දිසස් බණ්ඩාර පළමු ශතකලාභියා වෙයි

Prima U 15 Sri Lanka Youth League 2025

3
Prima U 15 Sri Lanka Youth League 2025

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ප්‍රීමා වයස අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ලීග් තරගාවලිය ආරම්භක දිනයේ (19) දී ම තරගාවලියේ පළමු ශතකය ලබා ගැනීමට දඹුල්ල කණ්ඩායමේ දිසස් බණ්ඩාර සමත් වුණා.

ඔහුට අමතර ව ගාල්ල කණ්ඩායමේ ගෙසඳු බිසස් (52) සහ කොළඹ උතුර කණ්ඩායමේ චේතින කාවින්ද (53) ද අර්ධ ශතක ඉනිම් වාර්තා කළ අතර දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළේ ගාල්ල කණ්ඩායමේ කවීෂ ගයාශාන්.

ගාල්ල සහ කොළඹ දකුණ අතර තරගය

කොළඹ විශ්වවිද්‍යාලයීය පිටියේ දී පැවැති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් ගාල්ල කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 123ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ දකුණ ක්‍රීඩකයෝ කඩුලු 9ක් පමණක් දැවී ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගන්නවා.

ගාල්ල වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම

 

හිරුක අකලංක (නායක), චරණ චනුපති, හිරුන් මතීෂ, සෙතුජ මන්දිනු, නිශිත් තේජව, දියත් සංජිත, ලිනුවර සත්විඳු (කඩුලු රකින්නා), ගෙසඳු බිසස්, චෙනුල් මින්ලක, ගයුක කවිශ්ක සහ කවීෂ ගයාශාන්.

 

කොළඹ දකුණ වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම

 

මෙතුක ගුණරත්න (නායක), මෙනුර දිසානායක, ලිතුම් දේවසුරේන්ද්‍ර, මියුරු බණ්ඩාර, රනුද රණසිංහ (කඩුලු රකින්නා), නවිනු ප්‍රනාන්දු, හමීඩ් අෆ්ඩාල්, ආකාශ් දිසානායක, සනුග දුල්මික, දෙනුවන් සතිෂ් සහ ගගන් ගමගේ.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගාල්ල කණ්ඩායමේ ආරම්භය එතරම් ම සාර්ථක වූයේ නැහැ. ඔවුන්ගේ ඉනිමේ පළමු කඩුලු 5 ලකුණු 37ක් වෙද්දී දැවී යනවා. අනතුරු ව ලකුණු 47ක් වෙද්දී 6 වැනි කඩුල්ල ද දැවී යන අතර ඊට ගොදුරු වෙන්නේ ලිනුවර සත්විදු. ඔහු පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 14ක් ලබා ගන්නවා.

ඒ වෙද්දී පිටියේ රැඳී සිටි ගෙසඳු බිසස් ගාල්ල ඉනිමේ ලකුණු  වැඩිම ලකුණුලාභියා වෙමින් පන්දු 76කට මුහුණ දී හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 52ක් ලබා ගන්නවා. ඊට අමතර ව චෙනුල් මින්ලක පන්දු 41කට මුහුණ දෙමින් ලකුණු 13ක් ලබා ගත්තා. එම ඉනිමේ පිතිකරුවන් 8 දෙනෙක් ම දැවී යන්නේ තනි ලකුණක් පමණක් ලබා ගනිමිනුයි.

කඩුලු දවා ගැනීමේ දී ගගන් ගමගේ ලකුණු 26කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව සනුග දුල්මික, හමීඩ් අෆ්ඩාල් සහ ආකාශ් දිසානායක කඩුලු ද්විත්වය බැගින් ද සහ නවිනු ප්‍රනාන්දු කඩුල්ලක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි කොළඹ දකුණු කණ්ඩායමේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 58ක දී ලකුණු 50ක සබඳතාවක් එක් කිරීමට මෙනුර දිසානායක සහ ලිතුම් දේවසුරේන්ද්‍ර සමත් වෙනවා. මෙනුර දිසානායක පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 31ක් ලබා ගත් අතර ලිතුම් දේවසුරේන්ද්‍ර පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 27ක් ලබා ගත්තා.

ඉන් අනතුරු ව කොළඹ උතුර කණ්ඩායමේ කඩුලු කිහිපයක් ම එක ළඟ දවා ගනිමින් තරගයේ වාසිය තමන් දෙසට හරවා ගැනීමට ගාල්ල ක්‍රීඩකයෝ සමත් වෙනවා. එම තත්ත්වයෙන් යම් තරමකට හෝ මිදෙන්නේ නවිනු ප්‍රනාන්දු සහ රනුද රණසිංහ (13) එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 57ක දී ලකුණු 24ක් ද සහ නවිනු ප්‍රනාන්දු සහ හමිඩ් අෆ්ඩාල් එක් ව 6 වැනි කඩුල්ලට පන්දු 56ක දී ලකුණු 22ක් ද ලබා ගැනීමත් සමඟයි.

නවිනු ප්‍රනාන්දු පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 20කට දැවී ගිය අතර ඒ සමඟින් තවත් කඩුලු 3ක් ලකුණු 2ක දී දැවී යනවා. ඒ වෙද්දී එම ඉනිම කියැවුණේ කඩුලු 9ක් දැවී ලකුණු 113ක් ලෙසයි.

නමුත් අවසන් කඩුල්ලේ දී තරගය ජයග්‍රහණය කරා රැගෙන යෑමට හමිඩ් අෆ්ඩාල් සහ ගගන් ගමගේ සමත් වෙනවා. එහි දී හමිඩ් අෆ්ඩාල් පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 20ක් ලබා සිටි අතර ගගන් ගමගේ පන්දු 2ක දී හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 4ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී කවීෂ ගයාශාන් ලකුණු 23කට කඩුලු 4ක් දවා ගත් අතර චෙනුල් මින්ලක, හිරුක් අකලංක, නිශිත් තේජව සහ ගෙසඳු බිසස් කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ගාල්ල වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 123 (38.1) ගෙසඳු බිසස් 52, හමිඩ් අෆ්ඩාල් 2/20, ගගන් ගමගේ 3/26, සනුග දුල්මික 2/11, ආකාශ් දිසානායක 2/23

 

කොළඹ දකුණ වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – කඩුලු 9ක් දැවී 125 (40.2) මෙනුර දිසානායක 31, ලිතුම් දේවසුරේන්ද්‍ර 27, නවිනු ප්‍රනාන්දු 20, හමිඩ් අෆ්ඩාල් නොදැවී 20, කවීෂ ගයාශාන් 4/23

කොළඹ දකුණ වයස අවුරුදු 15න් පහළ කණ්ඩායමට කඩුල්ලක ජයක්.

කොළඹ උතුර සහ දඹුල්ල අතර තරගය

කොළඹ මැලේ ක්‍රිකට් සමාජ පිටියේ දී පැවැති මෙම තරගය පන්දුවාර 38කට සීමා වුණා. ඒ පෙර දින ඇද වැටී තිබූ වර්ෂාව හේතුවෙනුයි. ඒ අනුව සීමා වූ මෙම කාසියේ වාසිය දිනා ගත් දඹුල්ල කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කොළඹ උතුර ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 209ක් ලබා ගන්නා ලද අතර ඊට පිළිතුරු ලෙසින් දඹුල්ල ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ කඩුලු 5ක්  දැවී ලකුණු 201ක් පමණයි.

කොළඹ උතුර වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම

 

මිශික අබේවර්ධන (නායක), ගිත්ම ඉමදිත්, ජනදීප ඔකාශ්, චේතින කාවින්ද, හෆීස් ජුන්කීර් (කඩුලු රකින්නා), සෙහඳු සමරවීර, සදිස කාවින්ද, අබ්දුල් රහුමාන්, ශෙනුක් නිලේෂ්, සදෙව් දෙව්මිණ සහ දෙසිඳු දින්සර.

 

දඹුල්ල වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම

 

යුමාල් එගොඩගේ (නායක), උදර්ශ දිනුජය, දිසස් බණ්ඩාර (කඩුලු රකින්නා), තරුක්ෂ ද සිල්වා, සංතෝෂ ගුණසේකර, පබසර වනසිංහ, රසිඳු ආකර්ශ, සිතිජ නෙත්සර, විතුන් රත්නකුමාර, ගිම්හාන් මිකෙල් සහ නෙසද වීරසේකර.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කොළඹ උතුර කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ චේතින කාවින්ද. ඔහු පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 53ක් ලබා ගත්තා.

ඊට අමතර ව හෆීස් ජුන්කීර් පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 35ක් ලබා ගත් අතර ආරම්භක පිතිකරු ජනදීප ඔකාශ් පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 27ක් ද සහ සදීස කාවින්ද පන්දු 12ක දී හයේ පහර 3ක් සමඟින් ලකුණු 23ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී රසිඳු ආකර්ශ සහ නෙසඳ වීරසිංහ කඩුලු 3 බැගින් ද සහ පබසර වනසිංහ, සිතිජ නෙත්සර සහ යුමාල් එගොඩගේ කඩුල්ල බැගින් ද දවා ගන්නවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දඹුල්ල කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 7 දී අහිමි වූව ද 2 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 97ක දී ලකුණු 57ක් එක් කිරීමට දිසස් බණ්ඩාර සහ තරුෂ්ක ද සිල්වා සමත් වෙනවා. එහි දී තරුෂ්ක ද සිල්වා පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 25ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී යනවා.

අනතුරු ව 3 වැනි කඩුල්ල වෙනුවෙන් දිසස් බණ්ඩාර සහ සන්තෝෂ් ගුණසේකර එක් ව තවත් පන්දු 82ක දී ලකුණු 92ක සබඳතාවක් එක් කරනවා. එම සබඳතාව බිඳ වැටෙන්නේ සන්තෝෂ් ගුණසේකර ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 39ක් ලබා සිටියා.

සිව් වැනි කඩුල්ල වෙනුවෙන් ද එක් වූ දිසස් බණ්ඩාර, පබසර වනසිංහ සමඟ එක් වෙමින් පන්දු 26ක දී ලකුණු 33ක් ලබා ගන්නවා. ඒ වෙද්දී පබසර වනසිංහ පන්දු 14ක දී හයේ පහර 2ක් සමඟින් ලකුණු 16ක් ලබා ගත්තා. ඒ දැවී යෑමත් සමඟින් දඹුලු ඉනිමේ තවත් කඩුල්ලක් දැවී යන අතර අවසන් පන්දුවාරයේ දී ඔවුන්ට ජයග්‍රහණය සඳහා ලකුණු 21ක් අවශ්‍ය වූ අතර එහි දී පන්දුවට මුහුණ දෙමින් සිටි දිසස් බණ්ඩාර ට ලබා ගැනීමට හැකි වූයේ හයේ පහර 2කින් යුත් ලකුණු 12ක් පමණයි.

ඉනිම ඒ ලෙසින් අවසන් වෙද්දී දිසස් බණ්ඩාර පන්දු 106කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 101ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී සදිස කාවින්ද ලකුණු 21කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව අබ්දුල් රහුමාන් සහ දෙසිඳු දින්සර කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

කොළඹ උතුර වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – කඩුලු 9ක් දැවී 209 (38.0) ජනදීප ඔකාශ් 27, චේතින කාවින්ද 53, හෆීස් ජුන්කීර් 35, සදිශ කාවින්ද 23, රසිඳු ආකාශ 3/30, නෙසාද් වීරසේකර 3/39

 

දඹුල්ල වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – කඩුලු 5ක් දැවී 201 (38.0) දිසස් බණ්ඩාර නොදැවී 101, තරුෂ්ක ද සිල්වා 25, සංතෝෂ් ගුණසේකර 39, සදිශ කාවින්ද 2/21

කොළඹ උතුර වයස අවුරුදු 15න් පහළ කණ්ඩායමට ලකුණු 8ක ජයක්.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<