NSL පිටියේ රණ ශූරයෝ

National Super League 4 day Tournament 2025

131
National Super League 4 day Tournament 2025

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ National Super League සිව් දින ක්‍රිකට් තරගාවලිය පසුගියදා නිමා වෙන්නේ රමේෂ් මෙන්ඩිස් ගේ නායකත්වයෙන් යුත් ගාල්ල කණ්ඩායම ජයග්‍රහණය කරමිනුයි.

කොළඹ එස් .එස්. සී. ක්‍රීඩාංගණයේ දී පැවැති අවසන් මහා තරගයේ ප්‍රතිවාදීන් වූ ධනංජය ද සිල්වා ගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායමට එරෙහි ව පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගනිමින් ඔවුන් මෙම කුසලානයට පිට පිට දෙවැනි වරටත් හිමිකම් කියනවා.

මෙම කණ්ඩායම් ද්විත්වය මෙවර තරගාවලියේ අවසන් මහා තරගයට එක් වෙන විට ගාල්ල කණ්ඩායම පසුගිය වසරේ ශූරයන් ලෙසත් සහ දඹුල්ල කණ්ඩායම 2023 වසරේ ශූරයන් ලෙසත් අභිශේක ලබා තිබුණා.

  • මෙවර තරගාවලියේ ගමන් මඟ
  Team 1 Team 2 Results Venue
1 යාපනය කොළඹ කොළඹ කණ්ඩායමට ලකුණු 87ක ජයක්. ගාල්ල
2 ගාල්ල මහනුවර තරගයේ විසඳුමක් නෑ. සූරියවැව
3 දඹුල්ල ගාල්ල ගාල්ල කණ්ඩායමට ලකුණු 145ක ජයක්. ගාල්ල
4 කොළඹ මහනුවර තරගයේ විසඳුමක් නෑ. සූරියවැව
5 මහනුවර යාපනය තරගයේ විසඳුමක් නෑ. කොළඹ
6 කොළඹ දඹුල්ල දඹුල්ල කණ්ඩායමට කඩුලු 8ක ජයක්. දඹුල්ල
7 මහනුවර දඹුල්ල දඹුල්ල කණ්ඩායමට කඩුලු 4ක ජයක්. කොළඹ
8 යාපනය ගාල්ල තරගයේ විසඳුමක් නෑ. සූරියවැව
9 ගාල්ල කොළඹ තරගයේ විසඳුමක් නෑ. දඹුල්ල
10 දඹුල්ල යාපනය තරගයේ විසඳුමක් නෑ. පල්ලෙකැලේ
අවසන් මහා තරගය
11 දඹුල්ල ගාල්ල තරගයේ විසඳුමක් නෑ. එස්. එස්. සී.

තරගාවලිය මේ ලෙසින් නිමා වෙද්දී ගාල්ල කණ්ඩායම මෙවර තරගාවලියේ කණ්ඩායමක් ලැබූ ඉහළ ලකුණු සංඛ්‍යාව ලබා ගැනීමට ද සමත් වීම කැපි පෙණුනා. ඔවුන් මෙම දක්ෂතාව දක්වන්නේ සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී මහනුවර කණ්ඩායමට එරෙහි ව කඩුලු 9ක් දැවී ලකුණු 602ක් ලබා ගනිමිනුයි.

එමෙන් ම ඔවුන් මෙවර තරගාවලියේ කණ්ඩායමක් වාර්තා කරන ලද ඉහළ ම ජයග්‍රහණය ද වාර්තා කිරීමට සමත් වෙනවා. ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දඹුල්ල කණ්ඩායමට එරෙහි ව ලකුණු 145ක ජයග්‍රහණයක් ලබා ගනිමිනුයි.

ඊට අමතර ව ඔවුන් මෙවර තරගාවලියේ වැඩිම අතිරේක ලකුණු ප්‍රමාණයක් ප්‍රතිවාදීන්ට ලබා දුන් කණ්ඩායම ලෙසින් ද ලැයිස්තු ගත වුනා. ඔවුන් සූරියවැව දී පැවැති යාපනය හා සමඟ තරගයේ දී අතිරේක ලකුණු 32ක් ලබා දෙනවා.

NSL 1

ගාල්ල කණ්ඩායම ලැබූ මෙම ජයග්‍රහණයේ දී වැඩිම ලකුණු ලැබූ පිතිකරුවන් 10 දෙනා අතර පිතිකරුවෝ සිව් දෙනෙක් ම ලැයිස්තු ගත වීම විශේෂත්වයක්. එහි දී 2 වැනි ස්ථානය නායක රමේෂ් මෙන්ඩිස් විසින් ද, 3 වැනි ස්ථානය දිනේෂ් චන්දිමාල් විසින් ද, 4 වැනි ස්ථානය ඔෂද ප්‍රනාන්දු විසින් ද සහ 7 වැනි ස්ථානය නිපුන් ධනංජය විසින් ද හිමි කර ගන්නවා.

තරගාවලියේ පන්දු යැවීමේ ක්‍රීඩකයන් ලැයිස්තු ගත කිරීමේ දී ද එහි පළමු 10 දෙනා අතරට ගාල්ල කණ්ඩායමෙන් දෙදෙනෙක් ඇතුලත් වෙනවා. එහි 2 වැනි ස්ථානය දුනිත් වෙල්ලාලගේ විසින් ද සහ 5 වැනි ස්ථානය දිලුම් සුදීර විසින් ද හිමිකර ගන්නවා.

  • තරගාවලියේ වීරයා සහ තරගාවලියේ දක්ෂත ම පන්දු යවන්නා – අකිල ධනංජය (දඹුල්ල)

NSL 2

මෙවර තරගාවලියේ ඉහළ ම දක්ෂතා දැක් වූ ක්‍රීඩකයන් අතර පෙරමුණ ගැනීමට දඹුල්ල කණ්ඩායම නියෝජනය කළ 31 හැවිරිදි වියේ පසුවෙන අකිල ධනංජය සමත් වෙනවා. තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක් වූ අකිල ධනංජයගේ දක්ෂතා වර්ගීකරණ වෙන්නේ දකුණතින් දඟ පන්දු යවමින් තරග 5ක ඉනිම් 9ක දී කඩුලු 37ක් සහ වමත් පිතිකරුවෙක් ලෙසින් තරග 5ක ඉනිම් 6ක දී ලකුණු 76ක් ලෙසිනුයි.

එම දක්ෂතා අතරට ඔහු ඉනිමක කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් ලබා ගත් අවස්ථා 5ක් වාර්තා කිරීමට ද සමත් වෙනවා. එහි හොඳම පන්දු යැවීම බවට පත් වෙන්නේ ගාල්ල කණ්ඩායමට එරෙහි ව ගාල්ලේ දී ලකුණු 83කට ලබා ගත් කඩුලු 7යි.

එම තරගයේ දී 2 වැනි ඉනිමේ දී ද ලකුණු 80කට කඩුලු 5ක් දවා ගන්නා අකිල මෙවර තරගාවලියේ තමන් විසින් තරගයක යැවුණ හොඳම පන්දු යැවීම ද ඒ අනුව වාර්තා කරනවා. ඒ ලකුණු 163කට කඩුලු 12ක් දවා ගනිමිනුයි. මෙම අවස්ථා ද්විත්වය ම මෙවර තරගාවලියේ පන්දු යවන්නෙක් විසින් ඉනිමක සහ තරගයක පෑ ඉහළ ම දක්ෂතාවන් බවට ද පත් වෙනවා.

ඊට අමතර ව ඔහු කොළඹ කණ්ඩායමට එරෙහි ව තරගයේ දී ලකුණු 195කට කඩුලු 10ක් සහ මහනුවර කණ්ඩායමට එරෙහි ව තරගයේ දී ලකුණු 227කට කඩුලු 10ක් ලෙසින් ද දවා ගනිමින් දක්ෂතා දක්වනවා.

  • තරගාවලියේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නන් 5 දෙනා
  Player Team Mat O M R Wkts BBI Ave 4 5
1 අකිල ධනංජය දඹුල්ල 5 256.4 22 939 37 7/83 25.37 5
2 දුනිත් වෙල්ලාලගේ ගාල්ල 5 92.2 13 285 15 6/26 19.00 1 1
3 ශිරාන් ප්‍රනාන්දු මහනුවර 3 89.3 17 321 15 4/49 21.40 1
4 සහන් නානායක්කාර මහනුවර 3 147.0 22 496 13 3/18 38.15
5 දිලුම් සුදීර ගාල්ල 4 85.0 10 304 12 5/60 25.33 1 1

මෙම ලැයිස්තුවේ කඩුලු 15ක් ලබා ගනිමින් 2 වැනි අසුනට හිමිකම් කියන්නේ ගාල්ල කණ්ඩායමේ දුනිත් වෙල්ලාලගේ යි. ඔහු මෙවර තරගාවලියේ වඩාත් ආක්‍රමණකාරී පන්දු යවන්නා ලෙසින් ද දක්ෂතා දැක්වීමට සමත් වෙනවා. ඔහුගේ පන්දු යැවීමේ සාමාන්‍ය දැක්වෙන්නේ 19.00ක් ලෙසයි.

එමෙන් ම ඔහු මෙවර තරගාවලියේ තම පළමු පෙළ තරග දිවියේ කඩුලු 100 වාර්තා කිරීමට සමත් වීම ද කැපී පෙණුනා.

පිතිකරුවෙක් ලෙසින් ද දක්ෂතා දැක් වූ දුනිත් වෙල්ලාලගේ යාපනය කණ්ඩායමට සහ දඹුල්ල කණ්ඩායමට එරෙහි ව ලබා ගත් අර්ධ ශතක ද්විත්වයත් සමඟින් ලකුණු 274ක් ලබා ගැනීමට ද සමත් වෙනවා.

මෙම ලැයිස්තුවට එක් වූ එක ම වේග පන්දු යවන්නා වන්නේ දකුණතින් මඳ වේග පන්දු යවන ශිරාන් ප්‍රනාන්දු. මහනුවර කණ්ඩායම නියෝජනය කළ ඔහු මෙහි 3 වැනි අසුනට හිමිකම් කියන්නේ කඩුලු 15ක් ලබා ගනිමිනුයි.

  • තරගාවලියේ දක්ෂතම පිතිකරු – රවිඳු රසාන්ත (යාපනය)

NSL 3

මෙවර තරගාවලියේ වඩාත් කතාබහට ලක් වූ පිතිකරුවෙක් බවට පත් වීමට 24 හැවිරිදි වියේ පසුවෙන දකුණත් පිතිකරු රවිඳු රසාන්ත සමත් වෙනවා. ඔහු තරගාවලිය නිමා කරන්නේ තරග 4ක ඉනිම් 7ක දී ලකුණු 563ක් ලබා ගනිමිනුයි. එහි සාමාන්‍ය 93.83ක් සේ ඉහළ අගයක රඳවා ගැනීමට ද ඔහු සමත් වෙනවා.

ඔහු ලබා ගත් මෙම ලකුණු අතරට මහනුවර කණ්ඩායමට එරෙහි ව නොදැවී ලබා ගන්නා ලද ද්විත්ව ශතකයක් ද ඇතුලත්. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 2 වැනි ද්විත්ව ශතකය බවට ද පත් වුනා.

පන්දු 351ක් මුහුණ දෙමින් හතරේ පහර 26ක් සමඟින් නොදැවී එක් කළ එම ලකුණු 206 මෙවර තරගාවලියේ පිතිකරුවෙක් ඉනිමක දී ලබා ගත් ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුනා.

ඊට අමතර ව කොළඹ කණ්ඩායමට සහ දඹුල්ල කණ්ඩායමට එක් කළ ශතක ද්විත්වයක් ද සහ නැවතත් මහනුවර කණ්ඩායමට එරෙහි ව වාර්තා කරන ලද අර්ධ ශතකයක් ද ඔහුගේ ලකුණු අතරට ඇතුලත්.

  • තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකරුවන් 5 දෙනා
  Player Team Mat Inns NO Runs HS Ave 100 50 4s 6s
  රවිඳු රසාන්ත යාපනය 4 7 1 563 206* 93.83 3 1 69 0
  රමේෂ් මෙන්ඩිස් ගාල්ල 5 8 2 455 124 75.83 2 3 29 0
  දිනේෂ් චන්දිමාල් ගාල්ල 5 8 454 132 56.75 1 3 45 6
  ඔෂද ප්‍රනාන්දු ගාල්ල 5 9 424 120 47.11 2 2 46 3
  ධනංජය ද සිල්වා දඹුල්ල 5 8 1 369 142 52.71 3 39 2

තරගාවලියේ වැඩිම ලකුණු ලැබූවන් අතර 2 වැනි ස්ථානය හිමි වෙන්නේ ගාල්ල කණ්ඩායමේ නායක රමේෂ් මෙන්ඩිස් වෙතයි. ඔහු මෙවර තරගාවලියේ දී තරග 5ක ඉනිම් 8ක දී ලකුණු 455ක් ලබා ගනිමින් දක්ෂතා දක්වනවා. ඔහුගේ ඉනිම් අතර මහනුවර කණ්ඩායමට සහ යාපනය කණ්ඩායමට එරෙහි ව වාර්තා කරන ලද ශතක ද්විත්වයක් ද සහ දඹුල්ල, කොළඹ සහ නැවතත් දඹුල්ල කණ්ඩායම්වලට එරෙහි ව වාර්තා කරන ලද අර්ධ ශතක ත්‍රිත්වයක් ද ඇතුලත්.

පන්දු යවන්නෙක් ලෙසින් ද දක්ෂතා දැක් වූ රමේෂ් මෙන්ඩිස් මෙවර තරගාවලියේ දී ලබා ගත් කඩුලු සංඛ්‍යාව 6ක්.

මෙම තරගාවලිය අතර තුළ දී රමේෂ් මෙන්ඩිස් තම පළමු තරග දිවියේ ලකුණු 5000 කඩඉම ද සහ කඩුලු 300 කඩඉම ද පසු කිරීමට සමත් වෙනවා.

මෙම දක්ෂතා ලැයිස්තුවේ 3 වැනි අසුන අවසන් මහා තරගයේ වීරයා බවට පත් වූ දිනේෂ් චන්දිමාල් සතු වෙන අතර සිව් වැනි ස්ථානය දඹුල්ල කණ්ඩායමට එරෙහි ව ශතක ද්විත්වයක් සහ මහනුවර සහ යාපනය කණ්ඩායම්වලට එරෙහි ව අර්ධ ශතක ද්විත්වයක් සමඟින් ලකුණු 424ක් ලබා ගත් ඔෂද ප්‍රනාන්දු ද සහ 5 වැනි ස්ථානය ගාල්ල කණ්ඩායමට, කොළඹ කණ්ඩායමට සහ මහනුවර කණ්ඩායමට එරෙහි ව ශතක ත්‍රිත්වයක් සමඟින් ලකුණු 369ක් ලබා ගත් ධනංජය ද සිල්වා ද සතු වෙනවා.

තරගාවලියේ මෙම ලැයිස්තු ගත වූ පිතිකරුවන්ට අමතර ව මහනුවර කණ්ඩායම නියෝජනය කළ පැතුම් නිස්සංක ද ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සමත් වෙනවා. දඹුල්ල කණ්ඩායමට එරෙහි ව පන්දු 260කට මුහුණ දෙන ඔහු හතරේ පහර 19ක් සමඟින් ලකුණු 203ක් ලබා ගන්නවා.

මෙවර තරගාවලියේ දී ක්‍රීඩකයන් 21ක් දෙනෙක් විසින් ශතක 29ක් වාර්තා කරන ලද අතර ඒ අතුරින් රවිඳු රසාන්ත සහ ධනංජය ද සිල්වා ශතක ත්‍රිත්වය බැගිනුත් රමේෂ් මෙන්ඩිස්, ඔෂද ප්‍රනාන්දු, කමිල් මිෂාර සහ විශාද් රන්දික ශතක ද්විත්වය බැගිනුත් සහ දිනේෂ් චන්දිමාල්, නිපුන් ධනංජය, අවිශ්ක ප්‍රනාන්දු, සොහාන් ද ලිවේරා, චරිත් අසලංක, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, නිශාන් මදුශ්ක, කුසල් මෙන්ඩිස්, දසුන් ශානක, පවන් රත්නායක, පවන්ත වීරසිංහ සහ පසිඳු සූරියබණ්ඩාර ශතකය බැගිනුත් ලබා ගන්නවා.

  • අවසන් මහා තරගයේ වීරයා දිනේෂ් චන්දිමාල්

NSL 4

ගාල්ල කණ්ඩායම නියෝජනය කළ වඩාත් පරිනත ම ක්‍රීඩකයා වන දිනේෂ් චන්දිමාල් අවසන් මහා තරගයේ පෑ දක්ෂතා මත තරගයේ විරයා ලෙසින් නම් කෙරෙනවා. ඔහු එම තරගයේ පළමු ඉනිමේ දී පන්දු 105කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 80ක් ලබා ගන්නවා.

එම ඉනිමේ දී ඔහු ඔෂද ප්‍රනාන්දු සමඟ එක් ව ලකුණු 114ක සබඳතාවක් ද ගාලු ඉනිමට එක් කරනවා. ඉන් අනතුරු ව ඔහු 2 වැනි ඉනිමේ දී ද ක්‍රියාත්මක වෙමින් පන්දු 138කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 64ක් ලබා ගන්නවා.

තරගාවලිය නිමා වන විට ඔහු අවසන් මහා තරගයේ අර්ධ ශතක ද්විත්වයට අමතර ව කොළඹ කණ්ඩායමට එරෙහි ව ලබා ගත් ශතකයක් සහ පළමු වටයේ දී ද දඹුල්ලට එරෙහි ව ලබා ගත් අර්ධ ශතකයත් සමඟින් ලකුණු 454ක් ලබා ගනිමින් දක්ෂතා දැක් වූවා.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<