු 72කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 61ක් ලබා ගත්තා.

දකුණු අප්‍රිකා ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 87ක සබඳතාවක් එක් කිරීමට ටෝනි ද සෝර්සි සහ රිචෙල්ටන් සමත් වුනා. ටෝනි පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 33ක් ලබා ගත්තා. එය දකුණු අප්‍රිකා ඉනිමේ හොඳම කඩුලු සබඳතාව වුනා.

ඉදිරි පෙළ පිතිකරුවෝ ඉලක්කම් දෙකේ ලකුණු රැස් කරමින් ඉනිම ගොඩ ගනිද්දී පිතිකරුවෝ 6 දෙනෙක්ම ලකුණු 10ට අඩුවෙන් තැබීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වුනා. ඒ අනුව පන්දු යැවීමේ දී හොඳම දක්ෂතාව දැක්වූයේ අසේල ගුණරත්න. ඔහු ලකුණු 30කට කඩුලු 4ක් දවා ගත්තා. ඊට අමතරව නිශාන් පීරිස් සහ ජෙෆ්රි වැන්ඩර්සේ කඩුලු 2 බැගින් දවා ගත්තා.

දෙරට අතර පැවැත්වෙන තෙවැනි සහ අවසාන එක්දින තරගය මේ මස 14 වැනිදා කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම; සියලුම දෙනා දැවී 267 (47.5) ටෝනි ද සෝර්සි 33, රයන් රචෙල්ටන් 61, මැතිව් බ්‍රෙස්ට්ස්කි 97, ග්‍රෙගරි මහලොක්වානා 36, අසේල ගුණරත්න 4/30, නිශාන් පීරිස් 2/41, ජේෆ්රි වැන්ඩර්සේ 2/55

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ; කඩුලු 5ක් දැවී 269 (49.1) සධීර සමරවික්‍රම 25, චරිත් අසලංක 69, කමිඳු මෙන්ඩිස් 54, අසේල ගුණරත්න 57

ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකානු නැගී එන ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ සියලුම තරග ඩයලොග් TV නාලිකා අංක 1 ඔස්සේ හා ThePapare.com වෙබ් අඩවිය හරහා සජීවීව විකාශනය කරනු ලබන අතර තරගයේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<