මැලේසියා ධාවන පථයේදී ඉෂාන් පීරිස්‌ ශ්‍රී ලංකාවට අභිමානයක්‌ ගෙනෙයි

322
ROTAX MAX championship
Pic credits - ft.lk (www.ft.lk)

පසුගියදා නිමාවට පත් වූ ආසියානු ROTAX MAX අභියෝගතා කාර්ටින් ධාවන තරගාවලියේ තෙවන අදියරේදී, 3 වන ස්‌ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ යොවුන් ධාවන ශූර ඉෂාන් පීරිස්‌ සමත් විය. තරගාවලිය පැවතියේ මැලේසියාවේ ධාවන පථයේදීය.

කාල ගණනයට අනුව සිව් වන වේගවත්ම ක්‍රීඩකයා බවට පත් වුවද තරග පැවැත්වූ සති අන්තයේ ආරම්භය ඉෂාන්ට එතරම් සුබදායක නොවීය. පළමු තරග වටයේදී, තාක්‌ෂණික දෝෂයක්‌ හේතුවෙන් ඉෂාන්ගේ රථය නියමිත වේලාවට පණ ගැන්වීමට නොහැකි විය.

කෙසේ වුවද ඉදිරි දින පැවති දෙවන තරග වටයේදී තම සුපුරුදු දක්‌ෂතා අතරට පැමිණි ඉෂාන්, ඉන්දියාවේ නයන් චැටර්, මලයාසියාවේ ඡේම්ස්‌ වීරපන් හා ජපානයේ රිකී ටනියෝකාට පසුව සිව් වන ස්‌ථානය හිමි කරගත් අතර එම තරග වටයේ වේගවත්ම කාලය වාර්තා කිරීමටද සමත් විය.

මෙම ROTAX MAX අභියෝගතා තරගාවලියේ අර්ධ අවසාන වටය සඳහා පළමු සහ දෙවන තරග වටයන්හි ප්‍රතිඵල සලකා බලන අතර, එහිදී ඉෂාන්ට තරගය ආරම්භ කිරීමට සිදුවූයේ 12 වන ස්‌ථානයේ සිටයි. තවද පෙර සූදානම් වටය ඉෂාන්ට එතරම් සුබදායක නොවීම හේතුවෙන් 12 වන ස්‌ථානයේ සිට 20 වන ස්‌ථානය දක්‌වා පසු බැසිමට ඔහුට සිදු විය. එහෙත් දැඩි ආත්ම විශ්වාසයෙන් සහ ධෛර්යයෙන් යුක්‌තව තරගයට අවතීර්ණ වූ ඉෂාන් සිවුවන ස්‌ථානය දක්‌වා ඉදිරියට පැමිණීමට සමත් විය. මේ වන විට තරගයේ වාසිය නයන් චැටර්, ඉන්දුනීසියාවේ සෙන්නා නූර් හා ඡේම්ස්‌ වීරපන් වෙත හිමිව තිබූ අතර අතිශය තීරණාත්මක හා උණුසුම් මුහුණුවරක්‌ ගත් අවසන් වටයේදී වීරපන් අභිබවා තෙවන ස්‌ථානයට පත් වීමට ඉෂාන්ට හැකි විය. පළමු හා දෙවන ස්‌ථාන පිළිවෙළින් නූර් සහ චැටර් විසින් දිනා ගන්නා ලදී.

මෙම විශිෂ්ට ජයග්‍රහණයත් සමග තම මවුබිමට මෙන්ම පුහුණුව ලබන බණ්‌ඩාරගම ශ්‍රී ලංකා කාර්ටින් ධාවන පථයටද විශාල ගෞරවයක්‌ අත්කර දීමට ඉෂාන්ට හැකියාව ලැබිණ. ඔහු ලැබූ මෙම ජයග්‍රහණය ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවකයන්ට විශාල ධෛර්යයක්‌ ගෙන දීමට සමත් වනු නොඅනුමානය. එසේම ROTAX MAX තරගාවලියේ අවසන් අදියරේදී අප රටට ජයග්‍රහණයක්‌ අත්පත් කර ගැනීමේ හැකියාව ඇති බවට මෙය හොඳ පෙර නිමිත්තකි.

තවත් නොබෝ දිනකින් මලයාසියාවේදීම පැවැත්වෙන ඞ30 අභියෝගතා තරගාවලියට සහභාගී වන ඉෂාන් ඉන් පසු යුරෝපය බලා යැමට නියමිතය. තවත් විශිෂ්ට ජයග්‍රහණ රැසක්‌ හිමිකර ගැනීමටත් අප ජාතික කොඩිය එම ධාවන පථයන්හි ඉහළින්ම ඔසවා තැබීමටත් ඔහුට ශක්‌තිය හා ධෛර්යය නොමදව ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු.