අංජල දඹුල්ල බබලවද්දී, රමේෂ් ගාලු ඉනිමට මුක්කු ගසයි

National Super League 4-Day Tournament 2026

3
National Super League 4-Day Tournament 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ පළමු සතියේ 2 වැනි දිනයේ දී රමේෂ් මෙන්ඩිස්, සම්මු අශාන්, රවිඳු රසාන්ත සහ තරිඳු අමරසිංහ අර්ධ ශතක ඉනිම් වාර්තා කළ අතර අංජල බණ්ඩාරගේ ඉනිම ශතකයකට මෙපිටින් නතර වෙයි.

ගාල්ල සහ මහනුවර අතර තරගය, දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ගාල්ල ක්‍රීඩකයෝ තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 260ක් ලබා ගත්තා.

ඔවුන් අද (7) තම ඉනිම ආරම්භ කරන්නේ කඩුලු 7ක් දැවී ලකුණු 179ක් ලෙසින් ලකුණු පුවරුව දැක්වෙද්දීයි. පෙර දිනයේ නොදැවී ලකුණු 11ක් ලබා සිටි රමේෂ් මෙන්ඩිස් අද අවසන් කඩුල්ලට දැවී යද්දී පන්දු 116කට මුහුණ දෙමින් ලකුණු 70ක් ලබා සිටි අතර ගාලු ඉනිමට ගෞරවනීය ලකුණු පුවරුවක් ද ගොඩ නැගුවා.

ඔහුට අමතර ව ඉසිත විජේසුන්දර පන්දු 81කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 27ක් ලබා ගත් අතර ඔවුන් දෙදෙනා එක් ව 8 වැනි කඩුල්ලට පන්දු 140කදී එක් කළ ලකුණු සබඳතාව 60ක්.

කඩුලු දවා ගැනීමේ දී චාමික ගුණසේකර ලකුණු 45කට කඩුලු 5ක් දවා ගත් අතර ඊට අමතර ව දුලාජ් සමුදිත කඩුලු 3ක් ද සහ ජෙෆ්රි වැන්ඩර්සේ කඩුලු 2ක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මහනුවර ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ඉදිරි පෙළ පිතිකරුවන්ට නොහැකි වෙනවා. එහිදී පිළිවෙළින් ලහිරු උදාර (11), පවන්ත වීරසිංහ (15) සහ චාමික හීනටිගල (18)ට ප්‍රතිවාදීන් ඉදිරියේ අඩු ලකුණුවලට තම ඉනිම් සීමා කර ගැනීමට සිදු වෙනවා.

මෙතෙක් ක්‍රියාත්මක මහනුවර කණ්ඩායමේ වැඩි ම ලකුණුලාභියා වී ඇත්තේ සම්මු අශාන්. ඔහු පන්දු 89කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 52ක් ලබා ගත්තා.

ඊට අමතර ව අශේන් බණ්ඩාර පන්දු 82කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 28ක් ද, සොහාන් ද ලිවේරා පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 20ක් ද ලබා ගත්තා.

තරගය 2 වැනි දිනයට නතර කරන විට චාමික කරුණාරත්න පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 34ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී ඉසිත විජේසුන්දර ලකුණු 55කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව අසංක මනෝජ් කඩුලු 2ක් ද සහ රමේෂ් මෙන්ඩිස් කඩුල්ලක් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ගාල්ල – පළමු ඉනිම සියලුම දෙනා දැවී 260 (80.2)ඔෂද ප්‍රනාන්දු 84, පසිඳු සූරියබණ්ඩාර 33, රමේෂ් මෙන්ඩිස් 70, ඉසිත විජේසුන්දර 27, දුලාජ් සමුදිත 3/51, චාමික ගුණසේකර 5/45, ජෙෆ්රි වැන්ඩර්සේ 2/39
  • මහනුවර කණ්ඩායම – කඩුලු 7ක් දැවී 199 (54.0)සම්මු අශාන් 52, අශේන් බණ්ඩාර 28, සොහාන් ද ලිවේරා 20, චාමික කරුණාරත්න නොදැවී 34, ඉසිත විජේසුන්දර 4/55, අසංක මනෝජ් 2/47

මහනුවර කණ්ඩායම ලකුණු 61ක් පිටුපසින්

දඹුල්ල සහ කොළඹ අතර තරගය, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් දඹුල්ල නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායම සතු කර ගත් අතර ඒ අනුව ඔවුන් තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 308ක් ලබා ගන්නවා.

ඔවුන් අද (7) තරගය ආරම්භ කරන්නේ කඩුලු 6ක් දැවී ලකුණු 280ක් ලබා සිටිදීයි.

තරගය පළමු දිනයට නතර කරන විට නොදැවී ලකුණු 53ක් ලබා සිටි අංජල බණ්ඩාර ඉනිමේ 8 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 186කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 95ක් ලබා සිටියා.

ඊට අමතර ව කවිඳු පතිරත්න පන්දු 113කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 49ක් ද සහ ඉනිම අවසන් වන විට අකිල ධනංජය පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 26ක් ද ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී ප්‍රභාත් ජයසූරිය ලකුණු 110කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව ජනිත් ලියනගේ සහ චමෝද් බට්ටගේ කඩුලු ද්විත්වය බැගින් ද, ධනංජය ලක්ෂාන් සහ කසුන් රාජිත කඩුල්ල බැගින් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම ආරම්භ කළ රවිඳු රසාන්ත සහ තරිඳු අමරසිංහ තම කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා ගන්නවා. ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ලට එක්කළ ලකුණු සබඳතාව 101ක්.

පන්දු 130කින් එක් වූ එම සබඳතාව බිඳි යන්නේ තරිඳු අමරසිංහ ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 52ක් ලබා සිටියා.

රවිඳුරසාන්ත 2 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 130කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 69ක් ලබා සිටියා.

තරගය 2 වැනි දිනයට නතර කරද්දී ධනංජය ලක්ෂාන් නොදැවී ලකුණු 19ක් ලබා සිටි අතර සැඳෑ ආරක්ෂකයා ලෙසින් පිටියට පිවිසි ප්‍රභාත් ජයසූරිය නොදැවී ලකුණු 2ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේදී ඉනිමේ දැවී ගිය කඩුලු ද්විත්වය ම ශක්ති උදාර ට හිමි වුණා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • දඹුල්ල – පළමු ඉනිම සියලුම දෙනා දැවී 408 (120.0)නිශාන් මදුශ්ක 97, තනුක දාබරේ 56, කවින් බණ්ඩාර 25, අංජල බණ්ඩාර 95, කවිඳු පතිරත්න 49, අකිල දනංජය නොදැවී 26, චමෝද් බට්ටගේ 2/57, ප්‍රභාත් ජයසූරිය 3/110, ජනිත් ලියනගේ 2/28
  • කොළඹ කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 153 (39.0)රවිඳු රසාන්ත 69, තරිඳු අමරසිංහ 52, ශක්ති උදාර 2/29

කොළඹ කණ්ඩායම ලකුණු 255ක් පිටුපසින්.

මෙම තරග ද්විත්වය හෙට (8) 3 වැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.

National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<