පළමු දිනය චාමික නමින් ලියැවෙයි

SLC T20 League 2025

113
SLC T20 League 2025

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන විස්සයි විස්ස League ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (07) නිමා වූ Team Blues සහ Team Greens අතර තරගයෙන් කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගැනීමට Greens කණ්ඩායම සමත් වුණා.

කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් Team Blues ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි අතර ඔවුන් සියලුම දෙනා දැවී ලකුණු 143ක් ලබා ගත්තා. එම ඉලක්කය තරගය අවසන් වීමට පන්දු 19ක් ඉතිරි ව තිබිය දී කඩුලු 6ක් පමණක් දැවී සපුරා ගැනීමට ප්‍රතිවාදී Team Greens ක්‍රීඩකයෝ සමත් වුණා.

Team Blues

 

දුනිත් වෙල්ලාලගේ (නායක), පැතුම් නිස්සංක, විශේන් හැළඹගේ, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා, අහන් වික්‍රමසිංහ (කඩුලු රකින්නා), දසුන් ශානක, ජෙෆ්රි වැන්ඩර්සේ, අකිල ධනංජය, මතීෂ පතිරණ සහ ඩිල්ශාන් මදුශංක.

Team Greens

 

කමිඳු මෙන්ඩිස් (නායක), ලසිත් කෲස්පුල්ලේ, කමිල් මිෂාර, සදීර සමරවික්‍රම (කඩුලු රකින්නා), භානුක රාජපක්ෂ, පවන් රත්නායක, චාමික කරුණාරත්න, දුශාන් හේමන්ත, නුවන් තුෂාර, දුශ්මන්ත චමීර සහ ට්‍රෙවින් මැතිව්.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Blues කණ්ඩායම් ඉනිම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට පැතුම් නිස්සංක සහ විශේන් හැළඹගේ සමත් වෙනවා. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 17කින් ලකුණු 42ක සබඳතාවක් එක් කරනවා.

එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ පැතුම් නිස්සංක ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යන විට පන්දු 10කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 28ක් ලබා ගත්තා. එය එම ඉනිමේ පිතිකරුවෙක් ලබා ගත් ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව විශේන් හැළඹගේ ලකුණු 15කට දැවී යනවා. ඒ වෙද්දී ඔහු පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 15ක් ලබා සිටියා.

අනතුරු ව 3 වැනි කඩුල්ල වෙනුවෙන් කුසල් පෙරේරා සහ ධනංජය ද සිල්වා හා එක් ව පන්දු 34ක දී ලකුණු 34ක් ලබා ගැනීමට සමත් වෙනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ ධනංජය ද සිල්වා ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 18ක් ලබා ගත්තා. කුසල් පෙරේරා සිව් වැනි කඩුල්ල ලෙසින් දැවි යද්දී පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 24ක් ලබා සිටියා.

Blues ඉනිමේ මැද පෙළ කඩුලු 4ක් ලකුණු 18කට දැවී යද්දී අකිල ධනංජය පන්දු 10කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 16ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී චාමික කරුණාරත්න ලකුණු 17කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව දුශ්මන්ත චමීර, ට්‍රෙවීන් මැතිව් සහ නුවන් තුෂාර කඩුලු 2ක් බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Greens කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ චාමික කරුණාරත්න. ඔහු පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 47ක් ලබා ගත්තා. ඔහු නායක කමිඳු මෙන්ඩිස් හා එක් ව 6 වැනි කඩුල්ලට පන්දු 42ක දී ලකුණු 65ක් ලබා ගන්නවා. කමිඳු මෙන්ඩිස් පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 36ක් ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා මේ ලකුණු සබඳතාව ගොඩ නගන්නේ තම ඉනිම, ලකුණු 42කට කඩුලු 5ක් දැවී තිබියදීයි.

ඔවුන් දෙදෙනාට අමතර ව කමිල් මිෂාර පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 15ක් ද සහ තරගය අවසන් වන විට දුශාන් හේමන්ත පන්දු 10කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 12ක් ද ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී දසුන් ශානක ලකුණු 17කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව අකිල ධනංජය කඩුලු 2ක් ද සහ ඩිල්ශාන් මදුශංක කඩුල්ලක් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Team Blues – සියලුම දෙනා දැවී 143 (19.4) පැතුම් නිස්සංක 28, කුසල් පෙරේරා 24, නුවන් තුෂාර 2/36, දුශ්මන්ත චමීර 2/28, ට්‍රෙවීන් මැතිව් 2/34, චාමික කරුණාරත්න 3/17

Team Greens – කඩුලු 6ක් දැවී 144 (16.5) කමිඳු මෙන්ඩිස් 36, චාමික කරුණාරත්න නොදැවී 47, දසුන් ශානක 3/17, අකිල ධනංජය 2/22

Greens කණ්ඩායමට කඩුලු 4ක ජයක්.

මෙම තරගාවලියේ Greys සහ Blues අතර තරගය හෙට (08) මෙම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<