කාන්තා ප්‍රිමියර් ලීග් දෙවන කාණ්ඩයේ පාපන්දු තරගාවලියේ අවසන් තරගයේදී කෝට්ටේ පාපන්දු සමාජය ගෝල 3-0ක් ලෙස පරාජය කරමින් පොල්ගහවෙල එක්සත් පාපන්දු කණ්ඩායම එහි ශූරතාවය දිනා ගැනීමට සමත් විය. තරගය කැළණිය ක්‍රීඩාංගනයේදී පැවැත්විය. 

තිහාරිය යූත්, කෝට්ටේ, කුරුණෑගල සහ පොල්ගහවෙල ක්‍රීඩිකාවෝ අවසන් පූර්ව තරගයට

ප්‍රිමියර් ලීග් කාන්තා පාපන්දු තරගාවලියේ දෙවැනි කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට තිහාරිය යූත්, කෝට්ටේ, කුරුණෑගල සහ පොල්ගහවෙල යන ක්‍රීඩා සමාජය සමත් විය.

තරගයේ මුල් අවධියේ සිටම මැදපෙළ ආධිපත්‍ය හැසිරවූ පොල්ගහවෙල ක්‍රීඩිකාවන් ඉදිරියට ගෙන යන්නට සමත් වූයේ චලනි ඒකනායක 13 වැනි මිනිත්තුවේදී ලබාගත් ගෝලයත් සමඟිනි.

පසුව දෙපිලෙන්ම දිස්වූයේ අස්ථාවර ක්‍රීඩා ශෛලියක් වූ අතර එස්.එල්. මානගේ නැවතත් පොල්ගහවෙල කණ්ඩායම ගෝලයකින් ඉදිරියට ගෙනයන තෙක් කිසිදු විශේෂ සිදුවීමක් වාර්තා නොවිණි.

පළමු අර්ධය: පොල්ගහවෙල එක්සත් ක්‍රීඩා සමාජය 2-0 කෝට්ටේ ක්‍රීඩා සමාජය

දෙවන අර්ධයේදී ද දෙපිලෙන්ම පන්දුව ලබා ගැනීමේ සටනක් පමණක් දිස්වූ අතර කෝට්ටේ කණ්ඩායම ප්‍රතිවාදී ගෝලය ආසන්නයේදී එකදු හෝ උත්සාහයක් ගැනීමට අසමත් විය. ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුම ආබාධ තත්වයන් වලට ලක්වූ බැවින් තරග කාලයට බාධා සිදුවූ නමුත් චලනි ඒකනායක යළිත් ප්‍රතිවාදී ගෝල රකින්නියට ඉහළින් පන්දුව ගෝලය වෙත පාකර හැරියාය.

තරගය අවසන් වූයේ දෙවන කාණ්ඩයේ කාන්තා පාපන්දු තරගාවලියේ ශූරතාවය පොල්ගහවෙල එක්සත් ක්‍රීඩා සමාජය වෙත පවරමිනි.

සම්පූර්ණ කාලය: පොල්ගහවෙල එක්සත් ක්‍රීඩා සමාජය 3-0 කෝට්ටේ ක්‍රීඩා සමාජය

සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වූයේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා සහ ලේකම්, බාලේන්ද්‍ර ඇන්තනී යන මහත්වරුන් සහ සම්මේලනයේ විධායක කමිටු සාමාජිකයන්ගේද සහභාගීත්වයෙනි.

කෝට්ටේ ක්‍රීඩා සමාජයේ පුහුණුකරු එස්.සී. බුද්ධික මහතා තරගයෙන් අනතුරුව පැවසුවේ,

“මේ වසරේ අවසන් තරගයට සුදුසුකම් ලැබීම ගැන මට සතුටුයි. මේ තරගාවලිය සඳහාමයි අපි මේ කණ්ඩායම නිර්මාණය කළේ. කණ්ඩායමේ දක්ෂතා ගැන මම සතුටු වෙනවා. අපේ පසුපෙළ ක්‍රීඩිකාවන්ට සිදුවුනේ ක්‍රීඩා කරනවාට වඩා ආබාධවලට ප්‍රතිකාර කිරීමයි. පළමු ගෝලය නම් සීමා නීති උල්ලංඝනය වීමක් බවයි මගේ මතය, නමුත් සමස්තයක් හැටියට අද අපේ දිනය නොවෙයි.”

ThePapare.com සමඟින් අදහස් දැක්වූ පොල්ගහවෙල එක්සත් කණ්ඩායමේ පුහුණුකරු ලියෝ ප්‍රනාන්දු පැවසුවේ,

“සියල්ල සැලසුම් කළ විදියටම සිද්ධ වුණා, ඒ වගේම මට සතුටුයි කණ්ඩායම එය ක්‍රියාත්මක කිරීම ගැන. මගේ කණ්ඩායම ගැන මට සතුටුයි, හැමදේටම වඩා සතුටුයි මේ තරගය හොඳ පරතරයකින් ජයග්‍රහණය කිරීම ගැන.”

ThePapare.com තරගයේ වීරවරිය – චලනි ඒකනායක.

අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – චලනි ඒකනායක (පොල්ගහවෙල එක්සත්)

දක්ෂතම ගෝල රකින්නිය – නිසංකා වීරසිංහ (පොල්ගහවෙල එක්සත්)

ගෝල වාර්තා කළ ක්‍රීඩිකාවන්

පොල්ගහවෙල එක්සත් – චලනි ඒකනායක 13′ & 62′, එස්.එල්. මානගේ 21′.

  තවත් පාපන්දු ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට