අසෙනි තලගුණේ ගේ දක්ෂ පන්දු යැවීමත් සහ විමෝක්ෂා බාලසූරිය ගේ දක්ෂ පන්දුවට පහර දීමත් හමුවේ සංචාරක මැලේසියානු ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම සිව් වැනි වතාවටත් පරාජය කිරීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ අද (7) සමත් වුණා.
කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 9ක පහසු ජයග්‍රහණයක් ලබා ගන්නා ලද අතර ඒ අනුව තරග 5කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග 4-0ක් ලෙසින් ඉදිරියෙන් සිටීමට ද ඔවුන් සමත් වෙනවා.
කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාවේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි සංචාරක මැලේසියා ක්‍රීඩිකාවෝ සියලුම දෙනා දැවී ලබා ගන්නේ ලකුණු 85ක් පමණයි. එම ඉලක්කය කඩුල්ලක් පමණක් දැවී තවත් පන්දු 27ක් ද ඉතිරි කර ගනිමින් සපුරා ගනිමින් ජයග්‍රහණය කිරීමට සත්කාරක ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.
- ශ්‍රී ලංකා යෞවනියෝ තෙවැනි තරගයත් ජය ගනී
- දුනිත්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා A කණ්ඩායම ආසියානු කුසලානයට!
මැලේසියා ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය බවට පත් වෙන්නේ මැදි පෙළින් පිටියට පිවිසි Nur Daniya Syuhada. ඇය පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 22ක් ලබා ගත්තා.
ඊට අමතර ව නායිකා Maselysa Yasmin පන්දු 14කට මුහුණ දෙමින් ලකුණු 13ක් ද සහ Mahirah Izzati පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 11ක් ද ලබා ගත්තා. ඔවුන්ට අමතර ව මැලේසියානු ඉනිමේ අනෙක් කිසිදු ක්‍රීඩිකාවකට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට හැකි වූයේ නැහැ.
කඩුලු දවා ගැනීමේ දී අසෙනි තලගුණේ ලකුණු 14කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව චමෝදි ප්‍රබෝධා සහ ශෂිනි ගිම්හානි කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නවා.
පිළිතුරු ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරන්නේ සංජනා කාවින්දි සහ විමෝක්ෂා බාලසූරිය. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 24ක දී ලකුණු 30ක් එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ සංජනා කාවින්දි ගේ දැවී යෑමත් සමඟිනුයි. ඇය දැවී යන විට පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 15ක් ලබා සිටියා.
ඇයගේ දැවී යෑමෙන් අනතුරු ව පිටියට එක් වෙන්නේ නායිකා මනුදි නානායක්කාර. එතැන් සිට 2 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 58ක දී නොදැවුණ ලකුණු 59ක් එක් කිරිමට විමෝක්ෂා බාලසූරිය සහ මනුදි නානායක්කාර සමත් වෙනවා.
ඔවුන් අතුරින් විමෝක්ෂා බාලසූරිය පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 53ක් ලබා ගන්නවා. එය ඇය මෙම තරගාවලියේ දී පිට පිට වාර්තා කරන ලද 2 වැනි අර්ධ ශතකය වන තරගාවලියේ තෙවැනි අර්ධ ශතකයයි.
ඇයට අමතර ව මනුදි නානායක්කාර නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 16ක්. ඒ සඳහා ඇය පන්දු 18කට මුහුණ දුන්නා.
ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය එක ම කඩුල්ලේ හිමිකාරීත්වය Nur Daniya Syuhada සතු වුණා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- මැලේසියා ජාතික කාන්තා ක්‍රිකට් ක්‍රිකට් කණ්ඩායම –කඩුලු 9ක් දැවී 85 (20.0)Nur Daniya Syuhada 22, Maselysa Yasmin 13, චමෝදි ප්‍රබෝධා 2/18, අසෙනි තලගුණේ 4/14, ශෂිනි ගිම්හානි 2/19
- ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට්කණ්ඩායම– කඩුල්ලක් දැවී 89 (13.4) සංජනා කාවින්දි 15, විමෝක්ෂා බාලසූරිය නොදැවී 53, මනුදි නානායක්කාර නොදැවී 16, Nur Daniya Syuhada 1/25
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 9ක ජයක්.
දෙරට අතර පැවැත්වෙන 5 වැනි සහ අවසන් විස්සයි විස්ස තරගය නොවැම්බර් 10 වැනිදා පෙරවරු 10.00 සිට Colts ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.



















