“මෙවර අපි අවසන් පූර්ව වටයට කොහෙත්ම සුදුසු කණ්‌ඩායමක්‌ නෙමෙයි” – ඇන්ජලෝ මැතිව්ස්‌

200
©AFP

මෙවර විස්‌සයි විස්‌ස ලෝක කුසලානයේ තම කණ්‌ඩායම දැක්‌වූ දක්‍ෂතා අනුව අවසන් පූර්ව තරගයේ ස්‌ථානය සඳහා කොහෙත්ම සුදුසු තත්ත්වයක නොසිටි බව ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්‌ පවසයි. එංගලන්තය සමග පැවැති තරග පරාජයෙන් පසුව ඔහු මෙම අදහස්‌ පළකර සිටියේය.

”ඇත්තටම අපි මේ තරගාවලියේදි ක්‍රීඩා කළ ආකාරය අනුව අවසන් පූර්ව තරග අවස්‌ථාව සඳහා සුදුසු තත්ත්වයක හිටියෙ නැහැ. මොකද අපේ පිතිකරණය, පන්දු යෑවීම සහ පන්දු රැකීම අංශ තුනම හොඳ තැනක තිබුණෙ නැහැ. මට ටිකක්‌ හරි සතුටු වෙන්න පුළුවන්කම තියෙන්නෙ අපි බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තය සමග තරගය හොඳ සටනක්‌ ලබාදීල පරාජය වුණ එක ගැන විතරයි. නමුත් සටනක්‌ දීලා හෝ නොදී පරාද වුණත් දෙකම එකයි. ඒ නිසා මේ පරාජයන් ගැන කාටවත් නිදහසට කරුණු කියන්න බැහැ.” යෑයි ශ්‍රී ලංකා නායකයා පවසයි.

ඇෆ්ගනිස්‌ථානය සමග පැවැති පළමු තරගය ජය ගත්තද එහිදී කණ්‌ඩායමේ උපරිම දක්‍ෂතාව නොතිබූ බවත් කොදෙව් තරගයේදීත් අංශ තුනම කණ්‌ඩායමක්‌ ලෙස දුර්වල වීම නිසා ජයග්‍රහණය පෙනෙන තෙක්‌ මානයට විත් පරාජය වූ බවත් මැතිව්ස්‌ පවසයි. ශ්‍රී ලංකා පන්දු රකින්නෝ ඇෆ්ගනිස්‌ථානය සහ කොදෙව්වන් සමග පැවැති තරගයේදී පහසු උඩපන්දු පහක්‌ අතහරිමින් ප්‍රේක්‍ෂකයන්ගේද හාස්‍යට ලක්‌ විය.

”අපිට එංගලන්ත තරගය දිනා ගන්න තිබ්බා. ඒ තණතීරුවේදී ලකුණු 172 ක්‌ එලවල යන්න තරම් හොඳ තණතීරුවක්‌ තමයි තිබ්බෙ. නමුත් අපේ පළමු කඩුලු හතර ලකුණු 15 කට බිඳ වැටුණා. අපි මුලින්ම අදහස්‌ කළේ පළමු පන්දුවාර හයේදී කඩුලු 2 කට විතර ලකුණු 50-60 ක්‌ ලබා ගන්න. නමුත් කඩුලු වැටුණත් අපි තරගය අතහැරියේ නැහැ. මම දැනගෙන හිටියා සබඳතාවක්‌ පැවැත්වුවොත් ජයගන්න පුළුවන් කියලා. චාමර කපුගෙදරත් මේ තරගයේදී හොඳ සහයක්‌ පිතිකරුවකු ලෙස ලබා දුන්නා. නමුත් එංගලන්ත පන්දු රකින්නෝ දක්‍ෂ උඩපන්දු කිහිපයක්‌ රැක ගත්තා. ඒ නිසා ඔවුන් ජය ගැනීමට සුදුසුයි කියල මම හිතනවා. අපේ ක්‍රීඩකයන්ටත් ඒ දේවල් බලල ඉගෙන ගෙන ඉදිරියේදී වැඩ කරන්න වේවි.” යෑයි එංගලන්ත තරගයේදී විශිෂ්ට ඉනිමක්‌ ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස්‌ පැවසීය.

තරග පරාජය වුණහම ඒ ගැන නිදහසට කරුණු ඕනෑ තරම් තිබුණද හැමදාමත් එසේ කියා ඵලක්‌ නැති බවත් අවශ්‍ය ඉදිරියේදී හෝ අනෙක්‌ කණ්‌ඩායම් දිහා බලා ඉගෙන ගත යුතු දෑ ඉගෙන ගැනීම බවත් මැතිව්ස්‌ පවසයි.

”අපිට ඉදිරියේදී ලොකු ක්‍රිකට්‌ තරගාවලි කිහිපයක්‌ තියෙනවා. ඒ නිසා දැන් පැරදුන එක ගැන කිය කියා වැඩක්‌ නැහැ. අනෙක්‌ කණ්‌ඩායම්වල තියෙන හොඳ දේවල් බලන් ඉදල ඒ දේවල් ඔලුවට අරගෙන අපි ඉදිරියේදී හොඳ කණ්‌ඩායමක්‌ බවට පත්විය යුතුයි. මම අපේ කණ්‌ඩායම ගැන සෑහීමකට පත්වෙන්නෙ නැහැ. තරග පරදින කොට ඒක විඳ දරා ගන්න හරි අපහසුයි. නමුත් එතනින් කොහොමද ගොඩ යන්නෙ කියල කණ්‌ඩායමක්‌ ලෙස අපි හිතට අරගෙන වැඩ කළ යුතුයි.”

එංගලන්ත තරගයේදී ඇන්ජලෝ මැතිව්ස්‌ගේ පාදයේ මස්‌ පිඬු පෙරළීමක්‌ ඇති වූ අතර ඒ අනුව ඔහුට සති කිහිපයක්‌ විවේක ගැනීමට සිදුවනවාදැයි ‘දිවයින’ විමසන ලදුව මැතිව්ස්‌ මෙසේ පැවසීය, ”මට තේරෙන විදිහට නම් මගේ ආබාධය එතරම් හොඳ නැහැ. ඒක ගොඩක්‌ අමාරුයි වගේ තමයි මට දැනෙන්නෙ. ස්‌කෑන් එකක්‌ එහෙම කරල කණ්‌ඩායමේ භෞත චිකිත්සකවරයා තීරණය කරයි මොකද වෙන්න ඕන කියලා.” යෑයි ඔහු පැවසීය.