නවසීලන්තය දැනටමත් ලකුණු 305ක් ඉදිරියෙන්

806

ක්‍රයිස්චර්ච් හෙග්ලි ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේ (27) දිවා විවේකයට පෙර ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 104කට සීමා කළ නවසීලන්ත ක්‍රීඩකයෝ තම දෙවැනි ඉනිමට කඩුලු 2ක් දැවී ලකුණු 231ක් ලබා ගනිමින් තරගයේ පාලනය සම්පූර්ණයෙන් තමන් සන්තක කර ගත්හ.

පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 178ක් පමණි. මේ වෙද්දී ඔවුන් තවත් කඩුලු 8ක් අතැතිව ශ්‍රී ලංකාවට වඩා ලකුණු 305ක් ඉදිරියෙන් පසු වෙති.  

පෙර දිනය අවසාන වන විට ශ්‍රී ලංකා ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 88ක් ලෙසින් කියැවුණි. ඒ වෙද්දී ඇන්ජලෝ මැතිව්ස් (27*) සහ රොෂේන් සිල්වා (15*) පිටියේ නොදැවී රැඳී සිටිය ද අද (27) තවත් ලකුණු 16ක් පමණක් ඉනිමට එක් වෙද්දී සියලු දෙනා ක්‍රීඩා විවේකාරයේ අසුන් ගැන්වීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ.

ඇන්ජලෝ සහ රොෂේන් සුසංයෝගයට අද වැඩි වේලාවක් එක් ව ගත කිරීමට ට්‍රෙන්ට් බෝල්ට් ඉඩ තැබුවේ නැත. දිනයේ යැවුණ 5 වැනි පන්දුවාරයේ දී ශ්‍රී ලංකා ඉනිමේ 5 වැනි කඩුල්ල දැවී ගියේ ය. ඒ රොෂේන් සිල්වාගේ කඩුල්ල අහිමි වීමෙනි. ඔහු දැවී යන විට පන්දු 63කට මුහුණ දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 21ක් ලබා සිටියේ ය.

බොක්සිං දිනයේ දී ලක්මාල් සහ ටීම් සවුති එකිනෙකා ගැටෙති

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන…

වමතින් වේගපන්දු යවන ට්‍රෙන්ට් බෝල්ට් එතැන් සිට දැවී ගිය සෑම කඩුල්ලකම හිමිකාරිත්වය තමන් සතු කර ගත්තේ ය. ඔහු ශ්‍රී ලංකා ඉනිම නිමා වන විට ලකුණු 30කට කඩුලු 6ක් දවා ගෙන සිටියේ ය. එය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ හොඳම පන්දු යැවීම ලෙසින් වාර්තා විය. ඊට පෙර ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන්ව තිබුණේ එංගලන්තයට එරෙහිව මේ වසරේ මාර්තුවේ දී ලකුණු 32කට ලබා ගත් කඩුලු 6යි.

අද දැවී ගිය පිතිකරුවන් අතුරින් රොෂේන් සිල්වා හැරෙන්නට ලකුණු ලබා ගත් පිතිකරුවෙක්ට සිටියේ නිරෝෂන් දික්වැල්ල පමණි. ඔහු පන්දු 3කට මුහුණ දී ලකුණු 4ක් එක් කළේය. ඩිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර සහ ලහිරු කුමාර කිසිදු ලකුණක් ලබා ගැනීමට පෙර ක්‍රීඩා විවේකාගාරය වෙත හරවා යැවීමට ට්‍රෙන්ට් බෝල්ට් සමත් විය. මේ සෑම පිතිකරුවෙක්ම කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට බෝල්ට්ට හැකි විය.

බෝල්ට් අද දවසේ දී මේ කඩුලු 6 ලබා ගැනීම වෙනුවෙන් වැය කළේ පන්දු 15ක් පමණක් කැපී පෙණුනි. ලබා දුන් ලකුණු සංඛ්‍යාව 4කි.

තරුණ ක්‍රිකට් ක්‍රීඩකයාට අත්වූ අවාසනාවන්ත ඉරණම

පසුගිය දෙසැම්බර් 23 වැනිදා ඉන්දියාවේ මුම්බායි හී සැහැල්ලු පන්දු තරගාවලියක් අතරතුර ….

ශ්‍රී ලංකා ඉනිමේ එක් අන්තයක් සහමුලින් ම අසාර්ථක වෙද්දී ඇන්ජලෝ මැතිව්ස් තමන්ගේ අන්තය ආරක්ෂා කර ගනිමින් ශ්‍රී ලංකා ඉනිම අවසන් වෙන විට නොදැවී ලකුණු 33ක් ලබා සිටියේ ය. ඔහු පන්දු 88කට මුහුණ දී සිටි අතර හතරේ පහර 3ක් තම ඉනිමට ඇතුළත් කර ගෙන සිටියේ ය.

 

ලකුණු 74ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිම ආරම්භ කළ නවසීලන්ත ක්‍රීඩකයෝ තරගය දෙවැනි දිනයට අවසන් කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 231ක් ලබා සිටිය හ.

ඔවුන්ගේ ආරම්භක කඩුල්ලේ සබඳතාව 121ක් විය. ජිට් රාවල් සහ ටොම් ලේතම් ඉනිම ආරම්භ කළ අතර ඔවුන් දෙදෙනා දිවා විවේකය වෙන විට ලකුණු 36ක් ලබා සිටිය හ. අනතුරු කාර්තුවේ දී ද ඔවුන්ගේ සබඳතාව නතර කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට කිසිදු අවස්ථාවක් නොවුණි. තේ විවේකය වෙද්දී ජෙට් රාවල් තමන්ගේ ටෙස්ට් තරග දිවියේ 7 වැනි අර්ධ ශතකය වාර්තා කර ගෙන සිටියේ ය. ඒ වෙද්දී නවසීලන්ත ඉනිම කිසිවෙක් නොදැවී 117ක් ලබා සිටිය හ.

තේ විවේකයෙන් අනතුරුව යැවුණ දෙවැනි පන්දු වාරයේ දී ජිට් රාවල්ගේ ඉනිම අවසන් කිරීමට ඩිල්රුවන් පෙරේරා සමත් වූයේ කුසල් මෙන්ඩිස් ගේ සහයෝගය ද ඇතිව ය. ඒ වෙද්දී ජිට් රාවල් පන්දු 162කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 74ක් ලබා සිටියේ ය.

බොක්සිං දින ටෙස්ට් තරගයේ දී දෙරටේ ඉරණම විසඳෙයි ද?

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර …

අනතුරුව ටොම් ලේතම් හා එක් වූයේ නායක කේන් විලියම්සන් ය. ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ලට ලකුණු 68ක් එක් වෙද්දී නායකයාගේ ඉනිම අවසන් කිරීමට ලහිරු කුමාර සමත් විය. ඒ අවස්ථාවේ ද සහාය වූයේ කුසල් මෙන්ඩිස් ය. කෙන් විලියම්සන් පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 48ක් ලබා ගත්තේ ය.

තරගයේ දෙවැනි දිනයට බේල්ස් ඉවත් කෙරෙන විට ටොම් ලේතම් පන්දු 213කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 74ක් ලබා සිටියේ ය.  ඔහු අද රැස් කළේ තම ටෙස්ට් තරග දිවියේ 16 වැනි අර්ධ ශතකයයි. අනෙක් අන්තයෙන් රොස් ටේලර් පන්දු 27කට මුහුණ දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 25ක් ලබා සිටියේ ය.

හෙට (28) තරගයේ තෙවැනි දිනයයි.

නවසීලන්තය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 178 (50): රොස් ටේලර් 27, බී. ජේ. වොට්ලින්ග් 46, ටිම් සවුති 68, සුරංග ලක්මාල් 5/54, ලහිරු කුමාර 3/49

ශ්‍රී ලංකාව; පළමු ඉනිම සියලුම දෙනා දැවී 104 (41): ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 33, රොෂේන් සිල්වා 21, ට්‍රෙන්ට් බෝල්ට් 6/30, ට්ටිම් සවුති 3/35

නවසීලන්තය; දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 231 (79): ජීට් රාවල් 74, ටොම් ලේතම් නොදැවී 74, කේන් විලියම්සන් 48, රොස් ටේලර් නොදැවී 25

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<