Greys ක්‍රීඩකයෝ 2 වැනි ජය ලබයි

SLC T20 League 2025

98
SLC T20 League 2025

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන විස්සයි විස්ස League ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගය අද (13) නිමා වූ අතර එහි දී Blues කණ්ඩායමට එරෙහි ව කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගැනීමට Greys ක්‍රීඩකයෝ සමත් වුණා.

මේ ඔවුන් මෙම තරගාවලියේ ලත් 2 වැනි ජයග්‍රහය මෙය වන අතර, Blues ක්‍රීඩකයෝ පිට පිට ලත් සිව් වැනි පරාජයයි. ඒ අනුව Blues කණ්ඩායම මෙම තරගාවලිය අවසන් කරන්නේ කිසිදු ජයග්‍රහණයක් ලබා නොගත් කණ්ඩායමක් ලෙසයි.

කොළඹ SSC පිටියේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Blues කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් කඩුලු 6ක් දැවී ලකුණු 178ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් Greys ක්‍රීඩකයෝ කඩුලු 4ක් පමණක් දැවී තවත් පන්දු 17ක් ද ඉතිරි කර ගනිමින් ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගත්තා.

Team Greys

 

චරිත් අසලංක (නායක), දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල (කඩුලු රකින්නා), ලහිරු උදාර, නුවනිඳු ප්‍රනාන්දු, සහන් ආරච්චිගේ, විජයකාන්ත් වියස්කාන්ත්, මහීෂ් තීක්ෂණ, එශාන් මාලිංග, ගරුක සංකේත් සහ චමිඳු වික්‍රමසිංහ.

Team Blues

 

පැතුම් නිස්සංක (නායක), විශේන් හැළඹගේ, නිශාන් මදුශ්ක (කඩුලු රකින්නා), ධනංජය ද සිල්වා, අශේන් බණ්ඩාර, දසුන් ශානක, රවිඳු ප්‍රනාන්දු, අකිල ධනංජය, අසිත ප්‍රනාන්දු, මතීෂ පතිරණ සහ ලිලාන් රංගන.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Blues කණ්ඩායමට සාර්ථක ආරම්භයක් එක් කිරීමට පැතුම් නිස්සංක සහ විශේන් හැළඹගේ සමත් වෙනවා. ඔවුන් දෙදෙනා එක් ව 1 වැනි කඩුල්ලට පන්දු 34ක දී ලකුණු 60ක් එක් කරනවා.

එහි දී පැතුම් නිස්සංක පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 30ක් ද සහ විශේන් හැළඹගේ පන්දු 25ක දී හයේ පහර 3ක් සමඟින් ලකුණු 32ක් ද ලබා ගන්නවා.

 අනතුරු ව නිශාන් මදුශංක පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 23ක් ලබා ගන්නා ලද අතර, මැදි පෙළින් පිටියට පිවිසි දසුන් ශානක Blues ඉනිම අවසන් වෙද්දී පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 35ක් ද සහ රවිඳු ප්‍රනාන්දු පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 41ක් ද ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා එක් ව 6 වැනි කඩුල්ලට පන්දු 39ක දී ලකුණු 76ක සබඳතාවක් එක් කරනවා.

කඩුලු දවා ගැනීමේ දී ගරුක සංකේත් ලකුණු 46කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ වැඩිම කඩුලුලාභියා බවට පත් වෙද්දී චරිත් අසලංක, සහන් ආරච්චිගේ සහ විජයකාන්ත් වියස්කාන්ත් කඩුල්ල බැගින් බෙදා ගන්නවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Greys ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ නුවනිඳු ප්‍රනාන්දු. ඔහු තරගය අවසන් වන විට පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 50ක් ලබා සිටියා.

ඔහු නායක චරිත් අසලංක සමඟින් සිව් වැනි කඩුල්ලට පන්දු 51ක දී ලකුණු 84ක් එක් කරනවා. එහි දී චරිත් අසලංක පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 45ක් ලබා ගන්නවා.

ඊට අමතර ව ආරම්භක පිතිකරු දිනේෂ් චන්දිමාල් සහ නිරෝෂන් දික්වැල්ල එක් ව Greys ඉනිමේ 1 වැනි කඩුල්ලට පන්දු 25ක දී ලකුණු 55ක සබඳතාවක් එක් කරනවා. එහි දී නිරෝෂන් දික්වැල්ල පන්දු 11කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 21ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන අතර දිනේෂ් චන්දිමාල් පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 44ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී මතීෂ පතිරණ ලකුණු 32කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව ධනංජය ද සිල්වා සහ අසිත ප්‍රනාන්දු කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Team Blues– කඩුලු 6ක් දැවී 178 (20.0)පැතුම් නිස්සංක 30, විශේන් හැළඹගේ 32, නිශාන් මදුශ්ක 23, දසුන් ශානක නොදැවී 35, රවිඳු ප්‍රනාන්දු 41, ගරුක සංකේත් 2/46
  • TeamGreys – කඩුලු 4ක් දැවී 179 (17.1)දිනේෂ් චන්දිමාල් 44, නිරෝෂන් දික්වැල්ල 21, නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 50, චරිත් අසලංක 45, මතීෂ පතිරණ 2/32

Greys කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

මෙම තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය හෙට (14) Green සහ Greys කණ්ඩායම් අතර මෙම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<