ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ ප්‍රීමා වයස අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ලීග් තරගාවලියේ 2025 වසරේ ශූරයන් බවට පත් වීමට කොළඹ දකුණ වයස අවුරුදු 15න් පහළ ක්‍රීඩකයෝ සමත් වුණා.
මෙම තරගාවලියේ අවසන් මහා තරගය කොළඹ වෙළඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී (19) අවසන් වූ අතර එහි දී ඔවුන් මහනුවර කණ්ඩායමට එරෙහි ව ලකුණු 80ක ජයග්‍රහණයක් ලබා ගනිමින් මෙම ශූරතාව දිනා ගත්තා.
මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් කොළඹ දකුණ වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් සියලුම දෙනා දැවී ලකුණු 197ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි මහනුවර වයස අවුරුදු 15න් පහළ ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 117ක් පමණයි.
මහනුවර වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම
ලකිඳු මෙවුල් (නායක), රන්දිදු නාරායන, උසුල උදාරක, සවිත විතානගේ, සනිරු අනුහස් (කඩුලු රකින්නා), මන්දිල් ගුණවර්ධන, ශෂිත් බණ්ඩාර, ඉමන්ජිත් දිසානායක, ශතිර දෙනුවන්, තරුෂ නිමන්ත සහ තිනුලක රාජපක්ෂ.
කොළඹ දකුණ වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම
මෙතුක ගුණරත්න (නායක), මෙනුර දිසානායක, මියුරු බණ්ඩාර, චෙනුක මිත්සර, ලිතුම් දේවසුරේන්ද්‍ර, රනුද රණසිංහ (කඩුලු රකින්නා), හමිඩ් අෆ්ඩාල්, ගගන් ගමගේ, සනුග දුල්මික, දෙනුවන් සතිෂ් සහ නවිනු ප්‍රනාන්දු.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කොළඹ දකුණ වයස අවුරුදු 15න් පහළ කණ්ඩායමේ ආරම්භක කඩුලු ත්‍රිත්වය ලකුණු 39ක් වෙද්දී දැවී ගිය ද සිව් වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 76ක දී ලකුණු 50ක සබඳතාවක් එක් කිරීමට චෙනුක මිත්සර සහ මියුරු බණ්ඩාර සමත් වෙනවා.
ආරම්භක පිතිකරු මියුරු බණ්ඩාර පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 41කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.
අනතුරු ව 5 වැනි කඩුල්ලට චෙනුක මින්සර දැවී යන අතර ඒ වෙද්දී ඔහු පන්දු 83කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 37ක් ලබා සිටියා. ඒ වෙද්දී කොළඹ දකුණ ඉනිම ලකුණු 132ක් ව පැවැතියා.
ඉනිමේ 6 වැනි කඩුල්ලට රනුද රණසිංහ දැවී යන අතර ඒ වෙද්දී ඔහු පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 33ක් ලබා සිටියා.
කොළඹ දකුණ ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 37ක් තුළ දැවී ගිය අතර පසු පෙළින් පිටියට පිවිසි සනුග දුල්මික පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 24ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී ආරම්භක පන්දු යැවූ තිනුලක රාජපක්ෂ ලකුණු 40කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව ශතිර දෙනුවන් කඩුලු 2ක් ද, තරුෂ නිමන්ත, ඉමන්ජිත් දිසානායක සහ ලකිඳු මෙවුල් කඩුල්ල බැගින් ද දවා ගත්තා.
- ශ්‍රී ලංකා යෞවනයන් ආසියානු කුසලානයෙන් ඉවතට
- කොළඹ දකුණ සහ මහනුවර අවසන් මහා තරගයට
- කොළඹ දකුණේ අපරාජිත බව ගැලවේ
- ගාල්ල සහ කොළඹ දකුණ නැවතත් ජයග්‍රහණ වාර්තා කරයි
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මහනුවර වයස අවුරුදු 15න් පහළ කණ්ඩායමේ ආරම්භය කිසිසේත් ම සාර්ථක වූයේ නැහැ. ඔවුන්ගේ ලකුණු පුවරුවට ලකුණු 50ක් පිවිසීමට පෙර කඩුලු 7ක් ම දැවී යනවා.
ඒ ආකාරයෙන් ආසර්ථක වූ එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ශෂිත බණ්ඩාර. ඔහු පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 41ක් ලබා ගත්තා. ඊට අමතර ව සවිත විතානගේ පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 22ක් ලබා ගත්තා.
මහනුවර ඉනිමේ අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට නොහැකි වූ අතර කඩුලු දවා ගැනීමේ දී දෙනුවන් සතිශ් සහ ලිතුම් දේවසුරේන්ද්‍ර කඩුලු ද්විත්වය බැගින් ද, නවිනු ප්‍රනාන්දු, හමීඩ් අෆ්ඩාල්, සනුග දුල්මික සහ ගගන ගමගේ කඩුල්ල බැගින් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- කොළඹ දකුණ වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 197 (50.0) මියුරු බණ්ඩාර 41, චෙනුක මිත්සර 37, රනුද රණසිංහ 33, සනුග දුල්මික 24, තිනුලක රාජපක්ෂ 3/40, ශතිර දෙනුවන් 2/28,
- මහනුවර වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 117 (42.0) සවිතු විතානගේ 22, ශෂිත බණ්ඩාර නොදැවී 41, දෙනුවන් සතිශ් 2/08, ලිතුම් දේවසුරේන්ද්‍ර 2/20
කොළඹ උතුර වයස අවුරුදු 15න් පහළ කණ්ඩායමට ලකුණු 80ක ජයක්.
- තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – සතිර දෙනුවන් (මහනුවර)
- තරගාවලියේ දක්ෂතම පිතිකරු – ගෙසඳු බිසස් (ගාල්ල)
- අවසන් මහා තරගයේ වීරයා – රනුද රණසිංහ (කොළඹ දකුණ)
- තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා – ගෙසඳු බිසස් (ගාල්ල)
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<



















