ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ප්‍රීමා වයස අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ලීග් තරගාවලියේ අද (25) නිමා වූ තරගවල දී කොළඹ උතුර කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම ජයග්‍රහණ වාර්තා කිරිමට සමත් වුණා.
ඒ අතුරින් කොළඹ දකුණ සහ කොළඹ උතුර කණ්ඩායම් අතර පැවැති තරගයෙන් උතුර ක්‍රීඩකයෝ ජයග්‍රහණය කිරීමත් සමඟින් එතෙක් කොළඹ දකුණ ක්‍රීඩකයන් සතු කරගෙන සිටි අපරාජිත බව ගිලිහුණා.
ගාල්ල සහ මහනුවර අතර තරගය
කොළඹ වෙළඳ සේවා ක්‍රිකට් පිටියේ දී පැවැති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් ගාල්ල කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදීන්ට ලබා දුන් අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 228ක් ලබා ගත්තා. ඊට පළිතුරු ලෙසින් ගාල්ල කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 143ක් පමණයි. ඒ අනුව මහනුවර කණ්ඩායමට ලකුණු 85ක ජයග්‍රහණයක් හිමි වෙනවා.
ගාල්ල වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම
හිරුක අකලංක (නායක), හිරුන් මතීෂ, දියත් සංජිත, මොහොමඩ් ශිහාබ්, ගෙසඳු බිසස්, ලිනුවර සත්විඳු (කඩුලු රකින්නා), චෙනුල් මින්ලක, ගයුක කවිශ්ක, ගිහාන් ගිම්සර, මෙත්මිල් රශ්මික සහ කවීෂ ගයාශාන්,
මහනුවර වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම
ලකිඳු මෙවුල් (නායක), රන්දිදු නාරායන, අනුහස් ඩිල්ශාන්, රනෝදිත් විජේරත්න, සනිරු අනුහස් (කඩුලු රකින්නා), ශෂිත් බණ්ඩාර, මන්දිල් ගුණවර්ධන, ඉමන්ජිත් දිසානායක, ශතිර දෙනුවන්, තිනුලක රාජපක්ෂ සහ තරුෂ නිමන්ත.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මහනුවර ඉනිම වෙනුවෙන් රන්දිදු නානායක්කාර සහ ඉමන්ජිත් දිසානායක අර්ධ ශතක වාර්තා කළා. ඒ අනුව ආරම්භක පිතිකරු රන්දිදු නානායක්කාර පන්දු 104කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණ 53ක් ලබා ගත් අතර මහනුවර ඉනිම අවසන් වන විට ඉමන්ජිත් දිසානායක පන්දු 50කට මුහුණ දී හතරේ පහර 2ක් සහ හයේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 57ක් ලබා ගත්තා.
ඊට අමතර ව සෙනිරු අනුහස් ලකුණු 35ක් ද, මන්දිල් ගුණවර්ධන ලකුණු 25ක් ද සහ ශෂිත් බණ්ඩාර ලකුණු 23ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී ගෙසඳු බිසස්, මෙත්මිල් රශ්මික, කවීෂ ගයාශාන්, ගයුක කවිශ්ක සහ ගිහාන් ගිම්සර කඩුල්ල බැගින් දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ගාල්ල ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ගෙසඳු බිසස්. ඔහු පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 27ක් ලබා ගත්තා. ඊට අමතර ව ගයුක කවිශ්ක පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 21ක් ද ලබා ගත්තා.
ගාල්ල ඉනිමේ අවසන් කඩුල්ල වෙනුවෙන් පන්දු 67ක දී ලකුණු 38ක සබඳතාවක් එක් කිරීමට කවීෂ ගයාශාන් සහ ගිහාන් ගිම්සර සමත් වුණා. එහි දී කවීෂ ගයාශාන් පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 30ක් ද සහ ගිහාන් ගිම්සර පන්දු 43කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 19ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී තිනුලක රාජපක්ෂ සහ ලකිඳු මෙවුල් කඩුලු 3ක් බැගින් ද සහ ශතිර දෙනුවන් සහ ඉමන්ජිත් දිසානායක කඩුලු ද්විත්වය බැගින් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- මහනුවර වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – කඩුලු 6ක් දැවී 228 (50.0) රන්දිදු නාරායන 53, සනිරු අනුහස් 35, ශෂිත් බණ්ඩාර 23, මන්දිල් ගුණවර්ධන 25, ඉමන්ජිත් දිසානායක නොදැවී 57, ගෙසඳු බිසස් 1/16
- ගාල්ල වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 143 (47.4) ගෙසඳු බිසස් 27, ගයුක කවිශ්ක 21, ගිහාන් ගිම්සර නොදැවී 19, කවීෂ ගයාශාන් 20, තිනුලක රාජපක්ෂ 2/23. ඉමන්ජිත් දිසානායක 2/32, ශතිර දෙනුවන් 2/20, ලකිඳු මෙවුල් 3/29
මහනුවර වයස අවුරුදු 15න් පහළ කණ්ඩායමට ලකුණු 85ක ජයක්.
- Tier B තරගාවලියටත් SLC සූදානම්
- Usman Tariq කඩුලු ත්‍රිත්වයක් ලබා ගනිමින් සිම්බ්බාවේ පරාජය කරයි
- ශ්‍රී ලංකාවට තවත් දරුණු පරාජයක්
- දියාරු පිතිකරණය නිසා ශ්‍රී ලංකාව දරුණු පරාජයක්!
- පාකිස්තානයෙන් ජයග්‍රාහී ආරම්භයක්
කොළඹ උතුර සහ කොළඹ දකුණ අතර තරගය
කොළඹ විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් කොළඹ දකුණ ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස සියලුම දෙනා දැවී ලකුණු 119ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි කොළඹ උතුර කණ්ඩායම කඩුලු 9ක් දැවී ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගනිමින් තරගයෙන් කඩුල්ලක ජයග්‍රහණයක් ලබා ගන්නවා.
කොළඹ දකුණ වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම
මෙතුක ගුණරත්න (නායක), මෙනුර දිසානායක, ලිතුම් දේවසුරේන්ද්‍ර, මියුරු බණ්ඩාර, චෙනුක මිත්සර, රනුද රණසිංහ (කඩුලු රකින්නා), හමිඩ් අෆ්ඩාල්, නවිඳු ප්‍රනාන්දු, ඉමේෂ් චතුරංග සිල්වා, ගගන් ගමගේ සහ දෙනුවන් සත්ෂ්.
කොළඹ උතුර වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම
මිශික අබේවර්ධන (නායක), අබ්දුල් රහුමාන්, චේතිණ කාවින්ද, චනුක විදර්ශන, හෆීස් ජුන්කීර් (කඩුලු රකින්නා), චනුත් හරදස, සදිස කාවින්ද, ගෞර මින්සර, තිසඟ පෙරේරා, ඩිහේන් ජයතිලක සහ දෙසිඳු දින්සර,
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කොළඹ දකුණ ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 32ක් තුළ බිඳ වැටෙන අතර ඉනිමේ හොඳම ලකුණු සබඳතාව ගොඩ නැගෙන්නේ අවසන් කඩුල්ල වෙනුවෙන්. එහි දි දෙනුවන් සතිෂ් (නොදැවී 10) සහ ගගන් ගමගේ (18) එක් වෙන අතර ඔවුන් දෙදෙනා පන්දු 42ක දී ලකුණු 26ක සබඳතාවක් ගොඩ නගනවා.
ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ, හමීඩ් අෆ්ඩාල් පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 23ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී තිසඟ පෙරේරා ලකුණු 29කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරනවා. ඊට අමතර ව මිශික අබේවර්ධන, ඩිහේන් ජයතිලක සහ දෙසිඳු දින්සර කඩුලු 2ක් බැගින් දවා ගත් අතර සදිස කාවින්ද කඩුල්ලක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි කොළඹ උතුර කණ්ඩායම ජයග්‍රහණය කරා යන ගමනේ දී කඩුලු 9ක් අහිමි කර ගන්නා ලද අතර එහි දී වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු මිෂික අබේවර්ධන. ඔහු පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 28ක් ලබා ගත්තා. ඊට අමතර ව චනුත් හරදස ලකුණු 16ක් ද සහ අබ්දුල් රහුමාන් ලකුණු 15ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී ලිතුම් දේවසුරේන්ද්‍ර ලකුණු 30කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව නවිඳු ප්‍රනාන්දු කඩුලු 2ක් ද, දෙනුවන් සතිෂ් සහ ඉමේෂ් චතුරංග සිල්වා කඩුල්ල බැගින් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- කොළඹ දකුණ වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 119 (46.3) හමීඩ් අෆ්ඩාල් 23, ගගන් ගමගේ 18, තිසඟ පෙරේරා 3/29, දෙසිඳු දින්සර 2/23, මිෂික අබේවර්ධන 2/11, ඩිහේන් ජයතිලක 2/14
- කොළඹ උතුර වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – කඩුලු 9ක් දැවී 120 (36.3) මිෂික අබේවර්ධන 28, ලිතුම් දේවසුරේන්ද්‍ර 4/30, නවිඳු ප්‍රනාන්දු 2/19
කොළඹ උතුර වයස අවුරුදු 15න් පහළ කණ්ඩායමට කඩුල්ලක ජයක්.
තරගාවලියේ පළමු වටයේ අවසන් තරග මේ තරග ද්විත්වයත් සමඟින් අවසන් වූ අතර ඒ අනුව සැකසුන ප්‍රසාද ලකුණු පුවරුවේ මහනුවර, කොළඹ දකුණ, ගාල්ල සහ කොළඹ උතුර යන කණ්ඩායම් පිළිවෙළින් ලැයිස්තු ගත වුණා.
ඒ අනුව පැවැත්වෙන එම වටයේ අවසන් මහා තරග මේ මස 26 වැනිදා කොළඹ වෙළඳ සේවා ක්‍රිකට් පිටියේ දී ද සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය පිටියේ දී ද පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















