සූරි නැවතත් ද්විත්ව ශතක සමාජයට

Major Club 03 Day League Tournament 2025

7

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ 3 වැනි සතියේ  3 වැනි දිනය (22) අවසන් වෙන්නේ පසිඳු සූරියබණ්ඩාර ලබා ගත් ද්විත්වය ශතකයක් ද සහිතවයි. 

මේ අතර CCC කණ්ඩායම සහ Ace Capital කණ්ඩායම අතර තියුණු අවසානයකින් යුත් තරගයක් පැවැති අතර මෙම තරගයේ දී CCC කණ්ඩායමට ජයග්‍රහණය අහිමි වෙන්නේ එක් ලකුණකින් පමණක් වීම විශේෂත්වයක්.  

ප්‍රියමාල් ද්විත්ව ශතක සමාජයට

Police SC සහ Moors SC අතර තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී. 

කාසියේ වාසිය – Moors SC  

කාසියේ වාසිය දිනා ගත් Moors නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Police ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 463ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Moors කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 445ක් පමණයි.  

එම ඉනිම වෙනුවෙන් පෙර දිනයේ සිට කඩුල්ලේ රැඳී සිටි පසිඳු සූරියබණ්ඩාර ද්විත්ව ශතකයක් වාර්තා කරනවා. පන්දු 271කට මුහුණ දුන් ඔහු හතරේ පහර 22ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 204ක්. එය මෙවර තරගාවලියේ වාර්තා වූ 7 වැනි ද්විත්ව ශතකයයි.  

ඔහු එම ඉනිමේ දී මිලාන් රත්නායක හා එක් ව 7 වැනි කඩුල්ලට පන්දු 363ක දී ලකුණු 275ක සබඳතාවක් එක් කරනවා. එහි දී මිලාන් රත්නායක පන්දු 187කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 136ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග 61ක මංගල ශතකයයි.  

කඩුලු දවා ගැනීමේ දී දිලුම් සුදීර ලකුණු 170කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරද්දී සදීප රත්නායක සහ නලින් ප්‍රියදර්ශන කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.  

ලකුණු 18ක් ඉදිරියෙන් 2 වැනි ඉනිම සඳහා පිටියට පිවිසි Police ක්‍රීඩකයෝ තරගය අවසන් වන විට කඩුලු 3ක් දැවී ලකුණු 79ක් ලබා සිටියා.  

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ අශේන් බණ්ඩාර යි. ඔහු පන්දු 48ක දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 55ක් ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී රමේෂ් මෙන්ඩිස්ට කඩුල්ලක් හිමි වූ අතර අනෙක් කඩුලු ද්විත්වය දුවද්දී දැවී යෑම්වලට ගොදුරු වූවා.   

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • Police SC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 463 (85.0) නදීර බාලසූරිය 21, අශේන් බණ්ඩාර 60, ප්‍රියමාල් පෙරේරා 212, සුපුන් මදුශංක 65, නලින් ප්‍රියදර්ශන 57, ශිරාන් ප්‍රනාන්දු 4/59 
  • Moors SC– පළමු ඉනිමසියලුම දෙනා දැවී 445 (103.0) රවිශාන් ද සිල්වා 23, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 204, මිලාන් රත්නායක 136, සදීප රත්නායක 2/67, දිලුම් සුදීර 5/170, නලින් ප්‍රියදර්ශන 2/116 
  • Police SC– දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 79 (14.0)අශේන් බණ්ඩාර 55 

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය Police කණ්ඩායමට.) 

CCC සහ Ace Capital CC අතර තරගය කොළඹ Colts ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.  

කාසියේ වාසිය  Ace Capital CC  

තියුණු අවසානයකින් යුත් මෙම තරගයේ දී CCC කණ්ඩායමට ජයග්‍රහණය අහිමි වෙන්නේ එක් ලකුණකිනුයි.  

කාසියේ වාසිය දිනා ගැනීමෙන් පසුව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගනිමින් Ace Capital කණ්ඩායම තම පළමු ඉනිම සියලුම දෙනා දැවී ලකුණු 331ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් CCC ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 232ක් ලබා ගත්තා.  

ලකුණු 99ක වාසියක් ද සහිතව 2 වැනි ඉනිමට පිටියට පිවිසි Ace Capital කණ්ඩායම තම 2 වැනි ඉනිමට ලබා ගන්නේ ලකුණු 119ක් පමණයි. ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 218ක් අවැසිව තරග පිටියට පිවිසි ඔවුන් තරගය නිමා වන විට ලබා ගන්නේ කඩුලු 8ක් දැවී ලකුණු 217ක් පමණයි.  

Ace Capital 2 වැනි ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ රනේෂ් සිල්වා. ඔහු පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් ද සමඟින් ලකුණු35ක් ලබා ගන්නවා.  

පන්දු යැවීමේ දී නිශාන් පීරිස් ලකුණු 49කට කඩුලු 5ක් දවා ගත් අතර ඊට අමතර ව සොනාල් දිනූෂ කඩුලු 2ක් දවා ගන්නවා.  

පිළිතුරු හඹා යන ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි CCC කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ නිශාන් මදුශ්ක සහ ලසිත් කෲස්පුල්ලේ 1 වැනි කඩුල්ලට ලකුණු 108ක සබඳතාවක් එක් කරමින් සාර්ථක ආරම්භයක් ලබා ගන්නවා.  

එහි දී නිශාන් මදුශ්ක පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 60ක් ද සහ ලසිත් කෲස්පුල්ලේ පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 54ක් ලබා ගන්නවා.  

ඊට අමතර ව මැද පෙළින් පිටියට පිවිසි පවන් රත්නායක ද තරගයේ අවසන් පිතිකරු ලෙසින් දැවී යද්දී පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 57ක් ලබා සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී රවීන් ද සිල්වා සහ වනුජ සහන් කඩුලු 3ක් බැගින් දවා ගත් අතර ඊට අමතර ව රොෂාන් ජයතිස්ස කඩුලු 2ක් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • Ace Capital CC- පළමු ඉනිම සියලු දෙනා දැවී 331 (89.0) පවන්ත වීරසිංහ 51, රනේෂ් සිල්වා 76, රවීන් ද සිල්වා 49, සුපුන් වඩුගේ නොදැවී 71, නිශාන් පීරිස් 2/87, ඉනුක කරන්නාගොඩ 3/69, ධනංජය ද සිල්වා 2/29 
  • CCC– පළමු ඉනිමසියලුම දෙනා දැවී 232 (58.0) නිශාන් මදුශ්ක 23, ධනංජය ද සිල්වා 63, පවන් රත්නායක 51, අංජල බණ්ඩාර 44, ඉසිත විජේසුන්දර 2/37, වනුජ සහන් 4/104, රොෂාන් ජයතිස්ස 3/42 
  • Ace Capital CC– දෙවැනි ඉනිමසියලුම දෙනා දැවී 119 (53.2) රනේෂ් සිල්වා 35, වනුජ සහන් 24, නිශාන් පීරිස් 5/49, සොනාල් දිනූෂ 2/23 
  • CCC –දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 217 (25.0)නිශාන් මදුශ්ක 60, ලසිත් කෲස්පුල්ලේ 54, පවන් රත්නායක 57, වනුජ සහන් 3/95, රවීන් ද සිල්වා 3/82, රොෂාන් ජයතිස්ස 2/04 

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය Ace Capital කණ්ඩායමට.) 

Colts CCසහ BRC අතර තරගය කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී. 

කාසියේ වාසිය – BRC 

කාසියේ වාසිය දිනා ගත් BRC නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Colts ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 463ක් ලබා ගත් අතර   ඊට පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි BRC කණ්ඩායම ලබා ගන්නේ සියලුම දෙනා දැවී ලකුණු 350ක් පමණයි. ඒ අනුව තරගයේ පළමු ඉනිමේ වාසිය Colts කණ්ඩායම සතු වෙනවා.  

තරගය 3 වැනි දිනයට ආරම්භ වන විට BRC කණ්ඩායමේ නායක හෂාන් දුමිඳු නොදැවී ලකුණු 86ක් ලබා සිටි අතර ඔහු තම ඉනිම නිමා කරද්දී පන්දු 262කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 163ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 11 වැනි ශතකයයි.  

ඊට අමතර ව රමිඳු විජේසූරිය පන්දු 91කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 75ක් ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී මුදිත ලක්ශාන්, උදිත් මල්ශාන් සහ අකිල දනංජය කඩුලු 3ක් බැගින් දවා ගත්තා.  

ලකුණු 113ක් ද අතැතිව තම 2 වැනි ඉනිමට පිටියට පිවිසි Colts ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කඩුලු 9ක් දැවී ලකුණු 260ක් ලබා සිටියා.  

එම ඉනිම වෙනුවෙන් සංගීත් කුරේ පන්දු 77කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 51ක් ද සහ මුදිත ලක්ෂාන් පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 68ක් ලබා සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී ශෂික දුල්ශාන් ලකුණු 53කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව කේශාන් විජේරත්න කඩුලු 2ක් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • Colts CC –පළමු ඉනිමසියලුම දෙනා දැවී 463 (88.0) සංගීත් කුරේ 30, දිනේෂ් චන්දිමාල් 67, ධනංජය ලක්ෂාන් 44, ඇන්ජලෝ මැතිව්ස් 144, මුදිත ලක්ෂාන් 39, සුකිත මනෝජ් 53, අකිල දනංජය 43, හර්ෂන වික්‍රමසිංහ 28, යසිරු රොද්‍රිගෝ 5/102, කේශාන් විජේරත්න 2/87, ශෂික දුල්ශාන් 2/58 
  • BRC– පළමු ඉනිමසියලුම දෙනා දැවී 350 (56.0) හේෂාන් ධනුෂ්ක 29, හෂාන් දුමිඳු 163, රොශේන් සිල්වා 44, රමින්ද විජේසූරිය 75, උදිත් මදුශාන් 3/56, අකිල දනංජය 3/138, මුදිත ලක්ශාන් 3/15 
  • Colts CC –දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 260 (40.1)සංගීත් කුරේ 51, දිනේෂ් චන්දිමාල් 24, ඇන්ජලෝ මැතිව්ස් 33, මුදිත ලක්ෂාන් 68, අකිල දනංජය 20, කේශාන් විජේරත්න 2/67, ශෂික දුල්ශාන් 5/53 

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය Colts කණ්ඩායමට.)  

NCC සහ Bloomfield C & AC අතර තරගය Colts ක්‍රීඩාංගණයේ දී.  

කාසියේ වාසිය – NCC  

කාසියේ වාසිය දිනා ගත් NCC ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 438ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි Bloomfield ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලකුණු 501ක් ලබා ගනිමින් පළමු ඉනිමේ වාසිය ලබා ගන්නවා.  

එම ඉනිමේ පෙර දිනයේ නොදැවී ලකුණු 43ක් ලබා සිටි නායක නිපුන් කරුණානායක තම ඉනිම නිමා කරන්නේ තම පළමු පෙළ තරග දිවියේ 12 වැනි ශතකය ද වාර්තා කරමිනිනුයි. එහි දී ඔහු පන්දු 202කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සමඟින් ලකුණු 138ක් ලබා ගන්නවා.  

ඊට අමතර ව රවිඳු ප්‍රනාන්දු ද පන්දු 125කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු101ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 8 වැනි ශතකයයි.  

පන්දු යැවීමේ දී ශක්ති උදාර ලකුණු 157කට කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.  

එම ඉනිමෙන් අනතුරු ව තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි NCC ක්‍රීඩකයෝ තරගය නිමා නිම වන විට කඩුල්ලක් දැවී ලකුණු 48ක් ලබා සිටියා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • NCC- පළමු ඉනිම සියලුම දෙනා දැවී 438 (83.0) නිරෝෂන් දික්වැල්ල 21, ලහිරු උදාර 126, කමිල් මිෂාර 61, අහන් වික්‍රමසිංහ 39, සහන් ආරච්චිගේ 35, චාමික කරුණාරත්න 61, කවිඳු පතිරත්න 37, අශේන් ඩැනියෙල් 26, රවිඳු ප්‍රනාන්දු 2/95, ජෙෆ්රි වැන්ඩර්සේ 2/66, දුවිඳු තිලකරත්න 4/70 
  • Bloomfield C & AC– පළමු ඉනිමසියලුම දෙනා දැවී 501 (57.0) මිනෙත් ප්‍රේමරත්න 37, අසිත වන්නිනායක 62, ජනිත් ලියනගේ 47, නිපුන් කරුණානායක 138තරිඳු හර්ෂණ 47, රවිඳු ප්‍රනාන්දු 101, ලහිරු මදුශංක 35, ශක්ති උදාර 6/157 
  • NCC– දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 48 (5.3)නිරෝෂණ දික්වැල්ල නොදැවී 27, ලහිරු උදාර නොදැවී 20 

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය Bloomfield කණ්ඩායමට.)  

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<