ලංකාව පැරදවු දකුණු අප්‍රිකාව, කඩුළු 8ක ජයක් සමඟ සිය නිවෙස් වලට

289
South Africa's Kyle Abbott(C)celebrates the wicket of Sri Lanka's batsman Jeffrey Vandersay(C) with captain Faf du Plessis during the World T20 cricket tournament match between South Africa and Sri Lanka at The Feroz Shah Kotla Cricket Ground in New Delhi on March 28, 2016. / AFP / PRAKASH SINGH

මූලික වටයේ අවසාන තරඟය ලෙස ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තරඟය අද (28) ඉන්දියාවේ දිල්ලි නුවර දී පැවැත්විණි. මෙම තරඟය තිලකරත්න ඩිල්ශාන් ගේ ක්‍රිකට් දිවියේ වැදගත් තරඟයක් විය. ඒ ඔහු ලෝක කුසලාන තරඟයක් ක්‍රීඩා කරන අවසාන අවස්ථාව බොහෝ විට මෙම තරඟය වීමට ඉඩ ඇති බැවිනි.

කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඇරයුම් කරන ලදි. ශ්‍රී ලංකා කණ්ඩායම අද තරඟයේ ක්‍රීඩා කලේ නායක ඇන්ජලෝ මැතිව්ස් හා දුෂ්මන්ත චමීර නොමැතිවය. ඒ ඔවුන් අබාධ වලට ලක්වී සිටීම නිසාවෙනි.

ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි තිලකරත්න ඩිල්ශාන් හා නායක දිනේෂ් චන්දිමාල් පළමු කඩුල්ල සඳහා ලකුණු 45 ක සාර්ථක සබඳතාවක් ගොඩනැගු අතර දිනේෂ් චන්දිමාල් පළමු කඩුල්ල ලෙස, 4 පහරවල් 2 ක් හා එක් 6 පහරක් සමඟ පන්දු 20 කදී ලකුණු  21 ලබා සිටියදී දැවී යන ලදි. අනතුරුව පිටියට පිවිසි ළහිරු තිරිමාන්න පළමු පන්දුවෙන්ම දැවී යන ලදි. මිලින්ද සිරිවර්ධන අනතුරුව පිටියට පිවිසි අතර ඔහු හා තිලකරත්න ඩිල්ශාන් 3 වන කඩුල්ල සඳහා ලකුණු 30 ක සබඳතාවක් ගොඩනැගු නමුත් මිලින්ද සිරිවර්ධන අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසු විය. ඔහු දැවී යන විට 4 පහරවල් 2 ක් සමඟ පන්දු 10 කදී ලකුණු 15 ලබා සිටින ලදි. ෂෙහාන් ජයසූරිය එක් ලකුණකට දැවී ගිය අතර තවත් ලකුණු 7 ක් එක් වෙද්දී පිටියේ තරමක් හෝ සාර්ථකව ක්‍රීඩා කල තිලකරත්න ඩිල්ශාන් කඩුල්ල මුවා කිරීමේ වරදට, පන්දු 40 කදී ලකුණු 36 ක් ලබා දැවී යන ලදි. ඩිල්ශාන් තම ඉණිම 4 පහරවල් 4 කින් හා එක් 6 පහරකින් වර්ණවත් කරගන්නා ලදි. චාමර කපුගෙදර ලකුණු 4 කට දැවී ගිය අතර එවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුළු 6 කට ලකුණු 85 ක් ලෙස දැක් විය. මෙම තරඟයේ දී ද ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරුවන් ගේ දුර්වල බව මනාව කැපී පෙනිණි. අනතුරුව පිටියේ ක්‍රීඩා කරමින් සිටි දසුන් ශානක හා තිසර පෙරේරා බිදී ගිය ඉණිම ගොඩ නැංවීමට පිත්ත ක්‍රියාත්මක කල ද තිසර පෙරේරා ලකුණු 8 කට 7 වන කඩුල්ල ලෙස දැවී යන ලදි. රංගන හේරත් ලකුණු 2 කටද, ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 3 කට ද දැවී ගිය අතර දසුන් ශානක එක් අන්තයක තනි විය. සුරංග ලක්මාල් දුවද්දී දැවී යාමකට හසු වූ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 120 ක් ලබා ගන්නා ලදි. නොදැවී ක්‍රීඩා කල දසුන් ශානක පන්දු 18 කදී ලකුණු 20 ක් ලබා ගැනීමට එක් 4 පහරක් හා 6 පහරක් වැය කරන ලදි.

Sri Lanka's wicket keeper Dinesh Chandimal (L) watches as South Africa's Hashim Amla plays a shot during the World T20 cricket tournament match between South Africa and Sri Lanka at Feroz Shah Kotla cricket ground in New Delhi on March 28, 2016. / AFP / PRAKASH SINGH
©AFP

පන්දු යැවීමේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් කයිල් ඇබට් පන්දුවාර 3 පන්දු 3 කදී, ලකුණු 14 ට කඩුළු 2ක් ද, ආරෝන් පන්ගිසො පන්දුවාර 4 කදී ලකුණු 26 කට කඩුළු 2 ක්ද ,ෆර්හාන් බෙහාර්ඩින් පන්දුවාර 3 කදී ලකුණු 15 ට කඩුළු 2 ක් දවා ගන්නා ලදි. ලකුණු 121 ක පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි හෂිම් අම්ලා හා කුවින්ටන් ඩී කොක් පළමු කඩුල්ල සඳහා ලකුණු 15 ක සබඳතාවක් ගොඩනංවන ලදි. කුවින්ටන් ඩී කොක්, තිලකරත්න ඩිල්ශාන්ගේ දක්ෂ පන්දු රැකීම හමුවේ දුවද්දී දැවී යන ලදි. ඒ වන විට 4 පහරවල් 2 ක් සමඟ පන්දු 6 කදී වේගවත් ලකුණු 9 ක් ලබා තිබිණි. අනතුරුව පිටියට පිවිසි නායක ඩියු පෙලෙසිස් හා හෂිම් අම්ලා දෙවන කඩුල්ල සඳහා ස්ථාවරව ලකුණු 60 ක සබඳතාවක් ගොඩනංවන ලදි. ශ්‍රී  ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් මෙම තරඟාවලියේ අබාධ වලට ලක්වූ අතර අද තරඟයේ දී ද ළහිරු තිරිමාන්න පන්දුවක් රැගෙන කඩුල්ලට එල්ල කිරීමට ගොස් අබාධයකට ලක්විණි. දෙවන කඩුල්ල ලෙස ඩියු පෙලෙසිස් පන්දු 37 කදී 4 පහරවල් 3 ක් සමඟ ලකුණු 31 ක් ලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට දැවී යන ලදි. එවිට ලකුණු පුවරුව ලකුණු 75 ට කඩුළු 2 ක් ලෙස දැක්විණි. අනතුරුව පිටියට පිවිසි ඒ බී  ඩිවීලියස් හා හෂිම් අම්ලා ලකුණු 47 ක සබඳතාවක් ගොඩනංවමින් තරඟය ජයග්‍රහණය කරා මෙහෙයවන ලදි. නොදැවී ක්‍රීඩා කල හෂිම් අම්ලා පන්දු 51 කදී 4 පහරවල් 5 ක් හා එක් දර්ශනීය 6 පහරක් සමඟ ලකුණු 56 ලබා ගන්නා ලදි. එයට සහය වූ ඒ බී ඩිවිලියස් වේගවත් ව පිත්ත හසුරුවා පන්දු 12 කදී, 6පහරවල් 2ක් සමඟ නොදැවී ලකුණු 20 ක් ලබා පන්දුවාර 17 යි පන්දු 4 කදී ලකුණු 122 ලබා ගෙන තරඟය කඩුළු 8 කින් ජයග්‍රහණය කරන ලදි.

පන්දු යැවීමේදී සුරංග ලක්මාල් පන්දුවාර 3 යි පන්දු 4 කදී, ලකුණු 29 කට එක් කඩුල්ලක් දවා ගන්නා ලදි.

තරඟයේ වීරයා ලෙස ආරෝන් පන්ගිසෝ සම්මාන දිනා ගන්නා ලදි .

ලබන බදාදා එංගලන්තය හා නවසීලන්තය අතර  අවසන් පූර්ව වටයේ තරඟය දිල්ලි නුවර දී පැවැත්වීමට නියමිතය.