දසුන්, Salman සහ Raza ගේ තුන්කොන් අභියෝගය

Pakistan T20I Tri-Series 2025/26

134
Pakistan T20I Tri-Series 2025/26

පාකිස්තානය, සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව සහභාගී වන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය මේ මස 18 වැනිදා සිට 29 වැනිදා දක්වා පාකිස්තානයේ දී පැවැත්වීමට නියමිතයි.

තරග කාලසටහන

  • නොවැම්බර් 18 වැනිදා

1 වැනි තරගය – පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර (රාත්‍රී) Rawalpindi හි දී.

  • නොවැම්බර් 20 වැනිදා

2 වැනි තරගය – ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර (රාත්‍රී) Rawalpindi හි දී.

  • නොවැම්බර් 22 වැනිදා

3 වැනි තරගය – පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර (රාත්‍රී) Rawalpindi හි දී.

  • නොවැම්බර් 23 වැනිදා

4 වැනි තරගය – පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර (රාත්‍රී) Rawalpindi හි දී.

  • නොවැම්බර් 25 වැනිදා

5 වැනි තරගය – ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර (රාත්‍රී) Rawalpindi හි දී.

  • නොවැම්බර් 27 වැනිදා

6 වැනි තරගය – පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර (රාත්‍රී) Rawalpindi හි දී.

  • නොවැම්බර් 29 වැනිදා

අවසන් මහා තරගය, අතර (රාත්‍රී) Rawalpindi හි දී.

ශ්‍රී ලංකාව

චරිත් අසලංක ගේ නායකත්වයෙන් යුතුව පාකිස්තාන සංචාරයට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ විස්සයි විස්ස තරගාවලියේ නායකත්වය දසුන් ශානකට හිමි වී තිබෙනවා. ඒ නිත්‍ය නායක චරිත් අසලංක අසනීප තත්ත්වයේ පසුවෙන හේතුවෙනුයි.

දසුන් ශානක 2019 වසරේ සිට 2023 වසර දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 48කට නායකත්වය දී ඇති අතර ඉන් තරග 22ක් ජයග්‍රහණය කරමින් ද, තරග 2ක් විසඳුමකින් තොරව ද සහ තරග 24ක් පරාජය ලබමින් ද අවසන් කර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ නායකත්වයේ වෙනසත් සමඟින් ඔවුන් මෙම තරගාවලිය සඳහා එක් වෙන්නේ පසුගිය සැප්තැම්බර් මාසයේ දී නිමා වූ ආසියානු කුසලාන තරගාවලියෙන් අනතුරුවයි.

නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට මෙරට විස්සයි විස්ස තරග පිටියේ මේ වන විට වැඩිම ලකුණුලාභීන්ගෙන් පළමු තිදෙනා අතර සිටින කුසල් ජනිත් පෙරේරා, පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් ද ඇතුලත්.

එමෙන් ම විස්සයි විස්ස පිටියේ වැඩිම කඩුලුලාභීයා වන වනිඳු හසරංග, 3 වැනියා වන දුෂ්මන්ත චමීර සහ 5 වැනියා වන මහීෂ් තීක්ෂණ ද මෙම කණ්ඩායම නියෝජනය කරනවා.

ඊට අමතර ව මේ වසරේ ජනවාරියේ දී නවසීලන්තයට එරෙහි ව විස්සයි විස්ස තරග පිටියට එක් වීමෙන් අනතුරු ව නැවත වතාවක් ශ්‍රී ලංකා කණ්ඩායම හා එක් වීමට භානුක රාජපක්ෂ භාග්‍යවත් වී තිබෙනවා. ඊට අමතර ව පාකිස්තානය හා සමඟ පැවැති අවසන් එක්දින තරගයේ දී ජාත්‍යන්තර එක්දින මංගල වරම් දිනා ගත් පවන් රත්නායක ද සහ මෙතෙක් එක්දින ජාත්‍යන්තර තරග 7කට පමණක් ක්‍රීඩා කර ඇති ඒශාන් මාලිංග ද විස්සයි විස්ස පිටියට කෝඩුකාරයන් ලෙසින් මෙම කණ්ඩායම හා එක් වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම

 

දසුන් ශානක (නායක), කුසල් මෙන්ඩිස්, කමිල් මිෂාර, පැතුම් නිස්සංක, කුසල් පෙරේරා, භානුක රාජපක්ෂ, පවන් රත්නායක, වනිඳු හසරංග, දුශාන් හේමන්ත, ජනිත් ලියනගේ, කමිඳු මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර, ඒශාන් මාලිංග, මහීෂ් තීක්ෂණ, නුවන් තුෂාර.

පාකිස්තානය

පාකිස්තාන කණ්ඩායම මෙම තරගාවලිය සඳහා එක් වෙන්නේ මේ මස ආරම්භයේ දී දකුණු අප්‍රිකාව සමඟින් පාකිස්තානයේ දී ම පැවැති විස්සයි විස්ස තරගාවලියකට එක් වීමෙන් අනතුරුවයි. එහි දී ඔවුන් තරග 2-1ක් ලෙසින් තරගාවලිය ජයග්‍රහණය කිරීමට ද සමත් වෙනවා.

ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් විස්සයි විස්ස තරගයක් සඳහා අවසන් වරට හමුව ඇත්තේ ආසියානු කුසලාන තරගාවලියේදී වන අතර සිම්බාබ්වේ කණ්ඩායමක් හමුවෙන්නේ 2024 වසරේ දෙසැම්බරයේ දී පාකිස්තාන කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරයේදීයි. එම තරගාවලියේ දී පාකිස්තානය  2-1ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා.

31 වැනි වියේ පසුවෙන Salman Agha වෙත සුපුරුදු ලෙසින් ම පාකිස්තාන කණ්ඩායමේ නායකත්වයට නම් කර තිබෙන අතර ඔහුත් සමඟින් පළපුරුදු ක්‍රීඩකයන් වන Babar Azam, Fakhar Zaman සහ Shaheen Shah Afridi ද මෙම කණ්ඩායම නියෝජනය කරනවා.

පාකිස්තානය කණ්ඩායම් සංයුතිය

 

Salman Agha (නායක), Abdul Samad, Babar Azam, Fakhar Zaman, Sahibzada Farhan, Saim Ayub, Usman Khan, Faheem Ashraf, Mohammad Nawaz, Abrar Ahmed, Mohammad Wasim, Naseem Shah, Salman Mirza, Shaheen Shah Afridi, Usman Tariq.

සිම්බාබ්වේ

සිම්බාබ්වේ කණ්ඩායම මෙම තරගාවලිය සඳහා එක් වෙන්නේ මේ ඔක්තෝබර් අවසන් සතියේ දී ආරම්භ වූ ඇෆ්ගනිස්තානය සමඟින් තරග ත්‍රිත්වයකින් යුත් විස්සයි විස්ස තරගාවලියකට සහභාගී වීමෙන් පසුවයි. එම තරගාවලියේ දී සිම්බාබ්වේ කණ්ඩායමට සිදු වූවේ ප්‍රතිවාදීන්ගේ 3-0ක දරුණු ප්‍රහාරයකට ලක් වීමටයි.

කණ්ඩායමේ නායකත්වය සුපුරුදු ලෙසින් ම Sikandar Raza නම් කර ඇති අතර ඔහු මෙම තරගාවලිය සඳහා එක් වෙන්නේ විස්සයි විස්ස ජාත්‍යන්තර කඩුලු ශතකයක් වාර්තා කිරීමට කඩුල්ලක් පිටු පස සිටිමිනුයි.

ඔහුට අමතර ව මෙම කණ්ඩායමට පළපුරුදු ක්‍රීඩකයන් වන Brendan Taylor, Brian Bennett, Ryan Burl, Richard Ngarava සහ Wellington Masakadza වැනි ක්‍රීඩකයෝ ද මෙම කණ්ඩායම නියෝජනය කරනවා.

එමෙන් ම මෙම කණ්ඩායම වෙනුවෙන් 19 හැවිරිදි වියේ පසුවෙන වමතින් වේග පන්දු යවන Newman Nyamhuri ද නම් කර තිබෙනවා. ඔහු මේ දක්වා සිම්බාබ්වේ කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් සහ එක්දින ජාත්‍යන්තර තරග 4ක් බැගින් ක්‍රීඩා කර ඇති අතර එකඳු හෝ විස්සයි විස්ස තරගයක් ක්‍රීඩා කර නැහැ.

සිම්බාබ්වේ කණ්ඩායමක් ශ්‍රී ලංකාව සමඟින් අවසන් වරට විස්සයි විස්ස තරගාවලියකට එක් ව ඇත්තේ මේ වසරේ සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරයේදීයි. තරග 3කින් යුත් එම තරගාවලිය තරග 2-1ක් ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරනවා.

සිම්බාබ්වේ කණ්ඩායම් සංචිතය

 

Sikandar Raza (නායක), Clive Madande, Tadiwanashe Marumani, Dion Myers,  Brendan Taylor, Brian Bennett, Ryan Burl, Brad Evans, Tony Munyonga, Tashinga Musekiwa, Graeme Cremer, Tinotenda Maposa, Wellington Masakadza, Richard Ngarava, Newman Nyamhuri.

පාකිස්තාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැදී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare.com සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<