ජෝසප්වරුන් පළමු අර්ධයේ දී ම සහිරාවන් මෙල්ල කරයි

129

2019 අන්තර් පාසල් සිංගර් ලීග් රග්බි තරගාවලියේ A කාණ්ඩයේ තවත් තරගයක් ඊයේ (15) පැවැත්වුණේ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය හා මරදාන සහිරා විද්‍යාලය අතරයි. කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ලකුණු 47-05ක් ලෙස ඉතා පහසුවෙන් ජය ගැනීමට සාන්ත ජෝසප් කණ්ඩායම සමත් විය.

ලුම්බිණි ප්‍රහාරයෙන් සත්කාරකයෝ සුනුවිසුනු වෙයි

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් පසුගිය දා (14) කොග්ගල ක්‍රීඩාංගණයේ දී පැවැත්වූයේ සත්කාරක…

සාන්ත ජෝසප් ක්‍රීඩක රශේන් ගුණවර්ධනගේ පා පහරින් පන්දුව ගුවනට මුසුවනවාත් සමඟම ආරම්භ වූ තරගයේ පළමු අර්ධය සම්පූර්ණයෙන්ම තමන් සතුකර ගන්නට ජෝසප්වරුන් සමත් වුනේ එම අර්ධය තුළ සහිරා ක්‍රීඩකයන්ට කිසිදු ලකුණක් රැස් කිරීමට ඉඩක් නොදෙමිනි. පළමු මිනිත්තු 2 ගතවෙද්දී ම සාන්ත ජෝසප් විද්‍යාලය ක්‍රියාත්මක වන්නට වූ අතර එහි දී තරිඳු මදුරංග පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. එහි ප්‍රවර්තනය සන්තුෂ් අල්ගම විසින් සාර්ථක කර ගනු ලැබීය. (සාන්ත ජෝසප් 07-00 සහිරා)

තරගයේ පළමු අර්ධය පුරාවටම සහිරා ක්‍රීඩකයන්ගේ දුර්වල පන්දු යොමුකිරීම්, පන්දු රැකගැනීම් කැපී පෙනුණු අතර එම දුර්වල ක්‍රීඩා විලාශය තමන්ට වාසියක් කරගනිමින් වේගයෙන් ලකුණු රැස් කරන්නට සාන්ත ජෝසප් ක්‍රීඩකයන් සමත් විය.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

සාන්ත ජෝසප් කණ්ඩායම වෙනුවෙන් තරගයේ 9, 21 හා 35 වැනි මිනිත්තුවල දී වාර්තා වූ එම උත්සාහක දිනුම් පිළිවෙළින් රශේන් ගුණවර්ධන, සන්තුෂ් අල්ගම, සුදාරක දේවප්‍රිය යන ක්‍රීඩකයින් විසින් ලබා ගත් අතර එම උත්සාහක දිනුම් සියල්ලේම ප්‍රවර්තන සාර්ථක කරගන්නට සන්තුෂ් සමත් විය.

පළමු අර්ධය: සාන්ත ජෝසප් විද්‍යාලය 28 – 00 සහිරා විද්‍යාලය

දෙවන අර්ධය තුළ දී ද ප්‍රතිවාදි සහිරා ක්‍රීඩකයන්ට හිස එසවීමට ඉඩ ලබා නොදුන් සාන්ත ජෝසප් ක්‍රීඩකයන් නැවතත් ක්‍රියාත්මක වෙමින් තම කණ්ඩායමේ 5 වැනි හා 6 වැනි උත්සාහක දිනුම් ලබා ගන්නා ලදි. නෙහාන් පෙරේරා හා තරිඳු අල්විස් විසින් එම උත්සාහක දිනුම් දෙක වාර්තා කළ අතර සන්තුෂ් ඉන් එක් ප්‍රවර්තනයක් පමණක් සාර්ථක කරගැනීමට සමත් විය. (සාන්ත ජෝසප් 40-00 සහිරා)

එතෙක් තරගයේ ලකුණු රැස්කිරීමට නොහැකිව සිටි සහිරාවන්ට මහත් අස්වැසිල්ලක් වෙමින් 54 වැනි මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් දිනා දෙන්නට මොහොමඩ් මිස්‍රාන් සමත් වූ නමුත් මලික්ට එහි ප්‍රවර්තනය මග හැරී ගියේය.

ඒ වන විටත් 40-05ක් ලෙස පහසු ජයග්‍රහණයක් කරා පියනගමින් සිටි සාන්ත ජෝසප් ක්‍රීඩකයින් සිය කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින්ව විවේක ගන්වා ආධුනික ක්‍රීඩකයන්ට තරගයේ අවස්ථාවක් ලබා දීමට තීරණය කළේය.

ලුම්බිණි ප්‍රහාරයෙන් සත්කාරකයෝ සුනුවිසුනු වෙයි

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් පසුගිය දා (14) කොග්ගල ක්‍රීඩාංගණයේ දී පැවැත්වූයේ සත්කාරක රිච්මන්ඩ්…

සාන්ත ජෝසප් කණ්ඩායම වෙනුවෙන් 66 වැනි මිනිත්තුවේ දී විනිසුරුතුමන් විසින් උත්සාහක දඬුවම් දිනුමක් (Penalty Try) ලැබුණු අතර එහි ප්‍රවර්තනය ද සාර්ථක කරගැනීමට  සන්තුෂ් සමත් විය. ඉන් අනතුරුව දෙපිළෙන්ම ගෝල වාර්තා නොවූ අතර නියමිත කාලය අවසාන වන විට ලකුණු 47-05ක් ලෙස පහසු ජයක් සාන්ත ජෝසප් කණ්ඩායම ඉදිරියෙන් ලියවිය. (ජෝසප් 47-05 සහිරා)

සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ A කාණ්ඩයෙන් තරග වැදුණු සහිරා විද්‍යාලය මේ දක්වා තමන් සහභාගී වූ තරග 3ම පරාජය වූ අතර සාන්ත ජෝසප් කණ්ඩායම මේ දක්වා තමන් සහභාගී වූ තරග 3ම ජයග්‍රහණය කරමින් අපරාජිත සිටින අතර මෙම තරගයේ ජයත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ ද පෙරමුණ ගැනීමට සාන්ත ජෝසප් ක්‍රීඩකයින් සමත් විය.

අවසන් ලකුණු තත්ත්වය: සාන්ත ජෝසප් විද්‍යාලය 47 05 සහිරා විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා: සන්තුෂ් අල්ගම

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • සාන්ත ජෝසප් විද්‍යාලය: තරින්දු මදුරංග (1T), සන්තුශ් අල්ගම (1T,6C), රශේන් ගුණවර්ධන (1T), සුදාරක දේවප්‍රිය (1T), නෙහාන් පෙරේරා (1T), තරිඳු අල්විස්(1T)
  • සහිරා විද්‍යාලය: මොහොමඩ් මිස්‍රාන් (1T)

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<