ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ 3 වැනි දිනය වූ අද (29) දවස අවසන් වන විට ප්‍රතිවාදී දඹුලු ක්‍රීඩකයන්ට වඩා ලකුණු 196ක් ඉදිරියෙන් පසුවීමට ගාලු ක්‍රීඩකයෝ සමත් වුනා.
කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ගාල්ල කණ්ඩායම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 370ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් දඹුලු කණ්ඩායමට තම පළමු ඉනිමට ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 313ක් පමණයි. ඉන් අනතුරු ව 2 වැනි ඉනිමට පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගාල්ල කණ්ඩායම තරගය 3 වැනි දිනයට නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 139ක් ලබා සිටියා.
තරගයේ 3 වැනි දිනය වූ අද දවස ආරම්භ වෙන්නේ තම පළමු ඉනිමට ක්‍රීඩා කරන දඹුලු කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 154ක් ලබා සිටියදීයි. එම ඉනිමේ පෙර දිනයේ දී නොදැවී ලකුණු 18ක් ලබා සිටි විශාද් රන්දික අද ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 7 වැනි ශතකය වාර්තා කිරීමට සමත් වෙනවා.
ඔහු අවසන් කඩුල්ල ලෙසින් දැවී යන විට පන්දු 186කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 124ක් ලබා සිටියා.
ඔහුගේ එම ඉනිමේ දී 6 වැනි කඩුල්ල වෙනුවෙන් චමිඳු විජේසිංහ (28) ද එක් කර ගනිමින් පන්දු 129ක දී ලකුණු 80ක සබඳතාවක් ද, 7 වැනි කඩුල්ල වෙනුවෙන් ඉනුක කරන්නාගොඩ (4) සමඟ එක් වෙමින් පන්දු 76ක දී ලකුණු 37ක සබඳතාවක් ද සහ 9 වැනි කඩුල්ල වෙනුවෙන් මොහොමඩ් ශිරාස් (11) සමඟ එක් වෙමින් පන්දු 65ක දී ලකුණු 50ක සබඳතාවක් ද ගොඩ නගනවා.
කඩුලු දවා ගැනීමේ දී නිම්සර අතරගල්ල ලකුණු 101කට කඩුලු 5ක් දවා ගත් අතර ඔහුට අමතර ව විජයකාන්ත වියස්කාන්ත් කඩුලු 2ක් ද, දුනිත් වෙල්ලාලගේ සහ රමේෂ් මෙන්ඩිස් කඩුල්ල බැගින් ද දවා ගත්තා.
- ඔෂද, ශිරාස් සහ නිම්සර දක්ෂතා දක්වයි
- මිලාන් සහ පවන් ශ්‍රී ලංකාව ශූරතාව කරා රැගෙන යයි!
- Major Club විස්සයි විස්ස තරගාවලියට දින නියම කරයි
- තරිඳු සහ ලක්වින් ලකුණු 410ක සබඳතාවක් ගොඩනගයි
ලකුණු 57ක් ඉදිරියෙන් සිටිමින් තම 2 වැනි ඉනිමට පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගාලු ඉනිමේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 30ක් වෙද්දී දවා ගැනීමට දඹුලු ක්‍රීඩකයෝ සමත් වෙනවා. ඊට පසුව දිනේෂ් චන්දිමාල් සහ නිපුන් ධනංජය එක් ව 3 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 112ක දී ලකුණු 61ක සබඳතාවක් එක් කරමින් නැවත ගාලු කණ්ඩායම තරගයට ප්‍රවිශ්ඨ කරනවා.
නිපුන් ධනංජය පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 22කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන අතර ඉන් පසුව අවිශ්ක පෙරේරා ද ලකුණු 13කට තම ඉනිම අහිමි කර ගන්නවා.
තරගය 3 වැනි දිනයට නතර කරන විට දිනේෂ් චන්දිමාල් පන්දු 97කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 54ක් ද සහ දුනිත් වෙල්ලාලගේ පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 18ක් ද ලබා සිටියා.
පන්දු යැවීමේ දී මොහොමඩ් ශිරාස් කඩුලු ද්විත්වයක් දවා ගත් අතර ඉනුක කරන්ගොඩ සහ විශ්ව ප්‍රනාන්දු කඩුල්ල බැගිනුත් දවා ගෙන තිබුණා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ගාල්ල – පළමු ඉනිම සියලුම දෙනා දැවී 370 (96.2)ඔෂද ප්‍රනාන්දු 120, දිනේෂ් චන්දිමාල් 80, අවිශ්ක පෙරේරා 26, දුනිත් වෙල්ලාලගේ 34, රමේෂ් මෙන්ඩිස් 31, සංතුශ් ගුණතිලක 39, මොහොමඩ් ශිරාස් 4/92, අකිල ධනංජය 2/92
- දඹුල්ල – පළමු ඉනිම සියලුම දෙනා දැවී 313 (84.2)රොන් චන්ද්‍රගුප්ත 65, සම්මු අශාන් 35, විශාද් රන්දික 124, චමිඳු විජේසිංහ 28, නිම්සර අතරගල්ල 5/101, විජයකාන්ත් වියස්කාන්ත් 2/28
- ගාල්ල– දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 139 (44.0)දිනේෂ් චන්දිමාල් නොදැවී 54, නිපුන් ධනංජය 22, දුනිත් වෙල්ලාලගේ නොදැවී 18, මොහොමඩ් ශිරාස් 2/17
මෙම තරගය හෙට (30) 4 වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මකයි.
National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.