MAS Unichela තියුණු ජයක් ලබයි

The Mercantile Volleyball Tournament 2025

2
A - Division Men Champion - MAS Unichella

වෙළඳ සේවා වොලිබෝල් සංගමය සංවිධානය කරන වෙළඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ Masters කාන්තා සහ පිරිමි ඉසව් මෙන් ම “A” කාණ්ඩයේ කාන්තා සහ පිරිමි ඉසව් අද (13) අවසන් වූවා.

“A” කාණ්ඩයේ පිරිමි අවසන් මහා තරගය

තරගාවලියේ  “A” කාණ්ඩයේ පිරිමි ඉසව්වේ අවසන් මහා තරගය සඳහා  MAS Unichela සහ Brandix Apparel Essentials කණ්ඩායම් එක් වූ අතර එහි දී තරගවට 2-1ක් ලෙසින් MAS Unichela ක්‍රීඩකයෝ ජයග්‍රහණය කරනවා.

එම තරගයේ පළමු වටය තියුණු මුහුණුවරක් ගත් අතර එහි දී Brandix Apparel Essentials ක්‍රීඩකයෝ 25-21ක් ලෙසින් තරගය ජයග්‍රහණය කරමින් ඉදිරියට පිවිසියා. නමුත් ඉන් අනතුරු ව තරග වට ද්විත්වය ම ජයග්‍රහණය කිරිමට MAS Unichela ක්‍රීඩකයෝ සමත් වෙනවා. ඔවුන් තරගය ජයග්‍රහණය කරන විට ලකුණු පුවරුව දැක් වුණේ 25-18ක් සහ 25-17ක් ලෙසයි.

එම ඉසව්වේ තෙවැනි ස්ථානය දිනා ගත්තේ වැලිසර Brandix Apparel කණ්ඩායමයි.

එම ඉසව්වේ ත්‍යාග සම්මාන ප්‍රදානයේ දී දක්ෂතම පන්දු ප්‍රහාරකයා ලෙසින් MAS Unichela කණ්ඩායමේ එස්. එච්. ඉසුරු ද, දක්ෂතම පන්දු සකසන්නා ලෙසින් එම කණ්ඩායමේ ම ආර්. ඒ. ඒ. මලින්ත ද සම්මාන දිනා ගනිද්දී දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් Brandix Apparel Essentials කණ්ඩායමේ අමේෂ් අල්විස් ද සම්මාන දිනා ගත්තා.

අද නිමා වූ ඉසව්වලින් තරග වට 3ක් දක්වා පැවැති එක ම තරගය මෙයයි.

Masters කාණ්ඩයේ කාන්තා අවසන් මහා තරගය

MAS Casualine කණ්ඩායමට තරග වට 2 – 0කින් ජයක්

තරගාවලියේ Masters අංශයේ කාන්තා ඉසව්වේ අවසන් මහා තරගය MAS Casualine සහ Maliban කණ්ඩායම් අතර පැවැති අතර එහි දී MAS Casualine කණ්ඩායම 25-09ක් සහ 25-14ක් ලෙසින් තරග වට 2 – 0කින් ජයග්‍රහණය කළා.

එම ඉසව්වේ දක්ෂතම පන්දු ප්‍රහාරිකාව සහ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් MAS Casualine කණ්ඩායමේ රේණුකා නිල්මිණි සම්මාන ලැබූ අතර තරගයේ දක්ෂතම පන්දු සකසන්නිය ලෙසින් එම කණ්ඩායමේ ම නයනා අනුපමා ජයරත්න සම්මාන ලැබුවා.

Masters කාණ්ඩයේ පිරිමි අවසන් මහා තරගය

Maliban කණ්ඩායමට තරග වට 2-0ක ජයක්.

Masters කාණ්ඩයේ පිරිමි ඉසව්වේ අවසන් මහා තරගය Crystal Martin සහ Maliban කණ්ඩායම් අතර පැවැති අතර එහි දී තරග වට 2-0ක ජයග්‍රහණයක් ලබා ගැනීමට Maliban කණ්ඩායම සමත් වූවා. එහි ලකුණු පුවරුව දැක් වුණේ 25-10ක් සහ 25-19ක් ලෙසයි.

එහි තෙවැනි ස්ථානය Stretchline කණ්ඩායම සතු වූවා.

එම ඉසව්වේ ශූරතාවට අමතර ව සියලු සම්මාන ද Maliban කණ්ඩායම සතු වූ අතර එහි දී හොඳම පන්දු ප්‍රහාරකයා ලෙස එස්. ඒ. ඩී. එස්. පී. දිසානයක ද, හොඳම පන්දු සකසන්නා ලෙස ඒ. ඩී. ඒ. ජේ. ප්‍රසන්න ද සහ තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ඒ. එම්. තාරක චමින්ද ද සම්මාන දිනා ගත්තා

“A” කාණ්ඩයේ කාන්තා අවසන් මහා තරගය 

Omega Line කණ්ඩායමට 2-0ක ජයක්.

තරාගවලියේ “A” කාණ්ඩයේ කාන්තා ඉසව්වේ අවසන් මහා තරගය Omega Line සහ United Tobacco කණ්ඩායම් අතර පැවැතියා. එහි දී ලකුණු 25-10ක් සහ 25-11ක් ලෙසින් තරග 2-0කින් ජයග්‍රහණය කිරීමට Omega Line ක්‍රීඩිකාවෝ සමත් වෙනවා. එම ඉසව්වේ තෙවැනි ස්ථානය MAS Matrix කණ්ඩායම සතු වූවා.

එම ඉසව්වේ දක්ෂතම ක්‍රීඩිකාවන් ඇගයීමේ දී දක්ෂතම පන්දු ප්‍රහාරිකාව ලෙස Omega Line කණ්ඩායමේ කේ. ඒ. ආර්. ලක්මිණි රාජකරුණා සම්මාන දිනූ අතර දක්ෂතම පන්දු සකසන්නිය ලෙසින් ඩබ්ලිව්. ඩී. ආර්. ඩී. සොයිසා ද සහ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් කේ. කේ. කාවින්ද්‍යා දෙව්මිණි ද සම්මාන ලැබුවා. ඔවුන් සියලු දෙනා Omega Line කණ්ඩායම නියෝජනය කරන්නෝයි.

තරගාවලියේ Championship කාණ්ඩයේ කාන්තා සහ පිරිමි මෙන් ම Super League කාන්තා සහ පිරිමි කාණ්ඩවල අවසන් මහා තරග හෙට (14) වෙන්නප්පුව ඇල්බට් ඇෆ්. පීරිස් ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී ම පැවැත්වීමට නියමිතයි.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න <<