තුන් කල් දුටු Tier B පිටිය

SLC Tier B T 20 Tournament 2025

27
SLC Tier B T 20 Tournament 2025

කණ්ඩායම් 12ක් අතරේ පැවැති තරග 37ක, ඉනිම් 64ක යැවුණ පන්දු 6084ක දී කඩුලු 383ක් දැවී යමින් අතිරේක ලකුණු 403ක් ද එක් ව ලබා ගත් ලකුණු 6349ක් සමඟින් නිමා වූ ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ අන්තර් ක්‍රීඩා සමාජ Tier B විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පෙරළියක් කරමින් ප්‍රබල SSC කණ්ඩායම පරාජය කළ Malay CC කණ්ඩායම 2025 වසරේ ශූරයන් බවට පත් වීමට පසුගියදා සමත් වුනා.

මේ ජයග්‍රහණය ඔවුන්ට වඩාත් වැදගත් වන්නේ SSC කණ්ඩායම නියෝජනය කරමින් එක්දින සහ විස්සයි විස්ස නායක චරිත් අසලංක, හිටපු නායක දසුන් ශානක, අවිශ්ක ප්‍රනාන්දු, නුවනිඳු ප්‍රනාන්දු, චමිඳු වික්‍රමසිංහ වැනි ක්‍රීඩකයෝ ද එම කණ්ඩායම නියෝජනය කළ බැවිනුයි.

එමෙන් ම පසුගිය වසරේ දී නිමා වූ Major Club 3 Day තරගාවලියේ තම ස්ථාන අහිමි වූව ද අවසන් මහා තරගය සඳහා එක් වූ SSC කණ්ඩායම මෙන් ම Ragama CC, Negombo CC සහ Kandy Custom SC යව කණ්ඩායම් ද මෙවර Tier B විස්සයි විස්ස තරගාවලියට එක් වූ බැවින් මෙම තරගාවලිය වැඩි තරගකාරීත්වයකින් යුක්ත වූනා.

මෙම කණ්ඩායම් හේතුවෙන් ම මෙවර තරගාවලියේ දී වර්ථමානයේ ක්‍රිකට් පිටියේ දක්ෂතා දක්වන්න සේ ම අතීතයේ දක්ෂතා දැක් වූ ක්‍රීඩකයෝ ද එක් ව සිටීම විශේෂත්වයක් වූනා. එමෙන් ම ඒ අතර අනාගතයට එක් කර ගැනීමට, හඳුනාගත හැකි දක්ෂයෝ ද මෙම තරගාවලිය හා එක් ව සිටියා.

තරගාවලිය නිමා වෙන්නේ හයේ පහර 221ක් සහ හතරේ පහර 372ක් තරගාවලියට එක් කරමිනුයි. මේ අතුරින් SSC ක්‍රීඩකයෝ හතරේ පහර 62ක් සහ හයේ පහර 43ක් ලබා ගනිමින් වැඩිම හයේ සහ හතරේ පහර ලබා ගත් කණ්ඩායම ලෙසින් පෙරමුණට පැමිණෙද්දී Kandy Customs SC කණ්ඩායම තරගාවලිය පුරා හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් එල්ල කරමින් තරගාවලියේ අඩුම හතරේ සහ හයේ පහර එල්ල කළ කණ්ඩායම ලෙසින් ලැයිස්තු ගත වුනා.

හතරේ පහර 55ක් සහ හයේ පහර 26ක් ද ලබා ගත් ජයග්‍රාහී Malay CC ක්‍රීඩකයෝ එම ලැයිස්තුවේ 2 වැනි ස්ථානයට පත් වුනා. තරගාවලියේ කිසිදු ලකුණක් ලබා නොගත් පන්දු 2780ක් ද මෙම තරගාවලියට ඇතුලත්.

  • අවසන් මහා තරගයේ වීරයා – කාවින්ද ඊශ්වර (Malay CC)

Malay CC කණ්ඩායම නියෝජනය කළ 23 වැනි වියේ පසුවෙන කාවින්ද ඊශ්වර ගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් අවසන් මහා තරගයේ වීරයා ලෙසින් නම් වෙනවා.

SSC කණ්ඩායම සමඟ පැවැති අවසන් මහා තරගයේ දී පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 26ක් ලබා ගන්නා ඔහු පන්දු යැවීමේ දී ලකුණු 21කට කඩුලු 2ක් දවා ගන්නවා.

කෙසේ වෙතත් ඔහු නිමා වූ තරගාවලියේ තරග 5කට මුහුණ දෙමින් ලබා ගන්නේ ලකුණු 64ක් පමණයි. එම ලකුණු අතර වැඩිම ලකුණු සංඛ්‍යාව බවට පත් වෙන්නේ ඔහු අවසන් තරගයේ දී ලබා ගන්නා ලද ලකුණු 26යි.

දකුණතින් පිතිකරණයේ යෙදෙන ඔහු දකුණත් පිට දඟ පන්දු යවන්නෙක් ලෙසින් ද අවශ්‍ය අවස්ථාවල දී කටයුතු කිරීමේ හැකියාවෙන් යුත් ක්‍රීඩකයෙක්. Ace Capital කණ්ඩායම නියෝජනය කරමින් 2022 වසරේ දී පළමු පෙළ තරගවලට ද තම දායකත්වය දීමට  කාවින්ද ඊශ්වර සමත් වෙනවා. ඔහුගේ පළමු පෙළ තරග දක්ෂතා ලෙසින් සටහන් කර ගන්නේ තරග 2ක දී ලබා ගත් ලකුණු 8ක් කඩුලු 5ක්.

ඊට අමතර ව ඔහු කලක් NCC කණ්ඩායම ද සහ Nugegoda SWC කණ්ඩායම ද නියෝජනය කරමින් පළමු පෙළ එක්දින සහ විස්සයි විස්ස තරගවලට ද තම දායකත්වය ලබා දී තිබෙනවා.

  • තරගාවලියේ වීරයා – අවිශ්ක ප්‍රනාන්දු (SSC)

කොළඹ SSC කණ්ඩායම නියෝජනය කළ අවිශ්ක ප්‍රනාන්දු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත්වෙන්නේ තරග 6ක් ඉනිම් 6කදී ලබා ගන්නා ලද ලකුණු 226ත් සමඟයි. පිතිකරණයේ 56.50ක සාමාන්‍යක් රඳවා ගන්නා ඔහුගේ ඉනිම් අතර ඉහළ ම ලකුණු සංඛ්‍යාව වෙන්නේ Sebastianites C & AC කණ්ඩායමට එරෙහි ව පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 16ක් සමඟින් ලබාගත් ලකුණු 118යි. එය මෙවර තරගාවලියේ වාර්තා වූ එක ම ශතකය බවට ද පත් වුනා.

එමෙන් ම ඔහු නිමා වූ තරගාවලියේ දී හයේ පහර 18ක් එල්ල කරන ලද අතර එය එක් ක්‍රීඩකයෙක් විසින් මෙවර තරගාවලියේ දී එල්ල කරන ලද වැඩිම හයේ පහර සංඛ්‍යාව බවට ද පත් වුනා. ඔහුගේ නිමා වූ ඉනිම් අතර අවසන් මහා තරගයේ දී Malay CC කණ්ඩායමට එරෙහි ව පන්දු 37ක දී ලබා ගත් ලකුණු 35ක් සහ SL Army SC කණ්ඩායමට එරෙහි ව පන්දු 22කට මුහුණ දෙමින් නොදැවී ලබා ගත් ලකුණු 34ක් ද ඇතුලත්.

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් එක්දින ජාත්‍යන්තර තරග 51කට ද සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 37කට ද එක් වූ ක්‍රීඩකයෙක් වන අවිශ්ක ප්‍රනාන්දු Tier B පිටියෙන් මෙවර තරගාවලියට එක් වූ SSC කණ්ඩායමේ නායකයා ද වෙනවා. පළමු පෙළ තරග 40කට ක්‍රීඩා කර ඇති අවිශ්ක ප්‍රනාන්දු එහි දී ශතක 5ක් සහ අර්ධ ශතක 10ක් සමඟින් ලකුණු 2236ක් ලබා සිටින ක්‍රීඩකයෙක්.

  • තරගාවලියේ දක්ෂතම පිතිකරු – දෙනුවන් රාජකරුණා (United Southern CC)

තරගාවලියේ දක්ෂතම පිතිකරු බවට පත් වෙන්නේ United Southern CC කණ්ඩායම නියෝජනය කළ 34 හැවිරිදි වියේ පසුවෙන දෙනුවන් රාජකරුණා.

ඔහු නිමා කළ මෙම තරගාවලියේ පළමු වටය අවසන් කරන විට තරග 6ක ඉනිම් 6ක දී ලකුණු 154ක් ලබා ගන්නවා. එම ලකුණු අතර Moratuwa SC කණ්ඩායමට එරෙහි ව පන්දු 47කට මුහුණ දෙමින් නොදැවී ලබා ගත් ලකුණු 47 ඔහු තරගයක දී ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

ඔහුගේ එම ඉනිමට අමතර ව Leo SC කණ්ඩායමට එරෙහි ව පන්දු 24කදී ලබා ගන්නා ලද ලකුණු 31ක් ද සහ SSC කණ්ඩායමට එරෙහි ව පන්දු 29කින් ලබා ගන්නා ලද ලකුණු 27ක් ද ඊට ඇතුලත්.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම, ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම, ශ්‍රී ලංකා වයස අවුරුදු 23න් පහළ සහ ශ්‍රී ලංකා A කණ්ඩායම ද නියෝජනය කර ඇති දෙනුවන් රාජකරුණා පළමු පෙළ තරග 79ක දී ශතක 2ක් සහ අර්ධ ශතක 18ක් සමඟින් ලකුණු 3195ක් ලබා ඇති ක්‍රීඩකයෙක්.

කෙසේ වෙතත් ඔහු 2021 වසරේ සිට පළමු පෙළ තරගවලට සහභාගී වෙන්නේ නැහැ.

  • තරගාවලියේ දක්ෂතා දැක් වූ පිතිකරුවෝ

නිමා වූ තරගාවලියේ පිතිකරුවන් ලැයිස්තු ගත කිරීමේ දී තරගාවලියේ වීරයා වූ අවිශ්ක ප්‍රනාන්දුට 1 වැනි ස්ථානය හිමි වෙද්දී එහි 2 වැනි ස්ථානය හිමි කර ගන්නේ Ragama CC කණ්ඩායම නියෝජනය කළ සමීන් කඳනාරච්චි වෙතයි.

නිමා වූ තරගාවලියේ ඔහුගේ හොඳම ඉනිම බවට පත් වෙන්නේ SL Army SC කණ්ඩායමට එරෙහි ව පන්දු 29කට මුහුණ දෙමින් නොදැවී ලබා ගත් ලකුණු 42යි. ඊට අමතර ව Malay CC කණ්ඩායමට එරෙහිව පන්දු 24ක දී ලබා ගත් ලකුණු 42ක් ද සහ Moratuwa SC කණ්ඩායමට එරෙහි ව පන්දු 21ක දී ලබා ගත් ලකුණු 41ක් ද ඔහුගේ ලකුණු ගිණුමේ ඇතුලත්.

එමෙන් ම ඔහු මෙවර තරගාවලියේ වැඩිම හතරේ පහර එල්ල කළ සම ක්‍රීඩකයා බවට ද පත් වෙනවා. ඔහු තරගාවලිය නිමා වන විට හතරේ පහර 18ක් එල්ල කර තිබූ අතර SL Army SC කණ්ඩායමේ අශාන් සුදර්ශන ද එම දක්ෂතාවය ම කර තිබුණා.

37 වැනි වියේ පසුවෙන ඔහු පළමු පෙළ තරග 67කට ක්‍රීඩා කරමින් ලකුණු 3233ක් ලබා සිටින ක්‍රීඩකයෙක්.

ඉන් අනතුරුවයි තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙසින් සම්මානයට පත් දෙනුවන් රාජකරුණා මෙම ලැයිස්තුවට එක් වෙන්නේ. ඔහුගෙන් පසුව පළමු පෙළ තරග 34ක දී ශතකයක් සහ අර්ධ ශතක 19ක් සමඟින් ලකුණු 2017ක් ලබා සිටිමින් මෙම තරගාවලිය හා එක් වූ බුද්ධික හසරංග ද සහ පළමු පෙළ තරග 48ක දී අර්ධ ශතක 15ක් සමඟින් ලකුණු 1994ක් ලබා සිටිමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ද නියෝජනය කර ඇති ක්‍රිශාන් සංජුල ද මෙම ලැයිස්තුවට එක් වෙනවා.

තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකරුවන් 5 දෙනා

Player Team Inns NO Runs HS Ave SR 100 50
1 අවිශ්ක ප්‍රනාන්දු SSC 6 2 226 118* 56.50 151.68 1 0
2 සමීන් කඳනාරච්චි Ragama CC 6 1 182 42* 36.40 147.97 0 0
3 දෙනුවන් රාජකරුණා United Southern SC 6 2 154 47* 38.50 93.33 0 0
4 බුද්ධික හසරංග Malay CC 6 1 144 61 28.80 118.03 0 1
5 ක්‍රිශාන් සංජුල SSC 7 1 134 27 22.33 119.64 0 0
  • තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – අමිත කෞශල්‍ය (Galle CC)

තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් සම්මාන දිනා ගන්නේ Galle CC කණ්ඩායම නියෝජනය කළ අමිත කෞශල්‍ය. ඔහු තරගාවලියේ පළමු වටය අවසන් වෙද්දී තරග 6ක ඉනිම් 6ක දී පන්දු යවමින් කඩුලු 9ක් ලබා ගනිමින් මෙම සම්මානයට හිමිකම් කියනවා.

ඔහුගේ පන්දු යැවීමේ හොඳම ඉනිම බවට පත් වෙන්නේ Navy SC කණ්ඩායමට එරෙහි ව ලකුණු 15කට දවා ගත් කඩුලු 4යි. ඊට අමතර ව ඔහු Sebastianites C & AC සහ Negombo CC කණ්ඩායම්වලට එරෙහි ව කඩුලු ද්විත්වය බැගින් ද දවා ගන්නවා.

31 වැනි වියේ පසුවෙන වමතින් දඟ පන්දු යවන අමිත කෞශල්‍ය 2022 දක්වා පළමු පෙළ ක්‍රිකට් පිටියේ සක්‍රීය වෙමින් තරග 9ක දී කඩුලු 31ක් ලබා ගත් ක්‍රීඩකයෙක්.

තරගාවලියේ දක්ෂතා දැක් වූ පන්දු යවන්නෝ

තරගාවලිය නිමා වෙන විට සැකසුණ වැඩිම කඩුලු ලබා ගැනීමේ ලැයිස්තුවේ පළමු ස්ථානය හිමි වෙන්නේ Ragama CC කණ්ඩායම නියෝජනය කළ 42 හැවිරිදි වියේ පසුවෙන වමතින් දඟ පන්දු යවන උපුල් ඉන්ද්‍රසිරි වෙතයි.

ඔහු මෙම තරගාවලියේ දී තරග 7කට සහභාගී වෙමින් කඩුලු 13ක් ලබා ගන්නා ලද අතර එහි දී ඔහුගේ පන්දු යැවීම බවට පත් වෙන්නෙ United Southern SC කණ්ඩායමට එරෙහි ව ලකුණු 09කට දවා ගන්නා ලද කඩුලු 4යි. එම දක්ෂතාවට අමතර ව ඔහු ජයග්‍රාහී Malay CC කණ්ඩායමට එරෙහි ව ද ලකුණු 26කට කඩුලු 3ක් දවා ගන්නවා.

පළමු පෙළ තරග 146කට මුහුණ දෙමින් කඩුලු 544ක් ලබා ඇති උපුල් ඉන්ද්‍රසිරි නිමා වූ පළමු පෙළ තරගාවලියේ ද නියෝජනය කළේ Ragama CC කණ්ඩායමයි.

අනතුරු ව මෙම ලැයිස්තුවේ ස්ථාන ත්‍රිත්වය ම හිමි වෙන්නේ SL Army SC පන්දු යවන්නන් තිදෙනක් වීම විශේෂත්වයක්. එහි දී 2 වැනි ස්ථානය හිමි වෙන්නේ ලිලාන් රංගන වෙතයි. ඔහු කඩුලු 11ක් ලබා ගනිමින් මෙම ස්ථානයට පත් වෙන අතර නිමා වූ තරගාවලියේ ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත් වෙන්නේ Kandy Customs SC කණ්ඩායමට එරෙහි ව ලකුණු 12කට දවා ගන්නා ලද කඩුලු 3යි.

අනතුරු ව මෙම ලැයිස්තුව හා එක් වෙන්නේ 24 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් මඳ වේග පන්දු යවන තීක්ෂණ වික්‍රමසිංහ. ඔහු කඩුලු 10ක් ලබා ගනිමින් මෙම ලැයිස්තුව හා එක් වෙන අතර නිමා වූ තරගාවලියේ ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත් වෙන්නේ United Southern SC කණ්ඩායමට එටරෙහි ව ලකුණු 22කට දවා ගන්නා ලද කඩුලු 3යි. ඊට අමතර ව ඔහු Kandy Customs SC කණ්ඩායමට එරෙහි ව පන්දු 2ක් පමණක් යවමින් කඩුලු 2ක් ලබා ගැනීමට ද සමත් වෙනවා.

නැවතත් SL Army SC කණ්ඩායමේ ම වමතින් දඟ පන්දු යවන 34 වැනි වියේ පසුවෙන ගයාන් චන්ද්‍රබෝස් මෙම ලැයිස්තුව හා එක් වෙනවා. ඔහු ඊට එක් වෙන්නේ ලබා ගත් කඩුලු 9ක් සමඟයි. එහි දී ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත් වෙන්නේ Moratuwa SC කණ්ඩායමට එරෙහි ව ලකුණු 07කට දවා ගන්නා ලද කඩුලු 4යි.

අනතුරුවයි තරගාවලියේ දක්ෂත ම පන්දු යවන්නා වූ අමිත කෞශල්‍ය මෙම ලැයිස්තුව හා එක් වෙන්නේ.

තරගාවලියේ වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නන් 5 දෙනා

Player Team M Ov Md Runs Wk Best Econ Avg 4
1 උපුල් ඉන්ද්‍රසිරි Ragama CC 7 26.0 1 129 13 4/09 4.96 9.92 1
2 ලිලාන් රංගන SL Army SC 6 23.0 0 120 11 3/12 5.22 10.91 0
3 තීක්ෂණ වික්‍රමසිංහ SL Army SC 6 12.2 0 97 10 3/22 7.46 9.7 0
4 ගයාන් චන්ද්‍රබෝස් SL Army SC 6 18.0 2 84 9 4/07 4.67 9.33 1
5 අමිත කෞශල්‍ය Galle CC 6 19.0 1 96 9 4/15 5.05 10.67 1

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<