ප්‍රියමාල් සහ ලහිරු ශතක ලබා ගනී

Major Club 03 Day League Tournament 2025

2
Major Clubs 3 Day Super 8

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ 3 වැනි සතියේ 1 වැනි දිනය (20) නිමා වෙන්නේ ප්‍රියමාල් පෙරේරා සහ ලහිරු උදාර විසින් වාර්තා කරන ලද ශතකවලින් හැඩ වෙමිනුයි.

Police SC සහ Moors SC අතර තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Moors SC

කාසියේ වාසිය දිනා ගත් Moors නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Police ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 320ක් ලබා සිටියා.

ඔවුන්ගේ ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 50කට දැවී ගොස් තිබිය දී ඉනිමට එක් වූ අශේන් බණ්ඩාර සහ ප්‍රියමාල් පෙරේරා 5 වැනි කඩුල්ලට පන්දු 214ක දී ලකුණු 114ක සබඳතාවක් එක් කිරීමට සමත් වෙනවා.

අශේන් බණ්ඩාර පන්දු 94කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 60කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතා ව බිඳ වැටෙනවා.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව පිටියට එක් වෙන්නේ සුපුන් මදුශංක. එව ද තම ලකුණ හරඹයට එක් වූ ප්‍රියමාල් පෙරේරා, නවක පිතිකරුවා ද එක් ව 7 වැනි කඩුල්ලට පන්දු 192ක දී ලකුණු 127ක සබඳතාවක් එක් කරනවා.

එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ සුපුන් මදුශංක ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 96කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 65ක් ලබා සිටියා.

තරගය පළමු දිනයට නතර කරන විට ප්‍රියමාල් පෙරේරා පන්දු 246කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සමඟින් නොදැවී ලකුණු 143ක් ලබා සිටියා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 7 වැනි ශතකයයි.

කඩුලු දවා ගැනීමේ දී ශිරාන් ප්‍රනාන්දු ලකුණු 59කට කඩුලු 4ක් දවා ගන්නා ලද අතර ඊට අමතර ව ටිලංග උදේශන කඩුලු 2ක් ද සහ මිලාන් රත්නායක කඩුල්ලක් ද දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Police SC – පළමු ඉනිම කඩුලු‍ 7ක් දැවී 320 (85.0) නදීර බාලසූරිය 21, අශේන් බණ්ඩාර 60, ප්‍රියාමාල් පෙරේරා නොදැවී 143, සුපුන් මදුශංක 65, ශිරාන් ප්‍රනාන්දු 4/59

CCC සහ Ace Capital CC අතර තරගය කොළඹ Colts ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Ace Capital CC

කාසියේ වාසිය දිනා ගැනීමෙන් පසුව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගත් Ace Capital තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 249ක් ලබා සිටියා.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ රනේෂ් සිල්වා. ඔහු පන්දු 162කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 76ක් ලබා ගන්නවා.

ඊට අමතර ව ආරම්භක පිතිකරු පවන්ත වීරසිංහ පන්ද 98කට මුහුණ දෙමින් හතරේ පහර 98කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 51ක් ද සහ රවීන් ද සිල්වා පන්දු 102කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 49ක් ද ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී ඉනුක කරන්නාගොඩ ලකුණු 57කට කඩුලු 3ක් දවා ගන්නා ලද අතර ඊට අමතර ව නිශාන් පීරිස් කඩුලු ද්විත්වයක් සහ සොනාල් දිනුෂ සහ දුල්නිත් සිගේරා කඩුල්ල බැගින් ද දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Ace Capital CC – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 249 (89.0) පවන්ත වීරසිංහ 51, රනේෂ් සිල්වා 76, රවීන් ද සිල්වා 49, නිශාන් පීරිස් 2/58, ඉනුක කරන්නාගොඩ 3/57

Colts CC සහ BRC අතර තරගය කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – BRC

කාසියේ වාසිය දිනා ගත් BRC නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Colts ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 325ක් ලබා ගත්තා.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ මේ වන විට ද නොදැවී පිටියේ රැඳී සිටින ඇන්ජලෝ මැතිව්ස්. ඔහු තරගය නතර කරන විට පන්දු 157කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 88ක් ලබා සිටිනවා.

ඔහුත් සමඟ අනෙක් අන්තයේ නොදැවී පිටියේ රැඳී සිටින සුකිත මනෝජ් පන්දු 98කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 44ක් ලබා ඇති අතර ඔවුන් දෙදෙනා එක් ව Colts ඉනිමේ 6 වැනි කඩුල්ලට නොදැවී එක් කරන ලද ලකුණු සබඳතාව 93ක්. ඒ වෙනුවෙන් ඔවුන් පන්දු 189ක් වැය කර තිබෙනවා.

ඔවුන් දෙදෙනාට අමතර ව දිනේෂ් චන්දිමාල් ද පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 67ක් ද, නායක ධනංජය ලක්ෂාන් පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 44ක් ද, මුදිත ලක්ෂාන් පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 39ක් ද සහ සංගීත් කුරේ පන්දු 77කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 30ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී යසිරු රොද්‍රිගෝ ලකුණු 94කට කඩුලු 4ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව මර්වින් අබිනාශ්ට ද එක් කඩුල්ලක් හිමි වුණා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Colts CC – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 325 (88.0) සංගීත් කුරේ 30, දිනේෂ් චන්දිමාල් 67, ධනංජය ලක්ෂාන් 44, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 88, මුදිත ලක්ෂාන් 39, සුකිත මනෝජ් නොදැවී 44, යසිරු රොද්‍රිගෝ 4/94

NCC සහ Bloomfield C & AC අතර තරගය Colts ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – NCC

කාසියේ වාසිය දිනා ගත් NCC ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් කඩුලු 7ක් දැවී ලකුණු 386ක් ලබා ගන්නේ ලහිරු උදාර විසින් වාර්තා කරන ලද ශතකයත් සමඟින්.

ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පිවිසි ලහිරු උදාර ඉනිමේ ඉනිමේ සිව් වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 129කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 126ක් ලබා සිටියා. මෙම ඉනිමේ දී ඔහු ලකුණු 17ක් ලබා ගැනීමත් සමඟින් පළමු පෙළ තරග දිවියේ ලකුණු 8000 කඩඉමට පිවිසීමට ද සමත් වූ අතර මෙම ශතකය ඔහු මෙම තරගාවලියේ පිට පිට වාර්තා කරන ලද 2 වැනි ශතකයයි.

ඔහුට අමතර ව කමිල් මිෂාර පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 61ක් ද සහ චාමික කරුණාරත්න පන්දු 81කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 61ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී දුවිඳු තිලකරත්න ලකුණු 63කට කඩුලු 3ක්, රවිඳු ප්‍රනාන්දු ලකුණු 95කට කඩුලු 2ක් සහ ලහිරු මදුසංක කඩුල්ලක් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • NCC – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 386 (83.0) නිරෝෂන් දික්වැල්ල 21, ලහිරු උදාර 126, කමිල් මිෂාර 61, අහන් වික්‍රමසිංහ 39, සහන් ආරච්චිගේ 35, චාමික කරුණාරත්න 61, කවිඳු පතිරත්න නොදැවී 29, රවිඳු ප්‍රනාන්දු 2/95, දුවිඳු තිලකරත්න 3/63

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<