A කොටසේ ශූරතාව පොලිසියට

SLSSCA Div A Annual T20 Cricket Tournament 2025

27
SLSSCA Div -A Annual T20 Cricket Tournament 2025

ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කළ රාජ්‍ය සේවා A කොටසේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ 2025 වසරේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තු කණ්ඩායම සමත් වූ අතර එහි අනුශූරතාව බන්ධනාගාර දෙපාර්තමේන්තු කණ්ඩායම සතු වුණා.  

රත්මලාන ජනසතු සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (25) පැවැති මෙම අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ගත් පොලිස් දෙපාර්තමේන්තු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගත් අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 8ක් දැවී ලකුණු 148ක් ලබා ගන්නවා. පිළිතුරු ඉනිමට පිටියට පිවිසි බන්ධනාගාර දෙපාර්තමේන්තු කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 118ක් පමණයි. ඒ අනුව තවත් පන්දු 16ක් ඉතිරි ව තිබිය දී ලකුණු 30ක ජයග්‍රහණයක් ලබා ගැනීමට පොලිස් දෙපාර්තමේන්තු කණ්ඩායම සමත් වෙනවා.  

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තු කණ්ඩායම 

නදීර බාලසූරිය (නායක), පැතුම් නිර්මාල්, ලසිත් ද සිල්වා, මලිත් ද සිල්වා, මහේෂ් ප්‍රියදර්ශන, සුජාන් මයුර, අසිත ජයවර්ධන, ගයාන් අසංක ද සිල්වා, තුසිත් ඩිල්ශාන්, චාරුක ප්‍රමෝද් සහ අශාන් ලක්ෂිත අබේකෝන්. 

බන්ධනාගාර දෙපාර්තමේන්තු කණ්ඩායම 

විමන්ද රාධික (නායක), ගයාන් නිර්මාල්, රොෂාන් චින්තක, චේතිය ප්‍රභාත් (කඩුලු රකින්නා), ඩිල්ශාන් එදිරිසිංහ, කෝසල ධනංජය, ගනේශක ද සිල්වා, කසුන් රුබේරු, මලිත් ද සිල්වා, නලින් ශ්‍රියංකර සහ කාවින්ද සේනරත්න. 

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි පොලිස් දෙපාර්තමේන්තු කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වුයේ ආරම්භක පිතිකරු පැතුම් නිර්මාල්. ඔහු පන්දු 29කට මුහුණ දෙමින් හයේ පහර 3ක් සමඟින් ලකුණු 35ක් ලබා ගන්නවා.  

ඊට අමතර ව මැද පෙළින් පිටියට පිවිසි සුජාන් මයුර පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 32ක් ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී නලින් ශ්‍රියංකර, ගයාන් නිර්මාල් සහ කසුන් රුබේරු කඩුලු ද්විත්වය බැගින් ද මලිත් ද සිල්වා සහ කාවින්ද සේනාරත්න කඩුල්ල බැගින් ද දවා ගත්තා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බන්ධනාගාර දෙපාර්තමේන්තු කණ්ඩායමේ ආරම්භය එතරම් ම සාර්ථක වූයේ නැහැ. ඔවුන්ගේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 2ක් වෙද්දී දැවී යනවා. එසේ වූවත් 3 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 76ක සබඳතාවක් එක් කිරීමට රොෂාන් චින්තක සහ චේතිකය ප්‍රභාත් සමත් වෙනවා.  

ඒ අතුරින් රොෂාන් චින්තක පන්දු 37කට මුහුණ දෙමාන් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 23ක් ලබා ගන්නා ලද අතර චේතිය ප්‍රභාත් පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 45ක් ලබා ගත්තා.  

ඔවුන් දෙදෙනාට අමතර ව කෝසල දනංජය පන්දු 9කට මුහුණ දෙමින් හයේ පහර 2ක් සමඟින් ලකුණු 16ක් ලබා ගන්නා ලද අතර අනෙක් කිසිදු අයෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට පිවිසීමට ඉඩ ලැබෙන්නේ නැහැ.  

කඩුලු දවා ගැනීමේ දී අශාන් ලක්ෂිත අබේකෝන් ලකුණු ලබා නොදෙමින් කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව නදීර බාලසූරිය සහ මහේෂ් ප්‍රියදර්ශන කඩුලු ද්විත්වය බැගින් ද දවා ගත් අතර සුජාන් මයුර, තුසිත් ඩිල්ශාන් සහ අසිත ජයවර්ධන කඩුල්ල බැගින් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • පොලිස් දෙපාර්තමේන්තු කණ්ඩායම – කඩුලු 8ක් දැවී 148 (20.0) පැතුම් නිර්මාල් 35, ලසිත් ද සිල්වා 19, සුජාන් මයුර 32, ගයාන් නිර්මාල් 2/26, නලින් ශ්‍රියංකර 2/13, කසුන් රුබේරු 2/37
  • බන්ධනාගාර දෙපාර්තමේන්තු කණ්ඩායම – සියලුම දෙනා දැවී 118 (17.2) රොෂාන් චින්තක 23, චේතිය ප්‍රභාත් 45, මහේෂ් ප්‍රියදර්ශන 2/27, නදීර බාලසූරිය 2/11, අශාන් ලක්ෂිත අබේකෝන් 2/0

පොලිස් දෙපාර්තමේන්තු කණ්ඩායමට ලකුණු 30ක ජයක්.  

තෙවැනි ස්ථානය එස්. ටී. එෆ්. කණ්ඩායමට  

මෙම තරගාවලියේ තෙවැනි ස්ථානය තෝරා ගැනීම සඳහා පැවැති තරගයට සහභාගී වූයේ එස්. ටී. එෆ්. කණ්ඩායම සහ දෙහිවල – ගල්කිස්ස මහනගර සභා කණ්ඩායමයි.  

රත්මලාන ජනසතු සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී (25) පෙරවරුවේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් එස්. ටී. එෆ්. කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් කඩුලු 6ක් දැවී ලකුණු 200ක් ලබා ගත් අතර ඊට පළිතුරු ලෙසින් දෙහිවල -ගල්කිස්ස මහනගර සභා කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ කඩුලු 7ක් දැවී ලකුණු 151ක් පමණයි.  

එස්. ටී. එෆ්. කණ්ඩායම  

රාජිත තෝමස් (නායක) රසාංග ප්‍රේම්, චතුරංග ජයතිලක, නදිරු රුක්ෂාන්, සමන් කුමාර වෑවිට, අසංක ද සිල්වා (කඩුලු රකින්නා), රුශික නලින්ද, සමන් ආරියසේන, ලක්මාල් මදුශංක, පූජිත් ගුණවර්ධන සහ දනංජය කෞෂාල්. 

දෙහිවල – ගල්කිස්ස මහනගර සභා කණ්ඩායම  

ශානක ශෙහාන් (නායක), සුරංග ප්‍රියදර්ශන, වනෝජ් උදාර, නුවන් තාරක (කඩුලු රකින්නා), ඩිලාන් මදුශංක, චන්න කසුන්, නලින් ජයසිංහ, ඉන්දික අපෝන්සු, චමින්ද කුමාර, ඉන්දික කුමාර අල්විස් සහ චරිත් නුලක්ෂ සිල්වා.  

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි එස්. ටී. එෆ්. කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ රසාංග ප්‍රේමන්. ඔහු පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 74ක් ලබා ගන්නවා.  

ඔහුට අමතර ව සමන් කුමාර වෑවිට හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 34ක් ද, නායක රාජිත තෝමස් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 25ක් ද සහ නදීර රුක්ශාන් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 24ක් ද ලබා ගන්නවා. ඔවුන් තිදෙනා ම මෙම ලකුණු වාර්තා කිරීමේ දී වැය කරන ලද්දේ පන්දු 17ක් පමණක් බැගින් වීම විශේෂ වූවා. ඔවුන්ට අමතර ව චතුරංග ජයතිලක ද පන්දු 12කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 24ක් ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී චන්න කසුන් සහ ඉන්දික අපෝන්සු කඩුලු 2ක් බැගින් දවා ගත් අතර නලින් ජයසිංහ සහ ශානක ශෙහාන් ද කඩුල්ල බැගින් දවා ගත්තා. 

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දෙහිවල – ගල්කිස්ස මහනගර සභා කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ නුවන් තාරක. ඔහු පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 54ක් ලබා ගත්තා. ඔහුත් සමඟින් අනෙක් අන්තයෙන් ක්‍රීඩා කළ ඩිලාන් මදුශංක පන්දු 30ක දී හතතෙර් පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුනු 43ක් ලබා ගත්තා. 

ඔවුන් දෙදෙනා එක් ව 4 වැනි කඩුල්ල ලකුණු 92ක සබඳතාවක් ද ගොඩ නගනවා. නමුත් එම ඉනිමේ එය පමණක් වැදගත් ලකුණු සබඳතාවක් වෙද්දී කඩුලු දවා ගැනීමේ දී ලක්මාල් මදුශංක සහ දනංජය කෞෂාල් කඩුලු ද්විත්වය බැගින් ද රුශික නලින්ද, පූජිත් ගුණවර්ධන සහ නදිරු රුක්ශාන් කඩුල්ල බැගින් ද දවා ගන්නවා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • එස්. ටී. එෆ්. කණ්ඩායම – කඩුලු 6ක් දැවී 200 (20.0) රසාංග ප්‍රේමන් 74, චතුරංග ජයතිලක 24, රාජිත තෝමස් 25, නදිරු රුක්ෂාන් 24, සමන් කුමාර වෑවිට 34, ඉන්දික අපෝන්සු 2/36, චන්න කසුන් 2/29
  • දෙහිවල – ගල්කිස්ස මහනගර සභා කණ්ඩායම – කඩුලු 7ක් දැවී 151 (20.0) නුවන් තාරක 54, ඩිලාන් මදුශංක 43, ලක්මාල මදුශංක 2/20, දනංජය කෞෂාල් 2/42

එස්. ටී. එෆ්. කණ්ඩායමට ලකුණු 49ක ජයක්.  

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<