තෙවැනි දිනය වැස්සට බිලි වෙද්දී ධනා ශතකයට ආසන්න වෙයි!

76
Dhananjaya de Silva
(AP Photo/Anjum Naveed)

දශකයකට පසුව පාකිස්තානයට උදාවූ ටෙස්ට් ක්‍රිකට් වසන්තය මේ වනවිට වර්ෂාව විසින් බිලි ගන්නා බවක් පෙනෙන්නට තිබේ. ඒ දෙරට අතර පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනයත් (13) සම්පූර්ණ වශයෙන්ම පාහේ වැස්සට සේදී යාමත් සමඟයි. ඒ අනුව මෙම තරගයේ තීරණයක් ලබා ගැනීමට ඉතිරිව ඇති දින දෙක ප්‍රමාණවත් නොවනු ඇති බව පෙනෙන්නට තිබේ.

අද උදෑසන තරගය ආරම්භ වන වේලාව වනවිට කාසියේ වාසිය දිනාගෙන මුලින් පන්දුවට පහර දීම තෝරාගත් ශ්‍රී ලංකා පිළ කඩුලු 6ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 263කි. ඒ මුල් දින දෙකේ දී ද ඔවුන් වර්ෂාව මැද ලකුණු රැස්කළ බැවිනි. අද උදෑසන සිටම රාවල්පින්ඩි ක්‍රීඩාංගණය අවට තිබූ අයහපත් කාලගුණික තත්ත්වය නිසා තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට ද හැකි නොවීය.

ඒ වනවිට පිටියේ රැඳී සිටි ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා බලාපොරොත්තු තවදුරටත් ඉහළ නංවමින් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 72කි. ලකුණු 33ක් ලබා සිටි නිරෝෂන් දික්වැල්ල ඊයේ සන්ධ්‍යාවේ දැවී යාම නිසා පිටියට පිවිසි දිල්රුවන් පෙරේරා ඒ වනවිට ලබා සිටියේ ලකුණු 2ක් පමණි. කෙසේවෙතත් දිවා ආහාරය දක්වා එකදි පන්දුවාරයක් හෝ ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ මෙම තරගයේ අද දිනය පුරාවට යැවීමට හැකි වූයේ තේ පානයට පෙර යැවූ පන්දුවාර 5ක් පමණි!

එහිදී තරමක් ආක්‍රමණශීලී වූ ධනංජය ද සිල්වා අද තම ලකුණු සංඛ්‍යාව 87ක් දක්වා ඉහළ දමා ගත්තේ හෙට දිනයේ ශතකයක් කරා යාමට හොඳ අවස්ථාවක් ද හිමිකර ගනිමිනි. ඒ අතරතුර ඔහු හතරේ පහර 13ක් එල්ල කිරීමට සමත් විය. අනෙක් අන්තයේ නොදැවී රැඳී සිටින දිල්රුවන් පෙරේරා තවමත් රැස් කරගෙන සිටින්නේ ලකුණු 6ක් පමණි. මේ අනුව ශ්‍රී ලංකා පිළේ මුළු ලකුණු සංඛ්‍යාව අද දිනයේ කඩුලු 6කට ලකුණු 282ක් දක්වා වර්ධනය විය.

ඉන් අනතුරුව විනිසුරුවරුන්ට ආලෝක තත්ත්වය පිලිබඳ සෑහීමකට පත් වීමට නොහැකි වූ නිසා තරගය හෙටට කල් දැමීම හැර වෙනත් විකල්පයක් ඉතිරිව තිබුනේ නැත. කෙසේවෙතත් හෙට සහ අනිද්දා දිනයන් දෙකේ දී රාවල්පින්ඩි ක්‍රීඩාංගණය අවට කාලගුණය තරමක් යහපත් බව වාර්තා වන නිසා ප්‍රේක්ෂකයින්ට ක්‍රීඩාවේ අසිරිය විඳීමට යම් අවස්ථාවක් උදා වීමට ඉඩකඩ තිබේ. ඒ අතරතුර පූර්ණ තරග ප්‍රතිඵලයක් වාර්තා වීමට නම් පන්දු යවන්නන් ඇදහිය නොහැකි තරමේ දක්ෂතා අතරට පැමිණීමද අනිවාර්ය වනු ඇත.

ශ්‍රී ලංකා (පළමු ඉනිම) – කඩුලු 6ක් දැවී ලකුණු 282 (පන්දුවාර 91.5)

ධනංජය ද සිල්වා 87*, දිමුත් කරුණාරත්න 59, ඕෂධ ප්‍රනාන්දු 40, නිරෝෂන් දික්වැල්ල 33, ඇන්ජෙලෝ මැතිව්ස් 31, කුසල් මෙන්ඩිස් 10, ශහීන් අෆ්රිඩි 2/47, නසීම් ශාහ් 2/75.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<