ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයාට ICCයෙන් චෝදනා

ICC Anti-Corruption Code

122

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් චෝදනා තුනක් ගොනු කර තිබෙනවා.  

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී සංග්‍රහයේ කරුණු උල්ලංඝනය කිරීම ඔහුට මෙම චෝදනා ගොනු කර ඇත්තේ 2021 වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය තුළ තරග පාවාදීමක් සම්බන්ධයෙන් ලැබූ ආරාධනාවක් පිළිබඳ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ප්‍රමාදයකින් තොරව දැනුම් දීමට අපොහොසත් වීම නිසයි. 

එමෙන්ම එම තරග පාවාදීමේ යෝජනාවන්ට අදාළ කෙටි පණිවිඩ සියල්ල ඔහු මකා දමා ඇති බව ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන අතර ඔහුට එම චෝදනාවන්ට පිළිතුරු ලබා දීම සඳහා දින 14ක කාලයක් ලබා දී තිබෙනවා.  

විසි පස්වැනි වියෙහි පසුවන ප්‍රවීන් ජයවික්‍රම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග 15ක් මේ දක්වා ක්‍රීඩා කර තිබෙන අතර ඔහුට දූෂණ විරෝධී සංග්‍රහයේ පහත කරුණු ඔස්සේ චෝදනා ගොනු කර තිබෙනවා. 

  1. 2.4.4. වගන්තිය – ජාත්‍යන්තර තරග පවාදීම සඳහා ඔහුට ලැබූ ආරාධනාවන් පිළිබඳ කිසිඳු ප්‍රමාදයකින් තොරව දූෂණ ඒකක නිලධාරීන් දැනුවත් කිරීමට අපොහොසත් වීම. 
  2. 2.4.4. වගන්තිය – 2021 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරඟ පවාදීමක් සම්බණ්ධයෙන් වෙනත් ක්‍රීඩකයෙකු සම්බන්ධ කර දෙන ලෙස ඔහුට ලැබූ ප්‍රවේශයක් ප්‍රමාදයකින් තොරව දූෂණ ඒකකයට වාර්තා නොකිරීම. 
  3. 2.4.7 වගන්තිය – පවාදීම ඇතුළු ක්‍රියාවල නිරත වීමට ලැබූ ආරාධනාවන් ඇතුළත් පණිවිඩ මකා දමමින් අදාළ විමර්ෂනයන්ට බාධා පැමිණවීම.  
  4. 7.4.1 සහ 1.8.1 වගන්ති වලට අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීතීන් සහ රේගුලාසි වලට අනුව ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී කටයුතු කරන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එකඟ වී තිබෙනවා.  

ටෙස්ට් පන්දු යවන්නෙකු ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ආරම්භ කළ ප්‍රවීන් ජයවික්‍රම අවසන් වරට 2022 වසරේ ඔස්ස්ට්‍රේලියාව සමඟ පැවැති විස්සයි විස්ස තරගයේ දී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළා. 

දෙස්, විදෙස් ක්‍රිකට් පිටියේ උණුසුම් තතු විත්තිඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<