ධනංජය, පවන් සහ තරිඳු දක්ෂතා දක්වයි

National Super League 4 day Tournament 2025

120
NSL - 28th March

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ 3 වැනි සතියේ 2 වැනි දිනයේ දී (28) දඹුල්ල කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා සහ පවන් රත්නායක ශතක ලබා ගැනීම කැපී පෙණුන අතර පන්දු යැවීමේ දී යාපනය කණ්ඩායමේ තරිඳු රත්නායක කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

  • කොළඹ සහ දඹුල්ල අතර තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත් කොළඹ ක්‍රීඩකයෝ පළමු දිනය අවසන් වන විට කඩුලු 9ක් දැවී ලකුණු 300ක් ලබා සිටි අතර ඔවුන්ගේ ඉනිම අද එම ලකුණු සංඛ්‍යායෙන් ම අවස් වූවා.

ඉන් අනතුරු ව පිටියට පිවිසි දඹුල්ල ක්‍රීඩකයෝ තරගය 2 වැනි දිනයට අවසන් වන විට කඩුලු 4ක් දැවී ලකුණු 341ක් ලබා සිටියා. එම ඉනිම වෙනුවෙන් නායක ධනංජය ද සිල්වා සහ පවන් රත්නායක ශතක ලබා ගැනීම කැපී පෙණුනා.

ධනංජය ද සිල්වා පන්දු 186කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 134ක් ලබා ගෙන සිටිය දී පත් ආබාධිත තත්වයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වූවා. පවන් රත්නායක පන්දු 237කට මුහුණ දෙමින් හතරේ පහර 20ක් සමඟින් ලකුණු 151ක් ලබා ගත්තා. මෙය ධනංජය ද සිල්වා ගේ පළමු පෙළ තරග දිවියේ 26 වැනි වැනි ශතකය වූ අතර පවන් රත්නායකගේ පළමු පෙළ තරග දිවියේ 9 වැනි ශතකයයි.

 ඔවුන් දෙදෙනා විසින් 4 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 379ක දී ලකුණු 263ක සබඳතාවක් එක් කිරීමට පවන් රත්නායක සහ ධනංජය ද සිල්වා සමත් වෙනවා.

කඩුලු දවා ගැනීමේ දී ප්‍රමෝද් මදුශාන් කඩුලු 2ක් දවා ගත් අතර ධනංජය ලක්ෂාන් සහ කසුන් රාජිත් කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • කොළඹ – පළමු ඉනිම සියලුම දෙනා දැවී 300 (76.2) අසිත වන්නිනායක 38, චරිත් අසලංක 43, කුසල් මෙන්ඩිස් 119, ලහිරු මදුශංක 43, මොහොමඩ් ශිරාස් 2/48, දුලාජ් සමුදිත 2/70, අකිල ධනංජය 3/91
  • දඹුල්ල – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 341 (81.0) ධනංජය ද සිල්වා 134, පවන් රත්නායක නොදැවී 151, ප්‍රමෝද් මදුශාන් 2/78

මෙම තරගය (29) 3 වැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

 

  • මහනුවර සහ යාපනය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය දිනූ මහනුවර කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි යාපනය ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 201ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 332ක් ලබා ගන්නවා.

පෙර දිනයේ මහනුවර කණ්ඩායම වෙනුවෙන් නොදැවී ලකුණු 28ක් ලබා සිටි ජනිශ්ක පෙරේරා තම ඉනිම ශතකයකට ලකුණු 3ක් මෙපිටින් සිටිය දී නතර කර ගන්නවා. ඔහු දවසේ සිව් වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 137කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් ලකුණු 97ක් ලබා සිටියා.

ඊට අමතර ව මහනුවර කණ්ඩායම වෙනුවෙන් නායක සහන් ආරච්චිගේ පන්දු 104කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 45ක් ද සහ චමිඳු වික්‍රමසිංහ පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 44ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී තරිඳු රත්නායක ලකුණු 99කට කඩුලු 5ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව අසංක මනෝජ් කඩුලු 3ක් ද සහ ජනිත් ලියනගේ කඩුලු 2ක් ද දවා ගත්තා.

ලකුණු 131ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි යාපනය ක්‍රීඩකයෝ තරගයේ 2 වැනි දිනය අවසන් වන විට කඩුල්ලක් දැවී ලකුණු 31ක් ලබා සිටියා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • යාපනය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 201 (68.1) රවිඳු රසාන්ත 97, අංජල බණ්ඩාර 28, තරිඳු රත්නායක 21, චමිඳු වික්‍රමසිංහ 5/54, සහන් ආරච්චිගේ 2/20
  • මහනුවර – පළමු ඉනිම සියලුම දෙනා දැවී 332 (85.1) ජනිශ්ක පෙරේරා 97, කමිල් මිෂාර 27, සහන් ආරච්චිගේ 45, සෙහොන් ද ලිවේරා 25, චමිඳු වික්‍රමසිංහ 44, ශිරාන් ප්‍රනාන්දු 38, කවිශ්ක අංජුල 3/64, තරිඳු රත්නායක 5/99, ජනිත් ලියනගේ 2/27
  • යාපනය – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 31 (10.0) ශෙවොන් ඩැනියෙල් 23

මෙම තරගය (29) 3 වැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<