ඔව්, 2020 වසරේ ඔලිම්පික් උළෙල සඳහා කෙටිදුර ධාවන ශූරයෙක් සොයා ගැනීමට තරගයක් පවතිනු ඇති. ඒ මලල ක්‍රීඩා පිටියේ මොහොමඩ් අලි, නොහොත් කෙටි දුර ධාවනයේ පේලේ නොහොත් විශිෂ්ටතමයා ඔලිම්පික් තරග බිමෙන් සමුගෙන ඇති හෙයිනි.
පසුගිය ලිපි: රියෝ උණුසුම – කෙටි දුර ධාවන කිරුළට වෙනත් හිමිකරුවන් නොමැත
ඒ අනුව වසර 16කට පසු ජපානයේ ටෝකියෝ නුවරදී පිරිමී මීටර් 100, 200 සහ 100×4 ඉසව් වල රන් පදක්කම සඳහා සටනක් පවතිනු ඇති. මන්ද, උසෙයින් බෝල්ට් නම් ජැමෙයිකානු කඟවේනා, තමන් සම කල හැකි විශිෂ්ටයෙකු තුන් කල් ලොව බිහි නොවන බව ඔප්පු කරමින් ඔලිම්පික් රඟ මඬලින් සමුගත් නිසාවෙනි.

උසෙයින් බෝල්ට් විශිෂ්ටතමයා බව තහවුරු කිරීමට ඔහුගේ අවසන් තරගයේදී වගකීම පැවරුනේ අසාෆා පවෙල්, නිකෙල් අශ්මීඩ් සහ යොහාන් බ්ලේක් හටයි. තම ධාවන සගයාගේ ඔලිම්පික් සමුගැනීමේ සාදය සඳහා සව්දිය පිරීම නිසි අයුරින් සිදු කල ඔවුන් පළමු කොටස් තුනම හොඳ කාලයකින් අවසන් කරමින් අවසන් ධාවකයා වූ බෝල්ට් අතට යෂ්ටිය භාර දුන්නේ අනෙක් සියලු කණ්ඩායම් වලින් දැඩි අභියෝගයක් එල්ලවෙමින් පැවති අවස්ථාවකයි.

ජැමෙයිකානු කඟවේනාගේ අවසන් ඔලිම්පික් නාටකය තවත් රසවත් කල ජපන් ක්‍රීඩකයන් කෙටිදුර ධාවන ලෝකයේ ජැමෙයිකාවේ ප්‍රධානතම ප්‍රතිවාදීන් වන ඇමරිකාව මෙම ඉසව්වේ තුන්වන ස්ථානය දක්වා පහතට ඇද දමන්නට සමත්විය. නමුත් ඔවුන්ට ලෝකඩ පදක්කම හෝ හිමිනොවුනේ පළමු යෂ්ටි හුවමාරුවේදී අදාළ හුවමාරු කලාපය ඉක්මවා යාමේ වරදට ඔවුන් තරගයෙන් ඉවත් කල කණ්ඩායමක් ලෙසට විනිසුරුවන් විසින් නම් කිරීම හේතුවෙනුයි.
මේ අනුව මීටර් 200 අවසන් පූර්ව තරගයේදී උසෙයින් බෝල්ට් සමග අවසන් මීටර් කිහිපය තුල හාස්‍යජනක ධාවනයක යෙදෙමින් ලෝකයේ අවධානය දිනාගත් අන්ඩ්‍රෙ ඩි ග්‍රාස් ප්රමුඛ කැනේඩියානු කණ්ඩායමට ලෝකඩ පදක්කම හිමි විය.
18 හැවිරිදි යෞවනයෙක් ලෙස 2004 ඇතන්ස් ඔලිම්පික් උළෙලට එක්වුවත් ආබාධයක් හේතුවෙන් එහිදී ඔහු සහභාගීවූ එකම ඉසව්වේ පළමු වටයෙන් ඉවත් වුවත් එතැන් පටන් ඔලිම්පික් කෙලිබිමෙදී කිසිවෙකුටත් දෙවැනි නොවූ උසෙයින් ලියෝ බෝල්ට් යන නාමය මලල ක්‍රීඩාවේ විශිෂ්ටතමයා ලෙස සදාකල් වැජඹෙනු නොඅනුමානය.
වාසනාව ලැබූ ඇමරිකාව කාන්තා 100x4 ග්‍රහණය රඳවා ගනී.


ග්‍රීසිය කාන්තා රිටි පැනීමේ රන් පදක්කම දිනා ගනී.

චීනයට වටිනා රන් ජයක්

කාන්තා හොකී ජය මහා බ්‍රිතාන්‍යට

චීනයට ප්‍රබල අභියෝගයක්
2008 වසරෙන් පසු පළමු වරට පදක්කම් සටහනේ 3 වන ස්ථානය දිනා ගනිමින් ඔලිම්පික් උළෙල අවසන් කිරීමේ අවමානයෙන් ගැලවීම සඳහා චීනයට මහත් සටනක් දීමට සිදුව ඇත. ඒ මහා බ්‍රිතාන්‍ය කණ්ඩායමේ විශිෂ්ට දස්කම් හේතුවෙනුයි. මේ වනවිට චීනයට වඩා රන් පදක්කම් 2ක් සහ රිදී පදක්කම් 4ක් දිනා සිටින මහා බ්‍රිතාන්‍ය කණ්ඩායමට වඩා අවසන් දින 2 තුලදී රන් පදක්කම් 3ක් හෝ රන් පදක්කම් 2ක් සහ රිදී පදක්කම් 5ක් දිනා ගන්නට චීනයට නොහැකි වුවහොත් බ්‍රිතාන්‍ය ඔලිම්පික් ඉතිහාසයේ වසර 108කට පසු ඉහලම දස්කම සටහන් කරන්නට ඔවුන්ට හැකිවනු ඇති.
හෙටත් රියෝ උණුසුම රැගත් ලිපියකින් හමුවෙමු, ඔබට ක්‍රීඩාශීලී දවසක්!
– අද දිනට පදක්කම් සටහන –
තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට

























